iMage: CNN
දරුණුම තත්ත්වයන් යටතේ වුවද සිදුවන ජනඝාතක සහ අයුක්තිසහගත යුද්ධවලින් වැළැක්වීම සදහා මිනිසා ලෙස අපවෙත පවතින නෛතික සහ මානවීය වගකීම ඉතාම විශාලය. විශේෂයෙන්ම, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ගොඩනගන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) මූලික වශයෙන්ම පිහිටුවනු ලැබුවේ ලෝක සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීමත්, නැවත යුද්ධයක් ඇති වීම වැළැක්වීම සහ සාමකාමී පරිසරයක් තහවුරු කිරීමත්, මිනිස් වර්ගයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් ඇතුලු කරුණු ගණනාවක් මූළික කරගනිමින් බව සාකච්ඡා වන කරුණකි. එහෙත් අද ලොව විවිධ ප්‍රදේශවල සිදුවන ජනඝාතන සහ අයුක්තිසහගත යුද්ධ අතරතුර, එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර ප්‍රජාව පවා ඇතැම්විට ප්‍රභල නොවන බව පෙනී යයි.
උදාහරණ කිහිපයක් ලෙස, පලස්තිනය, රුවන්ඩා, මියන්මාරයේ රෝහින්‍යා ජනසංහාරය, ශ්‍රී ලංකාවේ සහ සිරියාවේ සිදු වූ/ සිදුවන මහා ජනඝාතක යුද්ධ, ජනසංහාරයන් සම්බන්ධයෙන් ලෝකය වසර ගණනාවක් නිශ්ශබ්දව(?)/ ඒවා නැවැත්වීමට ගත් උත්සහයන්වල මන්දගාමීත්වය/ ආදී බොහෝ දේවල් නිසා ලක්ෂ ගණනක් මිනිසුන්ගේ ජීවිත අහිමිවී ඇත. මේවා මතක් කිරීමෙන්, අපි මතක් කරන්නේ ඉතිහාසය විසින් උගන්වන ලද පාඩම් ‘අමතක නොකළ’ යුතු බවයි.
ජනඝාතනය යනු මිනිස් සමාජයක වඩාත්ම අශීලාචාර, අමානුෂික ක්‍රියාවකි. එය මිනිසුන් විනාශ කිරීමෙන් පමණක් නොව, සම්පූර්ණ ජනවර්ගයන්, ඔවුන්ගේ සංස්කෘතික උරුම, සහ ජන අනන්‍යතාවයන් විනාශ කිරීමත් නිසාය. ජනසංහාරයන් සිදුකිරීම නිසාය.
“නමුත් ලෝකය නිශ්ශබ්දයි…” යනුවෙන් ප්‍රකට ජර්මානු දේශපාලන විචාරක Hans Küng කියා ඇත. ඔහු පෙන්වා දෙන්නේ යුද්ධයක් නතර වීම පමණක් නොව, එවැනි ජනඝාතක ක්‍රියාවන් උචිතය යයි පෙන්වන තත්වයන්ට එරෙහිව ද වහාම ක්‍රියා කළ යුතු බවයි. ජනඝාතන, යුධ අපරාධ, සහ අසාධාරණතා සිදුවන විට ලෝකය නිශ්ශබ්දව සිටින ආකාරය Hans Küng විවේචනය කරමියි. ඔහුගේ අදහස වන්නේ, ලෝකයේ බලවතුන් සහ ජාත්‍යන්තර ආයතන ඇතැම්විට අසාධාරණ හා විනාශකාරී සිදුවීම්වලදී නිශ්ශබ්දව සිටින බවත්, එය මානුෂීය වගකීම් හා සාමය සඳහා බාධාවක් බවත්, සාධාරණ ප්‍රතිචාරයක් ලබාදීම සමාජයේ සියලු දෙනාගේ වගකීමක් බවත්ය. (Aber die Welt schweigt / Hans Küng, “Aber die Welt schweigt…”, Zeit Online, 2004 )
පවතින, පැවතුනු යුද ගැටුම් පිළිබද කියවා ගැනීමේදී තවත් ඉතා වැදගත් කරුණක් අපට අවබෝධ වෙයි. එනම් උදාසීනත්වය(Neutrality) සේවය කරන්නේ පීඩිතයාට/ වින්දිතයාට නොව, පීඩකයාටය. නිහඩව සිටීම(Silence) සේවය කරන්නේ ද පීඩිතයාට/ වින්දිතයාට නොව පීඩකයාට බවය.
මේවන විට ලෝක බලවතුන්ගේ භූමිකාව – ප්‍රශ්ණ සහගත ද?
අද ලෝකයේ බලවතුන් ලෙස සැලකෙන රාජ්‍යයන්, විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය හි ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයින් පසුගිය වසර කිහිපයේදී සාමය උදා කර ගැනීම සඳහා නොව, යුද්ධවලට සෘජු හෝ සෘජු නොවන වශයෙන්, අනියමින් හෝ සම්බන්ධ වීම පිළිබද විවේචනයක් ලෝකය පුරා පවතී.
එක්සත් ජාතීන්ගේ සංවිධානය යුද ගැටුම් වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට පිහිටුවාගෙන තිබුණ ද, එහි බලය විශාල ලෙස සීමා වෙන්නේ මෙවැනි බලවතුන්ගේ භූ දේශපාලන ලැදියාවන් සහ ආරක්ෂක මණ්ඩලය තුළ ඇති “Veto” බලය හේතුවෙන්ය. (UN ශී ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජික 5 දෙනා (ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය, ප්‍රංශය, එක්සත් රාජධානිය)ට Veto බලය ඇත. ඔවුන්ගෙන් ඕනෑම එක් අයෙකු විසින් යම් යෝජනාවකට විරෝධය දැක්වුවහොත්, එය ආරක්ෂක මණ්ඩලය තුළ අනුමත නොවෙයි. මෙය සාමය හා ආරක්ෂාව සම්බන්ධ තීරණ වල දී විශේෂ ලෙස බලපායි. (https://www.britannica.com/topic/veto) මේ නිසා ජාත්‍යන්තර බලවතුන්ගේ ‘භූ දේශපාලන අභිප්‍රේරණ පදනම්’ මේ සදහා බලපාන බව දැඩි විවේචන ද පවති.
යුක්රේනය, පලස්තිනය වැනි යුද ගැටුම්වලදී ජාත්‍යන්තර මට්ටමින් සාධාරණත්වය ඇතිකර ගැනීම පිළිබදව ඇති ගැටලුකාරී තත්ත්වය මෙයින් පැහැදිළි වන බව විචාරකයන් පවසයි. එක් පාර්ශ්වයක ජනතාව අධික ලෙස පීඩාවට ලක්වන විට, බලවතුන් තමන්ගේ ආර්ථික හෝ භූ දේශපාලන උනන්දුව අනුව තීරණ ගනිමින් සිටිති. මේ වන විට ඉරානය-ඊශ්‍රායල යුද්ධය තුළ ඇමරිකාව(ඉරානයට ප්‍රහාර එල්ල කිරීම) සහ රුසියාවේ(ඉරානය – රුසියාව සමග සාකච්ඡා කිරීම) භූමිකාවන් මෙන්ම අනෙක් බලවත් රටවල්වල ප්‍රතිචාර සහ ප්‍රතිචාරවල ගැඹුර, බර, විශ්ලේශනය කිරීමෙන්ද නිවැරදි අවබෝධයක් ලබා ගත හැකිය.
බලවතුන් තමන් සිදුකරන අපරාධ සඳහා දණ්ඩනයට ලක්වීම දුලභය. එවැනි ක්‍රියාවන් අපරාධක් ලෙස හඳුන්වන්නේද ඔවුන්ගේම අඛ්‍යානය මගින්ය. ඒ වෙනුවට, අපරාධයක් ලෙස සැලකිය යුතු දේ පිළිබඳ කථාව ඔවුන්ගේම අඛ්‍යානයෙන් නිර්වචනය කරති. පාලනය කරති. ඔවුන් තමන්ට අනුකූල ලෙස “අපරාධ” යනු කුමක්ද යන්න පිළිබඳ ‘අදහස/ ක්‍රියාව’ පාලනය කරයි. මෙය මාධ්‍ය, නීති, සහ දේශපාලන ක්ෂේත්‍ර හරහා සිදු වේ. 2009 මැයි මස 19වනදා අවසන් වූ බවට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ප්‍රකාශ කල ශ්‍රී ලංකාවේ යුද්ධය සහ එම අපරාධයන්ට ආණ්ඩුව විසින් ලබා දුන් නිර්වචන(චිත්‍රපට, ගීත, කතා, ලිපි, වාර්තා ඇතුලු නොයෙක් දේ හරහා) පිළිබද කියවා ගැනීමෙන් ද මේ පිළිබද ‘මව්බිමේ’ දී ම අදහසක් ඇති කර ගැනීම වඩාත් පහසුය. නමුත් මෙය කියවන ඔබට, එය කියවා ගත හැකි වන්නේ, ඔබේ දැක්ම ගෝත්‍රික නොවන්නේ නම් පමණි.
ජනඝාතන, යුද අපරාධ, වර්ගසංහාරය, සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලින් ජනතාව ආරක්ෂා කිරීම සඳහා අපගේ සාමූහික වගකීම කිසිදා අමතක කළ යුතු නැත. යන අදහස පිළිබිඹු කරමින් 2004 අප්‍රේල් 7 වන දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, එවකට ලේකම් Kofi Annan මහතා විසින් විශේෂ අදහස් දැක්වීමක් සිදුකරන ලදි. එය අදටත් අතිශය වලංගු අදහස් දැක්වීමකි. එම කතාව නැවත නැවතත් ලොව සියලු දෙනාම කියවිය යුතු කතාවකි. (https://shorturl.at/Nystq)
අයුක්තිසහගත යුද්ධවලට විරුද්ධ විය යුතුමය.
අපි අයුක්තිසහගත යුද්ධවලට විරුද්ධ විය යුතුමය. විවිධ සීමාකම් ඇති, ජාත්‍යන්තර ආයතනවලට පමණක් නොව, මාධ්‍යවේදීන්, සිවිල් සමාජ නියෝජිතයන්, සහ පුරවැසියන් ලෙස මෙවැනි ක්‍රියාවලට විරුද්ධව ධෛර්යයෙන් පමණක් නොව, ක්‍රියාකාරී ලෙසත් ප්‍රතිචාර දැක්විය යුතුය. නිශ්ශබ්දව සිටීම, හඩක් නොනැගීම, සහ “ඒක අපේ කාරණයක් නෙවෙයි, අපිට අදාළ නෑ නේ” වැනි ආකාරයට හැසිරීම යනු, අපි මිනිස්කම අත්හරින අවස්ථාවන් ලෙස අර්තදැක්වුවහොත් ඔබ මා සමග අමනාප නොවන්න.
ව්‍යාජ නිශ්ශබ්දතාවය කඩමින්, සාමය, සාධාරණත්වය, නිදහස සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් හඩ නැගිය යුතුය. ක්‍රියාකළ යුතුය. මිනිසා ඇතුලු සියලු සත්ත්වයින්ගේ ඉරණම තීන්දු කිරීමට එක් බලවතෙකුට හෝ එක් බලවත් කණ්ඩායමකට ඉඩ නොදිය යුතුය.