2023 වසර අවසන්ව ඇත. 2024 වසර උදාවී පැය ගණනකි. එළැඹුනු 2024 වසර ලංකවේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන තත්ත්වයන් අනුව සැලකූ විට ඉතාමත් තීරණාත්මක වසරකි. කෙසේ නමුත් මෙම ඡායාරූප සටහන 2024 පිළිබදව පූර්ව විචාරයක් කිරීමට නොවේ.

මෙම ඡායාරූප ඇතුලු ඒ හා සමාන අරුත් ගැන්වෙන ඡායාරූප – වීඩියෝ දහස් ගණනක් විවිධ මාධ්‍ය වේදිකාවන්වලදී මෙන්ම ඔබේ මුහුණට මුහුණ සම්මූඛ වී නොතිබීමට නොහැකිය. එබැවින් 2024 වසරට පියමණින ලාංකීය සමාජය එම ඡායාරූප විසින් වසර ගණනාවක් පුරා ඉල්ලා සිටින සත්‍ය සහ යුක්තිය මගහැර 2024 කරා පියමැනීමට ශිෂ්ට සමාජයකට නම් නොහැකි බව යළි යළිත් පසක් කිරීමටය.

January 2023

‘පුතාට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා’ | ‘යුක්තිය නැතිව’ ශිෂ්‍ය ඝාතනයට වසර 17යි.

ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 17ක් ගතවේ. (2006 ජනවාරි 02-2023 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක් වූ මනෝහරන් රාගිහර්ගේ පියා වන ​වෛද්‍ය මනෝහරන් පවසා සිටියත්, ඒ පිළිබදව සාධනීය පරීක්ෂනයක් පවත්වා ඝාතකයින් නීතිය හමුවට පැමිණවීමට තවමත් ලංකාවේ කිසිදු බලධාරියෙක් සමත්ව නැත.

මෙසේ ඝාතනයට ලක් වූයේ මනෝහරන් රාගිහර්(1985/09/22,) යෝගරාජ් හේමචන්ද්‍ර (1985/03/04) ලෝගිදරාජ් රොහාන් (1985/04/07)දන්ගතු​​රෛයි සිවනාන්ද 1085/ 04/06 ), ශන්මුගරාජ් ගජේන්ද්‍රන් (1985 09/16 ) යන සිසුන් 5 දෙනා ය. ඒ 2006 වර්ෂයේ ජනවාරි 2 වැනිදා ය. ත්‍රිකුණාමලය ගාන්ධි ප්‍රතිමාව අසලදී ඔවුන් ඝාතනය කරනු ලැබීය. (More: https://www.vikalpa.org/article/42046)

February 2023

[පානම ඉඩම් කොල්ලය] කැබිනට් අනුමැතියෙන් වසර 8ට පසු පානම ජනතාවගෙන් පැහැර ගත් ඉඩම් රජයේ නිලධාරීන් බෙදා ගනී

ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ව සිටි, ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් ඉවත් කළ ගොවි පවුල් 75 කට අයත් වගා බිම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර ඉඩම් අක්කර 50 ක් පමණ රජයේ නිලධාරීන් හා දේශපාලඥයන් විසින් නීති විරෝධී ව බෙදා ගෙන තිබේ. (More: https://www.vikalpa.org/article/42125)

March 2023



කිලිනොච්චිය – ‘යුක්තිය’ නැතිව වසර 6ක්!…වසර 6ක්!…[Photos]

වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ‘යුද ජයග්‍රහණයේ සංඛේතයක්’ කිලිනොච්චියේ පාරට යාබදව පෙනෙයි. ඒ අසලින් යන වන්නියේ කිසිවෙක් ඒ දෙස නොබලයි. ලංකා හමුදාවේ යුද සංචාරක ව්‍යාපෘතියට රහ වැදී දකුණෙන් උතුරට යන ඇතැමෙක් ඒ ලේ වැකි බියකරු සංඛේතය පසුබිමට තබා සිනාමුසුව සෙල්ෆි ගනු දක්නට ලැබෙයි. නිරන්තරයෙන් ඒ අසල සෙබලුන් කිහිපදෙනෙක් ගැවසෙන්නේ තවමත් කැකෑරෙන වන්නි මිනිසාගේ වේදනාව ලෝකයාගෙන් වසන් කරන්නට මෙනි. නමුත්, මිනිස් ජීවිත වන්නි මහපොළවට යටකර දැමූ ඒ සන්නද්ධ සේනාව තවමත් වන්නි බිමේ වාඩිලා ගෙන සිටින ඒ පොළවේ, තවමත් යුක්තිය ඉල්ලා යාදින වියපත් මව්වරුන්, පියවරුන් කදුලු සලමින් ජීවිතය ඉල්ලා අතුරුදන් වූ සිය දරුවන්ගේ සුවද තුරුලුකරන් කදුළු වගුරුවති. (More: https://www.vikalpa.org/article/42155)

April 2023

පාස්කු දින ප්‍රහාරය – යුක්තිය නැතිව වසර 4ක්! [Photos/Video]

2019 අප්‍රේල් 21 වන දා ශ්‍රී ලංකාවේ ජීවිත සිය ගණනක් බිලිගත්, ආගමික ස්ථාන සහ හෝටල් ඉලක්කකර එල්ල කෙරුණු මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වසර 4ක් අද( අප්‍රේල් 21) සනිටුහන් කළේය. මෙම ප්‍රහාරය සමස්ත ශ්‍රී ලාංකිකයින්ම බියෙන් සළිත කළ අතර, රටට ඉතා අහිතකර බලපෑමක් එල්ල කළේය.

කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මිගමුව ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර, මඩකලපුව සියෝන් දේවස්ථානය සහ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, කිංග්ස්බරි සහ ශැංග්‍රිල්ලා හෝටලය මෙන්ම දෙහිවල ට්‍රොපිකල් ඉන් සහ දෙමටගොඩ නිවාස සංකීර්ණය ට මෙම ප්‍රහාරයන් එල්ල විය. මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් 273 දෙනෙක් ඝාතනය වී 500කට අධික පිරිසක් සිය ජීවිත කාලයම ඇදන් මත ගෙවා දැමීමට සිදුව තිබේ. (More: https://www.vikalpa.org/article/42262 )

May 2023



#MAY18sl | මේ සිහිකිරීම් ඉල්ලා සිටින්නේ ‘සත්‍ය සහ යුක්තිය’ මිස අන්කිසිවක් නොවේ![Video/Photos]

‘ඊනියා මාණුෂීය මෙහෙයුම’ නම් යුද්ධයේදී මරා දැමුණු සිය සමීපතමයින් මුල්ලිවෛක්කාල් හි දී සිහිකරන ලද්දේ පසුගිය මැයි 18වනදාය. ඒ අදුරු වූ මුල්ලිවෛක්කාල් අහස යට වයෝවෘද්ධ අම්මාවරුන්, පියවරුන් මෙන්ම කුඩා දරුවන්, තරුණ,තරුණියන් සිය ගණනක් සිය සමීපතමියින්ට පහන් දැල්වූයේ කඳුලු පිරි දෑස් අහසට යොමා ගෙනය. නමුත් ඒ කිසිවෙක් කිසිදු වෛරී ප්‍රකාශයක්, අදහසක් කිසිවෙකුටවත් කීවේ නැත. ඔවුන් ඉල්ලා සිටියේ එක් දෙයක් පමණි.

මරා දැමූ, අතුරුදහන්කළ, පැහැරගත්, හමුදාවට බාර කළ තමන්ගේ සමීපතමයින් ගැන සත්‍ය සහ යුක්තිය දැනගැනීමට අවශ්‍ය බවය.(More: https://www.vikalpa.org/article/42335 )

June 2023

රටවල් දෙකක බලයෙන් විසුරුවා දැමූ ජීවිත

නූතන වහල්භාවයට විවිධ ආකාරයේ වාර්ගික මානයන් පවතී. වසර 200කට පෙර ශ්‍රී ලංකාවේ වතුකරයේ සේවය කිරීමට ගෙන ආ කඳුකර දෙමළ කම්කරුවන් වර්තමානයේ නාමික පුරවැසියන් වුව ද ශ්‍රී ලංකාව තුළ නූතන වහල්භාවයේ සලකුණකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ නිර්මාණය කළ විශාලතම සුබසාධන රාජ්‍යය වූ ශ්‍රී ලංකාව ගොඩනැඟු‍වේ මෙම කඳුකර දෙමළ ප්‍රජාව විසින් නිෂ්පාදනය කළ ආදායමෙනි. එහෙත් ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන් විසින් නිදහස ප්‍රදානය කිරීමත් සමඟ දේශීය නායකයන් විසින් කඳුකර දෙමළ ප්‍රජාවගේ පුරවැසිභාවය අහෝසි කරන ලදි. එම ජනයාට පුරවැසිභාවය ලබාදීමට යැයි දක්වමින් 1964 දී අත්සන් කරන ලද සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම හරහා කඳුකර දෙමළ වැසියන්ගෙන් කොටසක් ශ්‍රී ලංකාවෙන් පිටමං කිරීමට තීරණය විය. මෙම ලිපිය තුළ අවධාරණය කරනු ලබන්නේ එලෙස ශ්‍රී ලංකාවෙන් පිටමං කිරීමට ලක් වූ සහ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලද කඳුකර දෙමළ වැසියන්ගේ ඥාති සබඳතා බිඳ වැටීම පිළිබඳවයි.(More: https://www.vikalpa.org/article/42402)

July 2023



“යුක්තිය වෙනුවට තුවක්කු” “පහන් වෙනුවට ගුටි” කළු ජූලිය 40වන වසර කොළඹ දී…[Video/Photos]

සැළසුම් සහගත ජන සංහාරයක් වූ කළු ජූලිය ට, ඊයේ(23) දින වන විට, වසර 40ක් සම්පූර්ණ විය. යුක්තිය නොළද එම වසර 40 පුරාම ලංකාවේත්, ලංකාවෙන් පිටතත්, කළු ජූලිය ට ගොදුරු වූවන්ට යුක්තිය ඉල්ලා මෙන්ම එවන් සංහාරයක් යළි ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ගයන් සහ 1983 ජූලියේ දී සාහසික මැරයින්ගේ ගොදුරු බවට පත්ව මිය ගිය සියලු දෙනා ස්මරණය කිරීම් සිදු විය.

කොළඹ සැමරුම්වලට බාධා

කළු ජූලිය පාදක කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ, සමාජවාදී තරුණ සංගමය විසින් “බෙදෙන්නෙට ඉඩ නොදෙමු! එක්ව අපි පියාඹමමු!! යනුවෙන් පාගමනක්, හයිඩ් පිටියේ සිට විහාරමහාදේවි රංග පීඨය දක්වා සංවිධානය කර තිබිණි. කෙසේ නමුත් අතර මගදී කැරළි මර්දන පොලීසිය සහ හමුදාව යොදවා එම පාගමනට ජල ප්‍රහාරයන් එල්ල කළේය. එම ජල ප්‍රහාරයන් සහ විවිද බාධා කිරීම් මධ්‍යයේ විහාරමහාදේවී උද්‍යානයේ සංවිධානය කර තිබු සංස්කෘතික වැඩසටහන පැවැත්වීමට ඔවුන්ට හැකියාව ලැබිණි.(More: https://www.vikalpa.org/article/42522)

August 2023

ඉන්දියාවේ දිට තෛලෙයි මන්නාරම හරහා ලංකාවේ වතුවල ‘වැඩ’ සදහා ගෙන එන ලද දෙමළ ජනයා සිය දුක්මුසු, පීඩිත, අවවරප්‍රසාදිත, අයිතීන් නොමැති වසර 200 සිහි කරනු ලබන්නේ මෙම 2023 දීය. මෙම වසර 200 පුරාම එම කඳුකර දෙමළ මිනිසුන් සිය දහදිය, කදුලු, ලේ වගුරුවා මේ ලාංකීය භුමිය පෝෂණය කළෝය. පෝෂණය කරමින් සිටින්නේය. නමුත් මේ කාලය පුරාම එම මිනිසුන්ට සිය ජීවිතය ගෙන යාමට සිදුවූයේ ‘වහලුන්’ සේ අනෙක් ජනයාට සාපේක්ෂව කිසිදු අයිතිවාසිකමක් භුක්ති විදිමින් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

“මම ඉන්දියාවේ ඉදලා ආවේ වයස අවුරුදු 4 දි, අම්මයි තාත්තයි තමයි මාව ලංකාවට එක්කං ආවේ”
“ඒ කාලේ දලූ කැඩුවේ නැත්තං කන්කානි මහත්තයා අත දිගහරින්න කියලා අතට ගහනවා…”

ඇය නමින්, එම්.දෛයීවානී ය.(M.Daivanai) 1915 නොවැම්බර් 15 වෙනිදා,(ඇයට මතක ලෙස) ඉන්දියාවේ උපත ලද ඇය ශ්‍රී ලංකාව නම් දූපතේ ‘තේ‘ වගාව සාරවත් කර ගැනීම සදහා එවක ලංකාව පාලනය කල බ්‍රිතාන්‍යන් විසින්, ඉන්දියාවේ සිට ගෙන ආවේය. ඒ ඇයට වසර අවුරුදු 4 දීය. (කියවන්න https://www.vikalpa.org/article/31127)

අයිතිවාසිකම් දිනා ගැනීම සදහා වන ඓතිහාසික පාගමන (More: https://www.vikalpa.org/article/42592)

September 2023

‘අවුරුදු 10ක්…තාමත් කිසිම තොරතුරක් නෑ…’ පැහැරගෙන ගොස් අතුරුදහන් කළ සිය ආදරණීය සැමියා සොයා යන මයුරි!(VIDEO)

මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්. 2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි ඇතුලු සිවිල් සංවිධානවල පිරිස් පසුගිය වසර කිහිපය පුරාම මධුෂ්කව සොයාගැනීම සදහා විවිද අන්දමේ බලපෑම්වල නියැලිනි. නමුත් මේ දක්වා ඔහු ගැන නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය.

ඒ අතර මයුරිගේ සැමියා අතුරුදහන්කර 2023 සැප්තැම්බර් 2 වන දිනට වසර 10ක් ගත විය. වසර 10ක් අවසන් වන මොහොතේ මයුරි පසුගිය 05 දා, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලට ලිපියක් බාර දෙමින් ඉල්ලා සිටියේ, ඇයගේ සැමියා ගැන කුමන හෝ තොරතුරක් ලබා දී යුක්තිය ඉටු කර දෙන ලෙසයි. (More: https://www.vikalpa.org/article/42725)

October 2023



මඩකලපුවේ කිරි ගොවීන්ගේ උපවාසයට දින 21යි – “වෙනත් ප්‍රදේශවලින් එන සිංහල මිනිස්සු අපේ ගවයින්ට වෙඩි තියනවා, අපිටත් පහර දෙනවා”

“මඩකලපුව, මයිලත්තමඩු මාදවනෙයි කියන තෘණ බිම් ආශ්‍රිතව අවුරුදු පනහක් විතර සත්ත්ව පාලනය තමා අපි කරන්නේ. මේක අපි පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන ආපු දෙයක්. දැන් මෙහෙට බලහත්කාරයෙන් කට්ටියක් ඇවිත් කැලෑ සුද්ද කරලා ඒවා ගිනි තියලා විනාශ කරලා, ගොවිතැන් කරන්න පටන් අරන් තියෙනවා. මේ වැඩ නිසාම අපේ ගවයින් 7000ක් විතර මේ වෙද්දී විනාශ වෙලා ගිහින්. අපේ කිරි ගවයින් තණකොළ කන බිම් තමා මෙයාලා මේ විදිහට බලහත්කාරයෙන් ගොවිතැන් කරන්නේ.” (More: https://www.vikalpa.org/article/42822 )



මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම – “ප්‍රගීත් නැතිව මේ පොළොවේ ජීවත්වන 5000වන දිනය”[VIDEO]

මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැළිගොඩ අතුරුදහන් කර අදට(04) දින 5000ක් ගත වී ඇත. ප්‍රගීත් අතුරුදහන් කරන ලද්දේ 2010 ජනවාරි 24 වනදාය. එදා සිට අද දක්වා දෙස් විදෙස් සංවිධාන, පුද්ගලයින් මාධ්‍යවේදී ප්‍රගිත් සොයා ගැනීමට අපමණ වෙහෙසක් දැරූහ. එහි දී මාධ්‍යවේදී ප්‍රගීත්ගේ බිරිද වන සංධ්‍යා එක්නැලිගොඩ ඇයට එල්ලවන සියලු අපහාස, නින්දා,ගැරහුම් මැද යුක්තිය සොයා යන ගමන නතර නොකළාය. More: https://www.vikalpa.org/article/42808)

November 2023



“ඔවුන්ව ගෙදර එවාපල්ලා” “அவர்களை வீட்டிற்கு அனுப்புங்கள்” “BRING THEM HOME”(Photos)

ශ්‍රී ලංකා රාජ්‍ය විසින් දකුණේ දී අතුරුදහන් කරන ලද අයගේ පවුල් පසුගිය (ඔක්තෝබර් 27) දා, අතුරුදහන්වූවන් සිහිකිරීම සදහා නිර්මාණය කර ඇති ලංකාවේ එක්ම ස්ථානය වන රද්දෝලුව ස්මාරකය වෙත රැස්වුනේ 33වන වතාවටය. වසර 33ක් ඒ අම්මාවරුන්, පියවරුන්, බිරින්දෑවරුන් ඇතුලු සමිපතමයින්, අතුරුදහන්කළ සිය ආදරණීයයන් සොයා තවමත් සැරිසරන්නේය. නමුත්, එම අතුරුදහන් කිරීම්වලට වගකිව යුතු කිසිවෙක් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍යයට තවමත් නොහැකි වී තිබීමෙන් කියැවෙන කරුණු බොහෝමයක් අතර වැදගත් කරුණක් තිබේ. එනම් ශ්‍රී ලංකා සමාජය තුළ ‘දණ්ඩමුක්තිය’ යහමින් පෝෂණය වී වැඩෙන්නට තත්ත්වයන් නිර්මාණය කර තිබීමයි. එසේම දණ්ඩමුක්තිය අවසන් කිරීමට මෙතෙක් බලයට පැමිණි කිසිදු පාලනයකට නොහැකි වූයේද, ඒ සියු දෙනාම ‘දණඩමුක්තිය’ අවසන් කිරීමට කිසිදු දේශපාලන වුවමනාවක් නොමැති පුද්ගලයින් වීමය. නොඑසේ නම් අපරාධකරුවන් ආරක්ෂා කිරීමට සෘජුව හේ වක්‍රම සහය දෙන පුද්ගලයින් හෝ දේශපාලන ව්‍යාපාර වීමය.

අදත් ඔවුන් සොයන්නේ ඔවුන්ගේ ආදරය යි (More: https://www.vikalpa.org/article/42924 )

December 2023

අහ්නාෆ් ජසීම් : නිදොස් කොට නිදහස්![Case Time Line]

දින 579කට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගුරුවරයෙක් හා කවියෙක් වූ නවරසම් පොතෙහි කර්තෘ, අහනෆ් ජසීම් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.(More: https://www.vikalpa.org/article/43076)