iMAGE: via Medium 

2020 ඔක්තෝම්බර් 5 වන දින, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ සේවකයින් 1,394 ක් COVID-19 පරීක්ෂාවට ලක් කළ අතර, එහි වාර්තාව මත සේවකයින් 567 දෙනෙකුගෙන් යුත් පොකුරකට ඔක්තෝබර් 6 වන විට COVID-19 වෛරසය ආසාධනය වී ඇති බව (පොසිටිව්) බව පළමු වරට තහවුරු විය. කෙසේ වෙතත්, අද වන විට එම පොකුර වෙනත් කර්මාන්ත ශාලා වල සේවක සේවිකාවන් ඇතුලු 1500+ වැඩි පිරිසක් පුරා ඉතා විශාල වශයෙන් පැතිරී තිබේ.

මේ අනුව කටුනායක නිදහස් වෙළඳ කලාපය (FTZ) ආශ්‍රිතව සේවය කරන සේවක සේවිකාවන් නිරෝධානය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව දිගින් දිගටම රජය වෙත අදාළ සේවක සේවිකාවන් විසින් චෝදනා එල්ල කරමින් තිබේ. එම සේවක සේවිකාවන් නියෝජනය කරමින් පසුගියදා ඔක්තෝම්බර් 15 වනදා මේ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කරමින් මාධ්‍ය සාකච්ජාවක් කොළඹදී පැවැත්වුණු අතර, ඊට පසු දින (ඔක්තෝම්බර් 16) එම සේවක සේවිකාවන්ගේ සුභ සාධනය වෙනුවෙන් කටයුතු කරන සංවිධාන කිහිපයක එකමුතුව සේවක සේවිකාවන් අනාරක්ෂිත ලෙස නිරෝධායන ක්‍රියාවලිය වෙත යොමු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත HRCSL) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මේ සටහන තබන මොහොත දක්වාද ඒ සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ප්‍රතිචාරයක් දක්වා නොතිබුණු අතර පසුගිය ඔක්තෝම්බර් 19 වන දින නැවත වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් සඳහා වූ සිවිල් සමාජ එකතුව විසින් ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නිදහස් වෙළෙඳ කලාපය තුළ කොවිඞ් 19 මර්දනය සහ නිරෝධායන කටයුතු වලදී සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බව තහවුරු කිරීම පිණිස මාර්ගෝපදේශ/නිර්දේශ නිකුත් කරන ලෙස ඉල්ලීමක් කොට තිබේ.

නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිතව දෙවැනි වරටත් ව්‍යාප්ත වීම ආරම්භ වූ කොවිඞ් 19 වසංගතය මර්දනය කිරීම මේ වන විට වඩාත් අභියෝගාත්මක වී ඇති අවස්තාවක විශේෂයෙන්ම කලාපය තුළ මෙම අධි-වසංගතය මර්දනය කිරීමෙහිලා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙළ අවිධිමත් හා බලහත්කාරී වීමත් මෙවැනි අවස්ථාවක වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු පාර්ශ්වයන් වගකීමකින් තොරව කටයුතු කිරීමත් හේතුවෙන් සහ මෙම දෙවන රැල්ලට වගකිව යුත්තේ ඇඟලුම් සේවක සේවිකාවන්ය යන වැරදි මතය හේතුවෙන් ඇඟලුම් සේවක සේවිකාවන් බරපතළ ගැටලු රැසකට සහ දැඩි පීඩනයටක මුහුණ දී සිටින බව තමන් නිරීක්ෂණය කොට ඇති බව ඔවුන් තම ලිපිය හරහා පෙන්වා දී තිබේ.

රජය, සෞඛ්‍ය හා ආරක්ෂක අංශයන්වල සහයෙන් මෙරට කොවිඞ් වසංගතය මර්දනය කිරීම සඳහා ගෙන යන නිරෝධායන වැඩපිළිවෙළ හා අනෙකුත් සෞඛ්‍යාරක්ෂණ වැඩසටහන් සඳහා සිවිල් සමාජ සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන් වශයෙන් ලෙස තම පූර්ණ සහයෝගය පළ කරන බව පවසන නමුත් කොවිඞ් වසංගතය යනු අයිතිවාසිකම් පසෙකලා ක්‍රියාත්මක වීමට ලබාදෙන බලපත්‍රයක් නොවන බව අවධාරණය කොට ඇත.විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලෙස ඔබ ආයතනය විසින් ද මීට පෙර නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්/නිර්දේශයන්, පුද්ගල/කණ්ඩායම් අයිතින් රැකගෙන කොවිඞ් මර්දනය කළ යුතු බවට අවධාරණය කර ඇති බව තම ලිපිය හරහා පෙන්වා දෙයි.

ඒ අනුව කොවිඞ්-19 සමඟ සටන් කිරීම රජයේ හුදෙකලා ක්‍රියාවලියක් නොකොට ඒ උදෙසා ගනු ලබන සෞඛ්‍ය හා සමාජීය පියවරයන් මහජනතාවගේ පූර්ණ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එම ක්‍රියාදාමය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ක්‍රියාත්මක විය යුතු බවත් විශේෂයන් අවධාරණය කොට ඇත.

එහෙත් පවතින අභියෝගාත්මක තත්වය තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය, වෙනස් කොට සැලකීම්වලට ලක් නොවී සිටීමේ අයිතිය මෙන්ම අවමන් සහගත සැලකීම්වලට ලක් නොවීමේ ව්‍යස්ථාපිත අයිතිවාසිකම් නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් සේවක සේවිකාවන් අරඹයා ක්‍රියාත්මක නොමැති බව තම නිරීක්ෂණය බව එම ලිපියෙ වැඩි දුරටත් සඳහන් කොට තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි එන මූලික අයිතිවාසිකම් සම්බන්ධව වන විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක වන බව තහවුරුකිරීමටත්, විධායක සහ පරිපාලන ක්‍රියාවන් හරහා මූලික අයිතිවාසිකම් ආරක්ෂාවන බවට තහවුරුකිරීමටත් 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත ප්‍රකාරව මානව හිමිකම් කොමිසමට බලතල හිමිව ඇති බැවින් ඒ අනුව රජයේ පරිපාලන ක්‍රියාමාර්ග, මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා පිළිගෙන ඇති මානව හිමිකම් ප්‍රමිතීන් පදනම් කරගෙන පරීක්ෂාවට ලක් කිරීමත් එම ක්‍රියාමාර්ග ඔස්සේ පුරවැසි මානව හිමිකම් කඩනොවන බව තහවුරු කිරීමත මානව හිමිකම් කොමිෂන් සභාවේ මුඛ්‍ය වගකීමක් බව ඔවුන් මෙහිලා දක්වා තිබේ.

මෙම ඉල්ලීම හරහා ඔවුන් විසින් මෙතෙක් නිරීක්ෂණය කර ඇති පරිදි රජයේ වසංගත මර්දන ක්‍රියාදාමය තුළ කලාපයේ සේවක සේවිකාවන් මුහුණ දෙන ප්‍රමුඛතම ගැටලු ලෙස

01. වෛරී හා අපහාසාත්මක ප්‍රකාශ

02. පුද්ගල ගෞරවය අහිමි කිරීම

03. සෞඛ්‍ය අනාරක්ෂීත බව

04.රැකියා හා වැටුප් කප්පාදුව

05. මෑන් පවර් සේවකයන් වෙනුවෙන් වගකියන පාර්ශ්වයක් නොමැති වීම.

06.බලහත්කාරයෙන් වැඩ ගැනීම සහ නිවාඩු අහිමි කිරීම

07. වසංගත කලමනාකරණයේදී භාෂාවන් පිළිබඳ සැලකිලිමත් වීම

08. වෘත්තීය සමිති අයිතිය අහිමි වීම

09. මිලිටරි මැදිහත්වීම

යන ඒවා හඳුනා ගෙන ඇති අතර එම කරුණු පදනම් කර ගනිමින් නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිතව ක්‍රියාත්මක වන කොවිඞ් මර්දන ව්‍යාප්තිය අවම කිරීම හා මර්දනය කිරීම මූලික කර ගත් වැඩසටහන් තුළින් කම්කරු ප්‍රජාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බව තහවුරු කිරීම සඳහා සුදුසු නිර්ණායක හා නිරෝධායන ක්‍රියාවලියේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ/නිර්දේශ නිකුත් කරන ලෙසත් කොවිඞ් මර්දනය සඳහා පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය, කොවිඞ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන එකී නිර්ණායක අනුගමනය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් සඳහා වූ සිවිල් සමාජ එකතුව විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙතින් මෙම ලිපිය හරහා ඉල්ලීමක් කොට තිබේ.

සම්පුර්ණ ලිපිය , එක් එක් පිටුව විශාල කොට කියවීම සඳහා ඒ මත click කරන්න.