iMage: GenAI

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළින් වාර්තා වූ මෙම සිදුවීම, වර්තමාන ඩිජිටල් සමාජය තුළ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව පිළිබදව මුහුණ දී ඇති බරපතල අභියෝගයක් වන කැමැත්ත ලබා ගැනීමකින් තොරව සමීප රූප හෝ දර්ශන බෙදා හැරීම (Non-consensual intimate imagery – NCII) පිළිබඳ වන තත්ත්වය හී බරපතලකම මැනවින් පැහැදිලි කරයි. මෙම සිදුවීම හුදෙක් සදාචාරාත්මක ගැටලුවක් පමණක් නොව, එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සහ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයකි.

එසේම එම ලිංගික හැසිරීම් අදාළ පුද්ගලයා විසින් සිය ජංගම දුරකතනයෙන් පටිගත කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වෙයි. කෙසේ හෝ අදාළ පුද්ගලයාගේ දුරකතනය වෙනත් අයෙක්(තුන්වන පාර්ශවයක්) විසින් ලබා ගැනීමෙන් පසු, අදාළ කාන්තාවන් අතර වූ ලිංගික ක්‍රියාකාරකම් එම දුරකතනය තුළ පටිගත වී ඇති බව දක්නට ලැබෙයි. පසුව, අදාළ දුරකතනය තුළ තිබූ එම ලිංගික දර්ශන සහිත දුරකතනය ලබා ගත් පුද්ගලයා විසින් එම අන්තර්ගතයන් සමාජ මාධ්‍යට මුදා හරියි. මේ කිසිවක් දුරකතනයේ අයිතිකරු වන පුද්ගලයා හෝ අදාළ කාන්තාවන් නොදනී. ඔවුන්ගේ කිසිදු අවසරයකින් තොරව මෙම ක්‍රියාවලිය සිදුවෙයි. දැන් අදාළ කාන්තාවන් සහ අදාළ පුද්ගලයා ඉතාමත් අවදානමටත්, අපහසුතාවයටත්, වින්දිත භාවයටත් පත්ව තිබේ. විශේෂයෙන් අදාළ කාන්තාවන් දැඩි අවදානමකටත්, හිංසනීය තතත්වයටත් පත්ව ඇති අතර එය ඔවුන්ගේ ගෞරවය සහ ආත්මය පිළිබද දැවැන්ත ප්‍රශ්ණයකි.

NCII යනු කුමක්ද?

NCII(Non-consensual intimate imagery – NCII) යනු පුද්ගලයෙකුගේ කැමැත්ත නොමැතිව එම පුද්ගලයාගේ දත්ත, තොරතුරු, ලිංගික හෝ සමීප දර්ශන, රූප හෝ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා හුවමාරු කිරීමයි. මෙම සිදුවීමේදී, අදාළ කාන්තාවන් සහ පුද්ගලයා අතර සිදු වූ දර්ශන ඔවුන්ගේ අවසරයකින් තොරව තෙවන පාර්ශවයක් විසින් ප්‍රසිද්ධ කිරීම මගින් ඔවුන්ව බරපතල ලිංගික හිංසනයකට සහ ස්ත්‍රී විරෝධී තත්ත්වයකට ගොදුරු කර ඇත. මෙවැනි ක්‍රියා මගින් වින්දිතයන්ට ඇතිවන හානිය අතිමහත් වන අතර, එය ඔවුන්ගේ මානුෂීය ගෞරවය සෘජුවම කෙළෙසීමකි. NCII මගින් කාන්තාවන් අධික ලෙස හානිවුව ද, සියලු ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් මෙවැනි හිංසනයට ගොදුරු විය හැකි බව ද අවධාරණය කළ යුතුය.

ඩිජිටල් අයිතිවාසිකම් සහ පෞද්ගලිකත්වය

අන්තර්ජාලය තුළ පුද්ගලයෙකු සතු පෞද්ගලිකත්වය සුරැකීමට ඇති අයිතිය මානව හිමිකමක් ලෙස ගෝලීයව සාකච්ඡා කරයි. මෙම සිදුවීමේදී සිසුවාගේ පෞද්ගලික දත්ත (දුරකතනයේ තිබූ දර්ශන) සොරා ගැනීම සහ ඒවා අනිසි ලෙස භාවිතා කිරීම දත්ත සොරකමක් සහ එම අන්තර්ගතයන් අපයෝජනය කිරීමකි. පුද්ගල දත්ත භාවිතයේදී පරිශීලකයාට ඒ පිළිබඳ පූර්ණ පාලනයක් තිබිය යුතු වුවත්, මෙහිදී තෙවන පාර්ශවයක් එම පාලනය උදුරාගෙන තිබේ.

මෙම සිදුවීමේදී ශ්‍රී ලංකාවේ බහුතර අදහස යොමුව ඇත්තේ දැඩි නීති සහ දඩුවම් මගින් මෙම තත්ත්වය සමනය කළ හැකි බව මගේ නිරීක්ෂනයයි. නමුත් නීති වලින් පමණක් මෙම අතිශය බරපතල තත්ත්වයන්ට පිළිතුරු සෙවිය නොහැකි බව මින් තවදුරටත් පැහැදිලි වෙයි. අන්තර්ජාල හානි වැළැක්වීම සඳහා සිවිල් නිදහස මර්දනය කරන නීති නොව ජාත්‍යන්තර මානව හිමිකම් රාමු පදනම් කර ගනිමින් ඉදිරිගාමී ක්‍රියාකාරී වැඩසටහන් අවශ්‍යය. නූතන ඩිජිටල් ලෝකයේ ඇති දියුණු-තියුණු ප්‍රවණතා නිසා ඕනෑම නීතියක් අභිබවා යමින් හානි සිදු කිරීම සහ සිදුකළ පුද්ගලයා හෝ ඔහුගේ අනන්‍යතාවය සොයා ගැනීම අතිශයින් දුෂ්කර වී ඇත. විශේෂයෙන් තියුණු තාක්ෂනික මෙවලමක් වන කෘතීම බුද්ධිය තුළ ඇතිවී ඇති සහ ඇති වෙමින් ඇති තත්ත්වයන් නිසා සත්‍ය-අසත්‍ය පිළිබද තත්ත්වයන් මානවයාට අවබෝධකර ගැනීමේ ඉතාමත් සංකීර්ණ අභියෝගයකට මුහුණ දෙමින් තිබේ. එම සංකීර්ණත්වය නිසාම නීතිය සහ දඩුවම් මගින් පමණක් මෙම සංකීර්ණ ගැටළුවලට පිළිතුරු සෙවීම දුෂ්කරය.

NCII නතර කිරීමට යෝජනා: මනෝ සමාජීය, සාක්ෂරතාවය සහ තාක්ෂණික කරුණු

මෙම තතත්වය සැලකිල්ලට ගනිමින් මෙම අවධානම් තතත්වයන් යම් පමණකට හෝ අවම කරමින්, ඉදිරියේදී සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමීම සදහා කලාප කිහිපයක් පිළිබද අදහසක් දැනට යෝජනා කිරිමට කැමැත්තෙමි.

1. මනෝ සමාජීය කරුණු (Psychosocial)

• මානව හිමිකම් සහ ගරුත්වය: ඩිජිටල් අයිතීන් යනු මානව හිමිකම් බව පිළිගනිමින්, පුද්ගල ගෞරවය සහ පෞද්ගලිකත්වය සුරැකෙන සමාජ වගකීමක් සහිත මාධ්‍ය භාවිතයක් ප්‍රවර්ධනය කිරීම.

• සමාජ ආචාරධර්ම: ස්ත්‍රී විරෝධී ප්‍රවණතා, ලිංගික හිංසනය සහ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව මානම හිමිකම් පදනම් වූ ආචාරධාර්මික රාමුවක් තුළ හිඳිමින් ක්‍රියා කිරීම.

• සිවිල් සමාජ මැදිහත්වීම: සිවිල් සමාජ සංවිධාන, ක්‍රියාකාරීන්, වෘත්තීයවේදීන්, ජනමාධ්‍යවේදීන් ඇතුලු පාර්ශවයන් මගින් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා කිසිසේත් ඉවසිය නොහැකි බවට සමාජය දැනුවත් කිරීම සහ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටීම.

2. සාක්ෂරතාවය පිළිබඳ කරුණු (Literacy)

• ඩිජිටල් සාක්ෂරතාවය අධ්‍යාපනයට එක් කිරීම: මාධ්‍ය සහ ඩිජිටල් සාක්ෂරතාවය ජාතික අධ්‍යාපන විෂය මාලාවට ඇතුළත් කිරීම මගින් අන්තර්ජාලය තුළ සමාජ වගකීමකින් හැසිරෙන ආකාරය පිළිබඳව නව පරපුර දැනුවත් කිරීම.

• පරිශීලක දැනුවත්භාවය: අවසරයකින් තොරව පළ කරන හානිකර අන්තර්ගතයන් හඳුනා ගන්නා ආකාරය සහ ඒවා වාර්තා (Report) කරන ආකාරය පිළිබඳව පරිශීලකයන්ට අඛණ්ඩ පුහුණුවක් ලබා දීම. (උදා: Share නොකරන්න – Report කරන්න – Victim-blaming නැති කරන්න)

• පෞද්ගලිකත්වය සුරැකීම: තමන්ගේ පෞද්ගලික දත්ත සහ ඡායාරූප-වීඩියෝවල රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ ව්‍යාපාර දියත් කිරීම.

3. තාක්ෂණික කරුණු Tech සහ රජයේ වගකීම

• කඩිනම් Content Moderation: වලංගු දැනුම් දීමක් ලැබී පැය 24කට අඩු කාලයකදී NCII දර්ශන ඉවත් කිරීමට හෝ ඒවාට ප්‍රවේශ වීම අඩාල කිරීමට සමාජ මාධ්‍ය වේදිකා කටයුතු කිරීම.

• දේශීය භාෂා හැකියාව: සිංහල සහ දෙමළ භාෂාවලින් ලැබෙන පැමිණිලි නිසි ලෙස වටහාගෙන ක්‍රියා කිරීමේ හැකියාව තාක්ෂණික පද්ධති තුළ වර්ධනය කිරීම.

• AI අන්තර්ගත හඳුනා ගැනීම: උත්පාදක කෘතිම බුද්ධිය (Generative AI) මගින් නිර්මාණය කරන ලද හෝ වෙනස් කරන ලද සමීප රූප හඳුනා ගැනීම සහ ඒවා පැහැදිලිව ලේබල් කිරීමේ තාක්ෂණයන් භාවිත කිරීම.

• නීතිමය රාමුව: රජය විසින් මෙවැනි තත්ත්වයන් පාලනය කිරීමට යම් නීති හඳුන්වා දීමේදී වින්දිතයන් ආරක්ෂා කිරීමටත්, ප්‍රකාශනයේ නිදහස සුරැකීමත් ඇතුලු ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් සමබරව භාවිතා විය යුතුය. ජාත්‍යන්තර මානව හිමිකම් රාමු සහ පරිශීලක දත්තවල රහස්‍යභාවය, ආරක්ෂාව වැනි අංශ කරෙහි අවධානය යොමු කිරීම අතිශයින් වැදගත් වනු ඇත.

(සැලකිය යුතුයි – කෙසේ වෙතත්, පැය 24ක් ඇතුළත අන්තර්ගතය ඉවත් කිරීම සඳහා යොදාගන්නා ක්‍රමවේද ස්වයංක්‍රීය මර්දනයකට (Automated Censorship) මඟ නොතැබෙන ලෙස, නිසි ක්‍රියාවලිය (Due Process), අභියාචනා කිරීමට ඇති හැකියාව (Appeal Mechanisms) සහ ස්වාධීන අධීක්ෂණයකට (Independent Oversight) යටත් වීම අත්‍යවශ්‍ය වනු ඇත. පැය 24ක් ඇතුළත අන්තර්ගතයන් ඉවත් කිරීමේ නීති/රීති, නිසි ක්‍රියාවලියක්, අභියාචනා කිරීමේ හැකියාවක් සහ ස්වාධීන අධීක්ෂණයක් නොමැතිව ක්‍රියාත්මක වුවහොත්, එය හානිකර අන්තර්ගතයන්ට වඩා නිවැරදි/වෙනස් අදහස්ම මර්දනය කරන ස්වයංක්‍රීය censorship එකක් බවට පත්වීමේ අවදානමක් ඇත. විශේෂයෙන් අප වැනි මර්දන නීති ඇති, මර්දන නීති ගෙන ඒමට යෝජනා කරන තත්ත්වයක් තුළ ඒ පිළිබද වඩාත්ම සැළකිලිමත් විය යුතුය.)

NCII යනු පුද්ගල ගෞරවයට හානි කරන බරපතල අගතිගාමී, ගෝත්‍රික තත්ත්වයක් වන අතර, එය වැළැක්වීම සඳහා ඩිජිටල් සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම සහ මානව හිමිකම් පදනම් වූ වගකීම් සහගත ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වේ. පෞද්ගලිකත්වය, අනෙකාගේ ගෞරවය පිළිබඳ සංවේදීවීම, මානව හිමිකම් මත පදනම් වූ සමාජ මාධ්‍ය භාවිතාවක් සඳහා වන ආචාරධාර්මික මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වනු ඇත. එක් උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව තුළ එළිදක්වා ඇති සමාජ මාධ්‍ය ප්‍රකාශනය සැලකිය හැකිය. මෙවැනි තත්ත්වයකදී විශේෂයෙන් කාන්තාවන් මුහුණ දෙන අවදානම් තතත්වයෙන් ඔවුන්ව මුදවා ගැනීමට නම් වහාම එම දර්ශන අන්තර්ජාලය තුළින් ඉවත් කිරීමට ක්‍රියාකිරීමත්, සමාජ මාධ්‍ය පරිශීලකයන් ලෙස පුරවැසියන් එම අන්තර්ගතයන් දුටු සැනින් ශෙයා නොකිරීමට වගබලා ගැනීමත්, ඒවා පිළිබද ඉක්මනින් වාර්තා කිරීමත් පුරවැසියන්ගේ ප්‍රමුඛ වගකීමකි. (Share නොකරන්න – Report කරන්න – Victim-blaming නැති කරන්න)

මේ පිළිබද මා විසින් පසුගිය දිනක පළ කරන ලද සටහනකින් මෙය අවසාන කරමි.

තමන් පණ මෙන් විශ්වාස කරන පිරිමියා වෙනුවෙන්, ඔහුගේ දෑස් ඉදිරියේ හෝ ස්මාට් තිරයක් ඉදිරියේ තම සිරුර නිරාවරණය කළ, විශ්වාසය ප්‍රමුඛ කරගත් අභිමානවත් ගැහැනුන්ට මා හිසනමා ආචාර කරමි. සියළුම කාන්තාවන්ට මගේ ආදරණීය ගෞරවය පිරිණමමි.
ඇය එතැනදී නිරුවත් කළේ ඇගේ මස් ලේ පිරි සිරුර පමණක් නොවේ; ඇය ඔහු ඉදිරියේ නිරාවරණය කළේ ඇගේ මුළුමහත් ආත්මයත්, ගැඹුරු විශ්වාසයත්ය. එවැනි කැප කිරීමක් කළ හැක්කේ හදවතින්ම විශ්වාස කරන ගැහැනියකට පමණි.

නමුත්…

ඒ අතිශය විශ්වාසනීය ‘පෞද්ගලික මොහොත’ සොරාගෙන, එය වෙළඳ භාණ්ඩයක් හෝ විනෝදාංශයක් බවට පත් කළ නරුමයාටත්, නරුමයන්ටත් එම දසුන් නරඹමින් තමන්ගේ නීච ආශාවන් පිනවා ගන්නා, පිනවා ගනිමින් සිටින අමන සමාජයටත් මාගේ දැඩි පිළිකුල සහ විරෝධය ප්‍රකාශ කරමි.

මතක තබා ගන්න:

• ඔබ බෙදා හරින්නේ හුදෙක් වීඩියෝවක් නොවේ, ගැහැනියකගේ ජීවිතයයි. ආත්මයයි!
• ඔබ පිනවන්නේ ඔබේ ආශාවන් නොව, ඔබේ අමානුෂිකත්වයයි. නරුම ගෝත්‍රිකත්වයයි!

විශ්වාසය කෙලෙසන්නන් මනුෂ්‍ය සංහතියටම තර්ජනයකි.
(මෙය මාගේ පුද්ගලික මනෝභාවය හා විරෝධය ලෙස සලකන්න! )

[“සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය( ලිංගභේදය, ලිංගික හිංසනය, ස්ත්‍රී විරෝධීත්වය සහ කැමැත්ත ලබා ගැනීමෙන් තොරව සංවේදී රූප (Non-Consensual Intimate Images – NCII) වීඩියෝ සහ වෙනත් අන්තර්ගතයන් බෙදා හැරීම ඇතුලුව) සහ වෙනත් ආකාරයේ වෙනස්කොට සැළකීම නිශ්පාදනය කිරීම සහ ව්‍යාප්තිය අවම කිරීමට/ අවසානයේ ඒවා මුලිනුපුටා දැමීමට උපරිමයෙන් අපි ක්‍රියා කරමු” – සමාජ මාධ්‍ය ප්‍රකාශනය – Social Media Declaration – SMD 2.0]

STOP Non-Consensual Intimate Images – NCII

සම්පත් සමරකෝන් | Sampath Samarakoon