ආගමික සිහි කිරීම හා සමාජ යතාර්තය අතර වෙනස

බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිහිකරන ඇසළ පොහොය දිනය ඊයේ ට(10) යෙදී තිබිණි. බුද්ධත්වයෙන් අනතුරුව ඉසිපතන මිගදායේදි ප්‍රථමවරට පස්වග මහණුන් වෙනුවෙන් ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදුකිරීම මෙන්ම බුදුන් වහන්සේ පළමු වරට යමහාමහ පෙලහරපෑම ද ඇසල පොහෝ දිනක සිදුව තිබෙන බව බෞද්ධ පොත්පත්වල සදහන් වෙයි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව එදින ‘පින්කම්වලට’ සහභාගී වෙමින්, ‘ධර්ම මාවතේ’ ගමන් කරන බව දකුණේ මාධ්‍ය ඉතාමත් උත්කර්ෂවත් ලෙස ඊයේ වාර්තා කර තිබිණි. මෙම ආගමික සිහිකිරීම, බුදුන් වහන්සේගේ කරුණාවට, ධම්මචක්කපවත්තන සූත්‍රයේ ගැඹුරු දහමට සහ සර්ව ජීවී කරුණාවට නැමුණු මොහොතක් ලෙසද අර්තකතනය වෙයි. එහෙත් මෙම ආගමික මොහොතේ දී ත්, ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදුකරන ලද මහපොළව නුහුලනා අපරාධ සම්බන්ධයෙන් මිහිපිට නිහඩ සාක්ෂි මතුවෙමින් පැවතීම ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනයා ට කොතරම් වැදගත්කමක් වන්නේද? නැත්නම් එසේ වැදගත්මක් නොවන්නේද?

එසේ, මහපොළව නුහුලනා එක් අපරාධ ස්ථානයක් වන්නේ යාපනයේ, චෙම්මනී සමූහ මිනී වළයි. ඊයේ(10) බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් ආගමික දිනයක් වූ ඇසල පොහොය ලබන විට එම චෙම්මනියේ සමූහ මිනී වළෙන් මිනිස් සිරුරු 63කට ආසන්න අස්ථි ප්‍රමාණය සොයාගත්තේය.(දින 24ක් පුරා සිදුකරණ ලද කැනීම්වලින් පසුව)

මෙම මිනිස් සිරුර 65කට ආසන්න සංඛ්‍යාවක්, ඇසල පොහොය වැනි දිනක සළකුණු වීම ‘ධර්මය’ සහ ‘සමාජ යථාර්ථය’ අතර පවතින සංකීර්ණ ආතතිය පිළිබඳ ගැඹුරු චින්තනයට ලංකාවේ බෞද්ධ ජනයා යොමුකරයි. එය එසේ වෙනවාද?

බුදු දහමේ යුක්තිය සහ සමාජ වගකීම

බුදු දහමේ මූලික ඉගැන්වීම්වලට අනුව ‘සත්‍යය’ පිළිබඳ බැඳීම අත්‍යවශ්‍ය ධර්මීය වගකීමකි. මෙම ධර්මීය ඉගැන්වීම් අනුව සත්‍යය සොයාගැනීම සහ කටුක අතීතයේ සිදුවීම් සම්බන්ධයෙන් සැබෑ සත්‍ය හෙළි කිරීම මෙන්ම යුක්තිය ඉටු කිරීම මූලික අවශ්‍යතාවයකි.

චෙම්මනියේ සමූහ මිනී වළ යනු හුදෙක් පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් නොවෙයි. එය ශ්‍රී ලංකාවේ ජාතිකත්වය, යුද කාලය තළ සිදුකල මානව අයිතිවාසිකම් කෙළෙසීම් ඇතුල බරපතල අපරාධ සහ සමාජ සන්ධිස්ථාන සම්බන්ධයෙන් පවතින ගැඹුරු දේශපාලන ගැටලුවල සාක්ෂි සපයන්නකි. සොයාගනු ලැබු මෙම අස්ථි යනු යුක්තිය ඉල්ලන ප්‍රභල හඬකි. සත්‍යය ඉල්ලා කෑ මොර දෙන කැඩපතකි. යුකිතිසහගත සාමය ගොඩනැගීම සදහා අවශ්‍ය වන සත්‍ය ගවේෂණයට හඬ නැගීමකි. මාවතකි.

සංකේතික නිහඬතාවයේ සමාජ-දේශපාලන ගුණාත්මකභාවය

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ලංකාවේ ප්‍රසිද්ධ පෙරහැරක් වන කතරගම ඇසළ පෙරහැර වන්දනාමාන කළ බව ඔහුගේ Facebook පිටුවේ සදහන් කර තිබිණි. “ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බව සඳහන් කරමින්, ඓතිහාසික උරුමයන් මත අක්මුල් විහිදාගත් ජාතියක් ලෙස ගොඩනැගෙමු’යි සියලු ජනතාවට ආරාධනා කළෙමි.” යනුවෙන් ජනාධිපතිවරයා එහි වැඩිදුරටත් සදහන් කර තිබේ. එය නරක අදහසක් නොවේ. ඓතිහාසික උරුමයන්ගෙන් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජනාධිපතිවරයා තේරුම්ගෙන ඇති බවක් එයින් හැගී යයි. එය වැදගත්ය. නමුත් ඓතිහාසිකව සිදුකරන ලද බරපතල අපරාධ පිළිබද හෙළිදරව් නොකර, අපරාධවලට සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට ඉදිරිපත් නොකර, ඒ සදහා දේශපාලන උනන්දුවක් නැතිව මෙන්ම එම ඒවාට යුක්තිය ඉටු නොකර සමාජයක් ලෙස ඉදිරියට යාමට නොහැකි බව ද අප නැවත නැවතත් මතක් කළ යුතු වන්නේද?

එය එසේ වන්නේ, දින ගණනාවක් ගත වුවත්, චෙම්මනියේ සමූහ මිනී වළෙන් සොයාගත් මිනිස් අස්ථි සම්බන්ධ ප්‍රකාශයක් (ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස) හෝ සැලකිල්ලක් දැක්වීම සිදුනොවීම, ධර්මීය අර්ථකථනයන් සහ දේශපාලනික සාකච්ඡාවන් අතර ඇති දැවැන්ත ගැඹුර ප්‍රශ්න කරයි.

යුද්ධ කාලීන ඉතිහාසය සම්බන්ධයෙන් කටුක සත්‍යයන්ට මුහුණ දීම වෙනුවට, ඒවා නොසලකා හැරීමෙන් ‘ජාතික සමගිය’ ගොඩනැගිය හැකි යැයි ඔවුන් විශ්වාස කරන්නේද? එසේ නම් මෙම ප්‍රවේශය, යම් කාලයක් සදහා අමතර ගැටලු වළක්වා ගත හැකි වුවද, දිගුකාලීන ‘ජාතික සමගිය’ ගොඩනැගීම සදහා අවශ්‍ය සත්‍ය සහ යුක්තිය පිළිබද සාකච්ඡාවට මෙන්ම ක්‍රියාකාරීත්වයට දැවැන්ත බාධාවකි.

දෙවනුව, මෙම නිහඬතාවය ජාතිකත්වය-ආගම සහ සමාජ යතාර්තය අතර වෙනස පිළිබඳ සමාජ අර්ථකථනයේ අර්බුදය නියෝජනය කරයි. ධර්ම චාරිත්‍ර සහ ජාතික සන්ධිස්ථාන තුළ සමාජ යුක්තිය ඉටුකිරීම, එකිනෙකට තුලනය වූ ප්‍රවේශයකි. වසර ගණනාවක් පුරා වේදනා විදින ප්‍රජවකගේ සංවේදනා සහ ඔවුන් ඉල්ලා සිටින සත්‍ය සහ යුක්තිය නියෝජනය නොකරන ධාර්මික අදහස් දැක්වීම් බුදු දහමේ කරුණාව සහ සර්ව ජීවී සම්බන්ධතාවය පිළිබඳ මූලික අර්ථකථනයට පටහැනිය.

කෙසේ නමුත්, ඊයේ(10) ඇසල පොහොය දිනයේද දකුණෙන් නාගදීප වන්දනාවට යන බැතිමතුන් A9 පාර දිගේ චෙම්මනී සමූහ මිනී වල පසුකර ගෙන ගියේ ය. ඔවුන් කිසිවෙක් ට ඒ චෙම්මනියේ හඩ ඇසුනේ නැත. කුඩා දරුවන්ගේ සිට මහල්ලා දක්වා වල දමා ඇති අපරාධමය ඉතිහාසය නොදන්නා බැතිමතුන් විය හැකිය. එම නොදන්නා කමට එක් හේතුවක් වී ඇත්තේ අන්ත ද්‍රවීකරණය වී ඇති දකුණේ සිංහල භාෂිත මාධ්‍යයි. නමුත් ඇතැම් විට එම අපරාධමය ඉතිහාසය දන්නා වුවත්, අපරාධකාරී මනෝභාවයෙන් මිදීම සදහා ‘අපි ඕවට සම්බන්ධ නෑ. අපේ කවුරුත් ඕවා කරලා නෑ’ වැනි කෘතීමව තනාගත් මානසික සහනමය ලෝකයක ඔවුන් ජීවත්වනවා ඇත. ඔවුන් එසේ ජීවත්වීමට කැමතිය.

නමුත්, චෙම්මනී සමූහ මිනී වළේ දෝංකාර දෙන මිනිස් වේදනාවන්ගේ හඩ, දකුණේ ඒ ‘කැමැත්ත’ අර්බුදයට ලක් කරනු ඇත. එබැවින් දකුණට මෙන්ම ලෝකයටත්, මේ අපරාධ සිදුකළ අපරාධකරුවන් හෙළි කරමින් එහි ‘සත්‍ය’ ලෝකය හමුවේ තැබීමටත් දේශාපාලන වගකීම ඇත්තේ වත්මන් අනුර කුමාර දිසානායක ඇතුලු මාළිමා ආණ්ඩුවටය. එය මාළිමාව ආණ්ඩුව ඉටුනොකරන්නේ නම් ඔවුන් ද වැටීමට නියමිත ඇත්තේ පරණ කුණු කූඩයටමය.