iMage: DW/AFP

අප දැන් සිටින්නේ පශ්චාත් ආපදා තත්ත්වයකයි. ඇති වූ දිට්වා සුලි කුණාටුව හේතුවෙන් ජීවිත හානි 618ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 209ක් අතුරුදන්වී ඇති අතර පවුල් 583,030කට අයත් පුද්ගලයින් 2,078,436ක් පීඩාවට පත්ව සිටී.(here) ඒ අතරතුර දිට්වා සුළි කුණාටුව ඇතිවීමට පෙර වත්මන් ආණ්ඩුවේ ඒ සදහා දක්වන් ලද සූදානම පිළිබද විවේචන ඇති වෙමින් පවතී. ඒ අතර ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.(here) කෙසේ නමුත් ලෝකය පුරාම පවතින දේශගුණික විපර්යාස තත්ත්වයන්ට අනුව ස්වාභාවික ආපදාවන් ඉදිරියේ දී ඇතිවිය නොහැකි යැයි උපකල්පන කල නොහැකිය. කෙසේ නමුත් එවැනි ස්වාභාවික ආපදාවන්වලින් සිදුවන හානි අවම කර ගැනීම සදහා අපට විදිමත් සන්නිවේදනයන්, ආපදා කළමනාකරණ යාන්ත්‍රණයන් ආදී බොහෝ තත්ත්වයන් පිළිබද නැවත සමාලෝචනය කරමින් ශක්තිමත්ව සහ විනිවිදභායකින් යුක්තව ගොඩනගා ගත යුතුව තිබේ.

එහිදී විශේෂයෙන් ආපදා හෝ ව්‍යසන තත්ත්වයන්හිදී ජනතාවට සිය භාෂාවෙන් තොරතුරු ලබා ගැනීම, ඒවා විවේචනය කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම ඉතා වැදගත්ය. මෙය ආපදා තත්ත්වය ශක්තිමත්ව කළමනාකරණය කිරීමට හා අනතුරු වැළැක්වීමට අත්‍යවශ්‍යම සාධකයකි.

කතා කිරීම පමණක් නොවේ.

එබැවින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු හුදෙක් කතා කිරීම පමණක් නොවේ; එය සත්‍යය සොයන, විවේචනය කරන, විරුද්ධ මතවලට ඉඩ දෙන, ඉවසන, අධිකාරී බලයට එරෙහිව හඬ නගන එකම මිනිස් ක්‍රියාකාරීත්වය යි. රජයට හෝ ආපදා කළමනාකරණ යාන්ත්‍රය “අපට විශ්වාස කරන්න, අපි හැමදේම හොඳින් කරමින් ඉන්නවා” යන්න පවා විමසීමට, දත්ත-තොරතුරු දැන ගැනීමට, ගැටලු ඇති තැන් විසදා ගැනීම සදහා විවේචනය කිරීමට ආපදා හෝ පශ්චාත් ආපදා තත්ත්වයක් තුළ පවා නිදහස තිබිය යුතුයි(ආචාරධාර්මිකව). විශේෂයෙන් මෙවැනි අවස්ථාවක 2025 අංක 13 කරණ ආපදා කළමනාකරණ පනත වැනි නීති තිබියදී, හදිසි නීතිය සක්‍රීය කර ඇති මොහොතක ප්‍රකාශනයේ නිදහස අභියෝගයට ලක් වුවහොත් එය පශ්චාත් ආපදා තත්ත්වයට තර්ජනයක් විය හැකිය. එය තවත් භයානක වන්නේ හදිසි නිති රෙගුලාසි වල වඩා පුළුල් සහ අත්තනෝමතික ආකාරයට අර්ථනිරූපනය කර තිබීමය. ශ්‍රී ලංකා පොලීසිය බාර නියෝජ්‍ය ඇමති වටගලගේ ප්‍රකාශය මෙහි ඇති භයානක බවට එක් උදාහරණයක් සපයයි.

ජනාධිපතිවරයාගේ සිට පහළම රාජ්‍ය නිළධාරියා දක්වා සිදුවිය හැකි, සිදුවන වැරදි දෙයක් විවේචනය කිරිමටත්, විරුද්ධ විමටත් ඇති අයිතිය අභියෝගයට ලක් වන්නේ නම් ස්වාභාවික ආපදාවට වඩා ඉදිරිය අනතුරුදායක විය හැකියි. එසේම ආපදාවට ලක්වී සිටින ජනතාවටත්, අනෙකුත් ජනයාටත්, තොරතුරු ලබාගැනීමේ, තීරණ ගැනීමේ, එකිනෙකෙනා ආරක්ෂා කිරීමේ හැකියාමේ මට්ටම තීරණය වන්නේ ද ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා වීමෙන්ය. එය ගලවා දැමූ විට හෝ අභියෝගයට ලක් කරන විට “ජනතාව බේරාගැනීම” යනු හුදෙක් ජනතාවව “කළමනාකරණය” කිරීමක් බවට පත්වේ.

එබැවින් ආපදාවකදී වුවද, අදහස් ප්‍රකාශන නිදහස යනු ජීවිතය බේරාගැනීමේ මෙවලමක්ම වන්නේ, එයින් තොරව බේරාගන්නා ජීවිතය ‘හුස්ම ගැනීමක්’ පමණක් වීමට ඉඩ ඇති බැවිනි.

මිනිසා හුස්ම ගන්නා තෙක්ම කතා කළ යුතුයි; අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැතිව හුස්ම ගැනීම යනු හුදෙක් පණ පවත්වාගෙන යාමකි.

ආපදාව එන්නේ ස්වභාවයෙන් පමණක් නොවේ. එය බලයේ අත්තනෝමතිකත්වයෙන්ද එන්නේය. ගංවතුර, නාය යෑම්, සුළි කුණාටු හෝ රෝග වසංගතයක් ඇති වූ වහාම රාජ්‍ය යාන්ත්‍රණය “ජනතාව බේරාගැනීම” යන නාමයෙන් තමන්ටම අතිවිශේෂ බලතල ගෙන එයි. එහි දී සිදුවන පළමු මිනිස් ඝාතනය නොවේ මරණය; එය කතා කිරීමේ හැකියාවේ මරණයයි. මිනිසා කතා කරන්නේ/අදහස් ප්‍රකාශ කරන්නේ නැති වූ පසු ඔහු තවදුරටත් මිනිසෙකු නොවේ. ඔහු කළමනාකරණය කරන වස්තුවකි.

හදිසි නීති රෙගුලාසි යනු බලයේ නිරුවතයි

හැනා ආරෙන්ට් තර්ක කළේ “බලයේ සැබෑ ස්වභාවය හෙළි වන්නේ එය අත්තනෝමතික වන විටයි” යනුවෙනි. ශ්‍රී ලංකාවේ 2025 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනත තිබියදීත් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම යනු එම නිරුවතයි. තත්ත්වයට අදාළ නීතිය තිබියදීත් වෙනත් නීති භාවිතා කරමින් “අපේ රටේ තත්ත්වය අනුව” යන තර්කයෙන් අත්තනෝමතික බලයක් ගැනීම යනු මෙයයි. එවිට ප්‍රකාශන නිදහසට එරෙහි පළමු පහර එල්ල වන්නේ නීතියෙන්ම නොව, නීතියේ “අර්ථනිරූපණයෙන්”යි.

සුනිල් වටගල නියෝජ්‍ය පොලිස් අමාත්‍යවරයාගේ “ආපදාව ගැන බොරු පතුරවන්නන්ට එරෙහිව දැඩි පියවර” යන ප්‍රකාශය එහි එක් ලක්ෂණයකි. බොරු කියන බව තීරණය කරන්නේ කවුද? ආණ්ඩුව ද? බලය ඇති අයද? එවිට සත්‍යය හෝ අසත්‍ය තීරණය වන්නේ බලයෙන් මිස සාක්ෂිවලින් නොවේ. මෙහි දී ආපදා කළමනාකරණය යනු ජනතාව බේරාගැනීමක් නොව, ජනතාවව “කළමනාකරණය” කිරීමක් බවට පත්වේ.

අදහස් ප්‍රකාශ ප්‍රකාශ කිරීමේ නිදහස අභියෝගයට ලක් වූ විට සත්‍යය මිය යයි

ආපදාවකදී තොරතුරු යනු ජීවිතයයි. කුමන ප්‍රදේශයකට ගංවතුර එන්නේද? ආධාර කොහෙන් එන්නේද? ඒවා කොහෙන් බෙදන්නේද? ඒවායේ ගුණාත්මකභාවය කෙබඳු ද? මේ ප්‍රශ්න ඇසීම අභියෝගයට ලක් වූ විට ජනතාවට ලැබෙන්නේ ආධාර නොව, බලයේ අනුකම්පාවයි. එය ආධාර දෙන ලෙස පෙනුනත්, ඒ ආධාර කවුද ලබා දෙන්නේ, කෙසේද, කොහෙන්ද යන ප්‍රශ්න ඇසීම අභියෝගයට ලක් වූ විට එම ආධාරවල ගුණාත්මක භාවය පිරිහීමට ලක් විය හැකිය.

ජෝන් ස්ටුවර්ට් මිල්ගේ “On Liberty”හි ඇති මූලික තර්කයක් මෙයයි: සත්‍යය හමුවන්නේ විවේචනයෙන් හා විරුද්ධ මතයෙන් පමණි. රජයට හෝ ආපදා කළමනාකරණ යාන්ත්‍රණයට “අපි හැමදේම හරියට කරනවා, විශ්වාස කරන්න” යැයි කියන දේ පවා ‘ප්‍රශ්න නොකිරීමට’ තත්ත්වයක් නිර්මාණය වූ විට, එහි ඇති වැරදි හඳුනාගැනීමේ හැකියාව නැති වෙයි. එවිට ස්වභාවික ආපදාවට වඩා බරපතල වන්නේ එයින් ඇතිවන ද්විතීයික ආපදාවයි.

නිදහස නැති බේරාගැනීම යනු ගැලවුමක් නොවේ

ආපදාවකදී රජය ජනතාවට කියන්නේ “ඔයාලගේ ජීවිත බේරගන්න අපිට පුළුවන් – අපිව විශ්වාස කරන්න” යනුවෙනි. එය සත්‍යක් ඇති වුවත් ‘විශ්වාසය’ යන්න ප්‍රතිපත්තිමය අදහසක් නොවේ. එබැවින් ආණ්ඩුකරණයේ දී වැදගත් වන්නේ විනිවිදභායකින් යුත් ප්‍රතිපත්ති, ක්‍රියාත්මකවීම්, සැළසුම් මිසක් ‘විශ්වාසය’ වැනි සෞන්දර්යාත්මක අදහස් නොවේ.

එපමණක් ද නොවේ, අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි හෝ එයට බාධක ඇති පුරවැසියාට හුස්ම ගැනීම තිබුනත්, ඔහු ජීවත්වෙන්නේ නැත. ඔහු පණ පවත්වාගෙන යන්නෙක් පමණි. හදිසි තත්ත්වය යටතේ ප්‍රකාශන නිදහස අභියෝගයට ලක් වූ විට බේරෙන්නේ ජීවිතය නොව, ජීවත්වීමේ හැකියාව නැති පණ පවත්වාගෙන යන ජනතාවෙකි. එවිට “ජනතාව බේරාගැනීම” යනු ඔවුන්ව “කළමනාකරණය” කිරීමක් පමණි. එය ගැලවුමක් නොවේ. එය බන්ධනාගාරයකි.

අදහස් ප්‍රකාශනයේ නිදහස අභියෝගයට ලක් වන්නේ නම්, හුස්ම ගැනීමද අර්ථවත් නැත

එබැවින් ආපදාවකදී වුවද ප්‍රකාශන නිදහස ආරක්ෂා කළ යුත්තේ එය ජීවත්වීමේ මෙවලමක් නිසාය. එයින් තොරව බේරාගන්නා ජීවිතය ජීවත්වීමක් නොවේ. එය හුදෙක් පණ පවත්වාගෙන යාමකි.

එබැවින් අපි අදහස් ප්‍රකාශ කළ යුතුය – ගංවතුර තිබුණත්, හදිසි නීති තිබුණත්, බලයේ බිය තිබුණත් – මක් නිසාද යත් අදහස් ප්‍රකාශ කිරීම නැති තැන මිනිසෙකු ඉතිරි වන්නේ නැත. ඉතිරි වන්නේ කළමනාකරණය කළ යුතු වස්තුවක් පමණි.

ආපදාවකදී ජනතාව ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සහතික කිරීම අතර සැබෑ ගැටුමක් ඇත්තේම නැත. ඇත්තෙන්ම, එක ආපදා කළමනාකරනය තවත් ශක්තිමත් කරයි. විවෘත සන්නිවේදනය, භාෂාමය වෙනස්කොට නොසැලකීම, විවෘතභාවය-විනිවිදභාවය, විවේචනය, සහ විවාදය නිසා ආපදා කළමණාකරනය වඩාත් ඵලදායී, වගකිව යුතු සහ මානුෂීය වනු ඇත.

අවසානයේදී, අප සතුව ඇත්තේ සරල තේරීමකි: අපට තිබිය හැක්කේ ආරක්ෂිත නමුත් ‘නිශ්ශබ්ද සමාජයක්’ හෝ විවෘත හා සක්‍රීය-සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයක්ද? ඉතිහාසය පෙන්වා දෙන්නේ පළමු විකල්පය මායාවක් බවයි – නිශ්ශබ්දතාවය ආරක්ෂාව ගෙන නොදෙන අතර, බොහෝ විට එය තවත් බරපතල අර්බුද සඳහා සරු පසක් සකසයි.

සැබෑ ආරක්ෂාව පැමිණෙන්නේ විවෘත-විනිවිදභාවය, වගකීම සහ සක්‍රීය පුරවැසි සහභාගීත්වයෙනි. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීමෙනි – මේ සියල්ලම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මත පදනම් වේ.

ආපදාව අතරතුරදී, පශ්චාත් ආපදා තත්ත්වයකදී වුවද – අපි කතා කළ යුතුයි, ප්‍රශ්න කළ යුතුයි, විවේචනය කළ යුතුයි. එය කිරීමට අපට අයිතිය තිබිය යුතුයි. ඒ අයිතිය තර්ජනයට ලක් කිරීම හුදු නෛතික කරුණක් නොව, මිනිස් අභිමානය ගැන තීරණාත්මක ප්‍රශ්නයකි.​​​​​​​​​​​​​​​​