iMage: Vikalpa File/ Sampath Samarakoon

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර එළඹෙන ජනවාරි 24 වැනිදාට වසර 16ක් සපිරේ. දශක එකහමාරකට අධික කාලයක් පුරා, සිය ආදරණීය සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් අඩියක්වත් පස්සට නොතැබූ සන්ධ්‍යා එක්නැලිගොඩ නම් දිරිය ගැහැනියට, අද “පද්ධතිමය වෙනසක්” වෙනුවෙන් පැමිණි ආණ්ඩුවක් යටතේත් අසන්නට ලැබී ඇත්තේ මරණ තර්ජනයකි. එය හුදු තර්ජනයක් පමණක් නොව, කාන්තාවකගේ ආත්මගරුත්වයට පවා අසභ්‍ය වචනයෙන් පහර ගැසූ අශිෂ්ට ක්‍රියාවකි.

අශිෂ්ටත්වයේ සහ මිනීමරු සංස්කෘතියේ පුනරාගමනය

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ චූදිතයෙකුට වත්මන් ආණ්ඩුව යටතේ උසස්වීමක් ලබා දීමට සූදානම් වන බව පවසමින්, සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පසුගිය 13 වැනිදා අනුර කුමාර දිසානායක ජනාධිපති වරයා වෙත ලිපියක් යොමු කළාය.

එම ලිපියට නිලධාරීන්ගෙන් පිළිතුරක් ලැබීමට පෙර, පසුගිය 16 වැනිදා ඇයට දුරකථනයෙන් අමතා මරණ තර්ජනය කිරීමට තරම් මැරයන් ප්‍රබල වී ඇත. තමා “විශ්‍රාමික මේජර්වරයෙකු” බව හඳුන්වා ගත් එම පුද්ගලයා, ඇයගේ ශරීරයේ “දිග-පළල” අසමින් අතිශය නින්දිත ලෙස අපහාස කරමින් පවසා ඇත්තේ, “දැනගනින්… නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ!” යනුවෙනි.

යුක්තියේ පොරොන්දුව සහ “ඇල්මැරුණු” දේශපාලන අධිෂ්ඨානය

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පැමිණියේ දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ පැවති “දඬුවම් නොලැබීමේ සංස්කෘතිය” (Culture of Impunity) අවසන් කරන බවට වූ ප්‍රබල පොරොන්දුව මතය. මැතිවරණ වේදිකාවේදී ඔවුන් පෙන්වා දුන්නේ පවතින දූෂිත පාලන තන්ත්‍රයන් මිනීමරුවන් රකින බවයි. නමුත් බලය ලබා ගැනීමෙන් පසු, එදවස වේදිකාවන් තුළ තිබුණු ‘දේශපාලන ජවය’ ක්‍රියාවෙන් පෙනෙන්නට නොමැති වීම බරපතල සමාජයීය කනස්සල්ලකට කරුණකි.

“නඩුත් බඩුත්” තවමත් එකම පිරිසකගේ අතේ නම්, යුක්තිය ඉල්ලන වින්දිතයන්ට “මරණ වරෙන්තු” නිකුත් කරන මිනීමරු සංස්කෘතිය තවමත් ක්‍රියාත්මක නම්, මෙරට පුරවැසියන් බලාපොරොත්තු වූ වෙනස කොහේද? පාලකයන් මාරු වුවද, යුක්තියේ මාවත තවමත් රුධිරයෙන් සහ කඳුළින් වැසී ඇති බවට සන්ධ්‍යාට ලැබුණු තර්ජනය කදිම සාක්ෂියකි.

ආයතනික පද්ධතියේ වෙනසක් නොවූ “කළු ජනවාරිය”

ජනවාරි මාසය ලාංකීය ඉතිහාසයේ කළු ජනවාරිය ලෙස හැඳින්වෙන්නේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, මාධ්‍යවේදී සුබ්‍රමනියම් සූගීර්දරාජන් ඝාතනය, සිරස මාධ්‍ය ආයතනයට ගිණි තැබීම, ලංකා ඊ නිව්ස් මාධ්‍ය ආයතනය ගිණි තැබීම ආදී සිදුවීම් නිසාය. අද වන විට එම මිනීමරු සංස්කෘතියේ අවතාර නැවතත් හිස ඔසවන්නේ එම “පරණ පද්ධතියේ” කොටස්කරුවන්ට තවමත් ආරක්ෂාව පවතින බව පසක් කරමිනි.

ආණ්ඩුව මාරු වුවද, විමර්ශන මෙහෙයවන නිලධාරීන් සහ පද්ධතිය තවමත් පැරණි මානසිකත්වයේම පසුවේ නම්, “වෙනස” යන්න හුදු ලේබලයක් පමණක්වීම ඕනෑම බබෙක්ට තේරෙන සත්‍යකි. කෙසේ නමුත් වත්මන් ආණ්ඩුවට වසරකට වඩා කල් ගත වී ඇති තත්ත්වයක් තුළ ඇල්මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම යනු වක්‍රව අපරාධකරුවන්ට දෙන වරප්‍රසාදමය සහතිකයකි.

ආණ්ඩුවේ වගකීම සහ ජනතා අපේක්ෂාව

ජනතාව වත්මන් රජය බලයට පත් කළේ වසර ගණනාවක් තිස්සේ යටපත් කර තිබූ අපරාධ පරීක්ෂණ නිසි ලෙස සිදු කර යුක්තිය ඉටු කරනු ඇතැයි යන දැඩි විශ්වාසයෙනි. එම විශ්වාසය රැක ගැනීමට නම් ආණ්ඩුව අවම වශයෙන් වහාම පහත පියවර ගත යුතු යැයි අප විශ්වාස කරමු. * සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කළ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම. * චූදිතයන්ට උසස්වීම් ලබා දීමේ සංස්කෘතිය වහාම අත්හිටුවා විමර්ශන කඩිනම් කිරීම. *විශේෂ විමර්ශන ඒකක ශක්තිමත් කර අතපසු කර ඇති ජනමාධ්‍යට එරෙහි අපරාධ නඩු සඳහා කාලරාමුවක් සහිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම සහ ඒවා සිදුවන බවට විනිවිදභාවයකින් යුතුව සහතික වීම.

සන්ධ්‍යා එක්නැලිගොඩ යනු තනි ගැහැනියක නොවේ; ඇය ලාංකීය සමාජයේ යුක්තිය අහිමි වූ දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ එක් ප්‍රභල හෘද සාක්ෂියකි. කෙසේ නමුත් මේ සිදුවීමෙන් නැවත නැවතත් ගම්‍ය වන්නේ පාලකයන් මාරු වූ පමණින් යුක්තිය ඉටු නොවන බවත්, යුක්තිය ඉටු වීමට නම් පාලකයන් සතුව ප්‍රභල දේශපාලන අධිෂ්ඨානයක් තිබිය යුතු බවත්ය.

සන්ධ්‍යා එක්නැලිගොඩට එල්ල වූ මෙම නින්දිත තර්ජනය හමුවේ ජාතික ජන බලවේග ආණ්ඩුව(NPP) දක්වන ප්‍රතිචාරය, වත්මන් ආණ්ඩුවේ සදාචාරාත්මක පැවැත්ම තීරණය කරන එක් ප්‍රධාන සාධකයක් වනු ඇත. යුක්තිය ඉල්ලන මිනිසුන්ට තවදුරටත් මරණ බිය උරුම වන්නේ නම්, ජනතාව පැතූ “වෙනස” තවත් එක් දේශපාලන මිරිඟුවක් පමණක් වීම වැළක්විය හැකිද?

සම්පත් සමරකෝන් | Sampath Samarakoon