iMage: GenAI

පසුගිය 6 වන දින ජාතික ජන බලවේග ආණ්ඩුව (මාලිමාව) විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) යනු හුදෙක් ජනතාවගේ ‘ආරක්ෂාව’ සඳහා යැයි කියන නෛතික රාමුවකට වඩා, එය ශ්‍රී ලාංකේය පුරවැසියන්ගේ භෞතික මෙන්ම ඩිජිටල් පෞද්ගලිකත්වයට ඇති අයිතිය (Right to Privacy) බරපතල ලෙස මර්දනය කරමින් ඩිජිටල් ආඥාදායකත්වයකට පාර කපන මර්දනකාරී ව්‍යුහයකි.

පනත් කෙටුම්පතේ 22(1) වන වගන්තිය මඟින් අත්අඩංගුවට ගැනීමේදී සැකකරුගේ පෞද්ගලිකත්වයට නිසි සැලකිල්ල දැක්විය යුතු බව ප්‍රකාශ කළ ද, පනත පුරා ඇතුළත් කර ඇති අති-පුළුල්, නොපැහැදිලි සෝදිසි බලතල, දත්ත එකතු කිරීම් සහ මාධ්‍ය වාරණයන් හමුවේ එම ප්‍රතිපාදනය හුදු වචන සමුදායකට පමණක් සීමා වී ඇත.

මෙම පනත් කෙටුම්පත මඟින් පුරවැසි පෞද්ගලිකත්වය බිඳවැටෙන ප්‍රධාන ආකාර 3ක් පදනම් සහිතව අපට සලකා බැලිය හැකිය:

1. දත්ත ආරක්ෂණය රහිත “මධ්‍යම දත්ත පද්ධතිය” (64 වන වගන්තිය)

පනතේ 64 වන වගන්තියට අනුව, අත්අඩංගුවට ගන්නා ලද සියලු සැකකරුවන් සිරභාරයට ගැනීම, රඳවා තැබීම, ඇප ලබාදීම, නඩු පැවරීම, වරදකරු කිරීම හෝ නිදොස් කොට නිදහස් කිරීම දක්වා සියලු තොරතුරු ඇතුළත් “මධ්‍යම දත්ත පද්ධතියක්” (Central Database) පොලිස්පතිවරයා විසින් පවත්වාගෙන යා යුතුය.

ප්‍රායෝගික බලපෑම කුමක්ද? අසත්‍ය හෝ දේශපාලනික චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයෙන් නිදොස් කොට නිදහස් වන පුද්ගලයෙකුගේ තොරතුරු පවා මෙම දත්ත ගබඩාවේ සදාකාලිකව පැවතිය හැක. දත්ත ආරක්ෂණය පිළිබඳ විශේෂිත විධිවිධාන හෝ පසුව දත්ත ඉවත් කිරීමේ (Data Deletion) නෛතික ක්‍රමවේදයක් පනත් කෙටුම්පත තුළ නොමැති වීම නිසා, පුරවැසියන්ගේ සංවේදී පෞද්ගලික දත්ත ඕනෑම මොහොතක අවභාවිතයට ලක්වීමේ හෝ තෙවන පාර්ශවයක් වෙත යොමු වීමේ දැඩි අනතුරක් පවතී.

2. වරෙන්තු නොමැතිව සිදුකරන සෝදිසි කිරීම් (20 සහ 24 වන වගන්ති)

20 වන වගන්තිය සහ 24 වන වගන්තිය යටතේ, පොලීසියට, සන්නද්ධ හමුදා හා වෙරළ ආරක්ෂක නිලධාරීන්ට, වරෙන්තුවක් නොමැතිව පුද්ගලයන්, වාහන, ඉඩම්, පරිශ්‍ර, නෞකා හා ගුවන්යානා නවතා සෝදිසි කිරීමටත්, ලේඛන හා ද්‍රව්‍ය භාරයට ගැනීමටත් අසීමිත බලතල පවරා ඇත.

ප්‍රායෝගික බලපෑම කුමක්ද? පුද්ගලයෙකුගේ නිවස, පෞද්ගලික අවකාශය හෝ පරිශ්‍රය තුළ පවතින රහස්‍යභාවය(පෞද්ගලිකත්වයට අදාළ) සහ ලේඛනවල පෞද්ගලිකත්වය නීතිය බලාත්මක කිරීමේ අංශවල මෙම පුළුල් සෝදිසි බලතල හමුවේ මුළුමනින්ම අහෝසි වී යයි.

3. ඩිජිටල් වාරණය සහ මූලාශ්‍ර රහස්‍යභාවය බිඳවැටීම (10, 15 සහ 59 වන වගන්ති)

මූලාශ්‍ර රහස්‍යභාවය අහෝසි වීම (15 වන වගන්තිය): වෙනත් අයෙකු වරදක් කිරීමට සූදානම් වන බව දනිමින් තොරතුරු නොසැපයීම වසර 7ක සිරදඬුවම් ලැබිය හැකි වරදක් කර ඇත. එමඟින් රාජ්‍ය දූෂණ හෙළි කරන ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට තමන් වෙත තොරතුරු ලබා දෙන රහසිගත තොරතුරු සපයන්නන්ගේ (උදාහරණයකට Whistleblowers) පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය සුරැකීමට ඇති අයිතිය නැති වී යයි.

සමාජ මාධ්‍ය හැසිරීම් මත විධායක වාරණය (10 සහ 59 වන වගන්ති): අදාළ පුළුල් සහ නොපැහැදිලි පදනම් නිර්වචනයන් මත ක්‍රියාත්මක වෙමින් සමාජ මාධ්‍ය තුළ සටහනක් Share කිරීම, Retweet කිරීම, Forward කිරීම හෝ Link එකක් ඇතුළත් කිරීම පවා “ත්‍රස්තවාදී ප්‍රකාශනයක් සංසරණය කිරීමක් හෝ පහසුකම් සැලසීමක්” ලෙස සලකා, අදාළ Online ප්‍රකාශන සෘජුවම තහනම් කිරීමට විධායකයට බලතල හිමිවීම දැඩි අවදානම් සහගතය.

මේ හේතුවෙන් තොරතුරු සපයන්නන් ආරක්ෂා කිරීමට නොහැකි වී ගවේෂණාත්මක මාධ්‍යකරණය අඩපණ වන අතර, සමාජ මාධ්‍ය සටහනක් Share කිරීම පවා ත්‍රස්තවාදී වරදක් ලෙස අර්ථ නිරූපණය වීමේ භීතිය නිසා සමස්ත සමාජයම ‘ඩිජිටල් ස්වයං-වාරණයකට’ (Digital Self-Censorship) තල්ලු වී යනු ඇත.

එම නිසා, යෝජිත PSTA පනත් කෙටුම්පත මඟින් ත්‍රස්තවාදය පාලනය කිරීම යැයි පැවසුව ද, සිදුවන්නේ ඊට එහා ගිය පුරවැසි හඬ, සාමකාමී ලෙස සංවිධානය වීමේ නිදහස සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිය ඇතුලු ප්‍රජාතන්ත්‍රීය සමාජයක් තිබිය යුතුම තත්ත්වයන් මත නීතිය යොදාගනිමින් පැනවීමට උත්සහා කරන දැඩි මර්දනයකි. නෛතික දත්ත ආරක්ෂණයක් නොමැති මධ්‍යම දත්ත පද්ධති පවත්වාගෙන යාම, වරෙන්තු නොමැතිව සිදුකරන සෝදිසි කිරීම් සහ ඩිජිටල් සන්නිවේදන හා මාධ්‍ය මූලාශ්‍ර මත පනවන සීමාවන් හේතුවෙන් පුරවැසියන්ගේ භෞතික මෙන්ම ඩිජිටල් පෞද්ගලිකත්ව අයිතිය දැඩි අවදානමකට ලක්වනු ඇත.

එබැවින්, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය, පෞද්ගලිකත්ව අයිතිය ඇතුළු අයිතිවාසිකම් විනාශ කර දමන මෙම මර්දනකාරී පනත් කෙටුම්පත වහාම හකුළා ගන්නා ලෙස සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ආණ්ඩුවට බල කර සිටිය යුතු නොවන්නේද?