ජිනීවා 22වන සැසිවාරය | ප්‍රතිසංධානය සහ වගවීම සම්බන්ධයෙන් යෝජනා
March 21, 2013 by Vikalpa
Filed under Colombo, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය සහ වගවීම සම්බන්ධයෙන් ඇමරිකාව ප්‍රමුඛව ඉදිරිපත්කල යෝජනාව අද(21) වැඩි ඡන්ද 12කින් ජිනීවා හි දී සම්මත විය. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 25ක් එම යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ අතර, යෝජනාවට විරුද්ධ වූයේ රටවල් 13ක් පමණකි. රටවල් 8 ක් ඡන්දය දීමෙන් වළැකී සිටියේය.
අද සම්මත වුනු යෝජනාවේ සිංහල පරිවර්තනයක් සහ එයට අදාල සියලු වාර්තා පහතින් දැක්වේ.
එම යෝජනාව සදහා ඡන්ද ප්‍රතිඵල වල නිළ ලේඛනය පහතින්.[Download as PDF here.
Voting Results | UN_HRC 22 by Sampath Samarakoon
අද ඡන්ද විමසීමට අදාල යෝජනාවේ නිළ පිටපත පහත පලවේ.[Download as PDF here.]
Promoting reconciliation and accountability in Sri Lanka by Sampath Samarakoon
පහතින් දැක්වෙන්නේ ඉහත යෝජනාවේ සිංහල පරිවර්තනයයි.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානයට සහ වගවීමට අනුබල දෙමින්…| UNHRC2013_Sinhala by Sampath Samarakoon
එම යෝජනාව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් එයට සහභාගී වූ මහින්ද සමරසිංහ අමාත්‍යවරයාගේ ප්‍රකාශයද පහත පළවේ.[Download as PDF here.]
Statement by Sri Lanka | Concerned Country – Sri Lanka by Sampath Samarakoon
”Black January” Demonstration against the suppression of the media
January 30, 2013 by Karapoththa
Filed under Colombo, Featured Video, Video
බෙල්ලන්විල – අත්තිඩිය අභය භූමියේත් විනාශය අතලඟයි..!
December 26, 2012 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features, Politics and Governance
අසූව හා අනූව දශකයේ දී පක්ෂි විවිධත්වයෙන් ඉතා පොහොසත් තෙත්බිමක් ලෙස බොහෝ පක්ෂි නිරීක්ෂකයන් ගේ අවධානයට යොමුවුණු බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමිය අද වන විට මුහුණ දී ඇත්තේ දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයකට ය. එක් කලෙක දී කැළි කසළවලින් පුරවනු ලැබූ මේ තෙත්බිමේ බොහෝ ප‍්‍රදේශ අද වන විට ගොඩකර ජනාවාස හා කර්මාන්තශාලා මෙන් ම වාහන නැවැතුම් පොළවල් ද ඉදි කර ඇත.
කර්මාන්තශාලා අපද්‍රව්‍ය සෘජු ව බැහැරලීම හේතුවෙන් අභයභූමිය හරහා ගලා බසිනා දිය දහරාවන් සියල්ල ම පාහේ දූෂණයට ලක් ව තිබේ. ඉන් නොනැවතී අභයභූමිය පුරා ම වෙල් ආත්තා, හම්බුපන්, බෙරුදිය නිල්ල හා ජපන් ජබර දරුණු ආක‍්‍රමණික ශාක ලෙස ව්‍යාප්ත ව ඇත. මේ අභියෝග හමුවේ වුව ද බොහෝ ප‍්‍රදේශවලින් ගලා එන අතිරික්ත වැසි ජලය රඳවා තබා ගනිමින් අභය භූමිය වටා පිහිටි බොහෝ නාගරික ප‍්‍රදේශ ගංවතුර උවදුරින් ආරක්ෂා කරගන්නා මේ තෙත්බිම නාගරික ජනයා ගේ පහසලත් මනරම් තෙත්බිමක් ලෙස රැක ගැනීම සිදු කළ නොහැකි ද? ඇත්තෙන් ම හැකියාව ඇත. අවශ්‍ය වන්නේ අදාළ රාජ්‍ය ආයතනවල සැබෑ උනන්දුව පමණකි.
එවන් අවශ්‍යතාවක් පවතිද්දී ආරක්ෂක අමාත්‍යංශය හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව එක් ව බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමියේ බොල්ගොඩ ඇළ හා කටු ඇළ ඇතුළු ව ඒ ආශ‍්‍රිත ව පිහිටි ඇළ මාර්ග සියල්ල ම දැනට පවතින ප‍්‍රමාණයෙන් දෙගුණයක් පුලූල් කිරීමට සැලැසුම් සකස් කරයි. නිසි විද්‍යාත්මක අධ්‍යයනයකින් තොර ව ගංවතුර පාලනය කිරීම පමණක් අරමුණු කර ගෙන ඇළ මාර්ග පුළුල් කිරීමේ සූදානමක් පවතී. ඒ හේතුවෙන් අවට තෙත්බිම්වලට පායන කාලයේ දී සිදු විය හැකි බලපෑම හා අවට ප‍්‍රදේශයේ භූගත ජල මට්ටමට සිදු විය හැකි බලපෑම අවධානයට ලක් කර නොමැත. තව ද පායන කාලවල දී, පුළුල් කළ ඇළ මාර්ගයන්හි කර්මාන්තශාලාවන් ගෙන් ඉවත් කරන අපද්‍රව්‍ය මිශ‍්‍ර ජලය සාන්ද්‍රගත ව රඳා පැවැතීමෙන් දුර්ගන්ධය අවට ප‍්‍රදේශය පුරා වහනය වීම පමණක් නො ව මේ තත්ත්වය අවට තෙත්බිමේ ජෛව ප‍්‍රජාවට ද අහිතකර ලෙස බලපෑ හැකි ය. මේ නිසා බෙල්ලන්විල – අත්තිඩිය තෙත්බිම පිළිබඳ ව මනා අවබෝධයකින් යුතු ව මේ සැලැසුම් සකස් කළ යුතු ව ඇත. ඒ සඳහා මේ තෙත්බිමේ ව්‍යූහය හා කි‍්‍රයාකාරීත්වය මෙන් ම ජලවිද්‍යාත්මක හා ජෛව විද්‍යාත්මක වටිනාකම පිළිබඳ ව නිසි ලෙස අවබෝධ කර ගත යුතු ය.
ගංවතුර පාලනය සඳහා කළ යුතුව ඇත්තේ බෙල්ලන්විල – අත්තිඩිය අභය භූමිය හා ඒ ආශ‍්‍රිත තෙත්බිම් සියල්ල නිසි පරිදි ආරක්ෂා කිරීම හා ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීමයි. ඒ සඳහා පළමුව අවශ්‍ය වන්නේ අභය භූමිය ගොඩ කිරීම වහාම නතර කිරීම හා දැනට ගොඩකර අනවසරින් තනා ඇති ඉදිකිරීම් සියල්ල වහාම ඉවත් කිරීමයි.
බෙල්ලන්විල විහාරස්ථානයේ රථගාල පුළුල් කිරීම සඳහා අභය භූමියේ විශාල තෙත්බිම් ප‍්‍රමාණයක් ගොඩකර තිබේ. මාලනී බුලත්සිංහල මාවතේ පිහිටි කර්මාන්තශාලා පුළුල් කිරීම සඳහා අධික ලෙස අභය භූමිය ගොඩකර තිබේ. මීට අමතර ව අභය භූමිය තුළ බොල්ගොඩ ඇළට දකුණින් පිහිටි තෙත්බිම් සියල්ලම ගොඩකර විශාල වශයෙන් ජනාවාස ව්‍යාප්ත කර තිබේ. ඒ. කරුණාරත්න මාවත, හරමානිස් පාර හා විකුම් පෙදෙස ලෙස අභය භූමිය තුළ මාර්ග සකස් කර ගොඩකරමින් තවත් ජනාවාස ව්‍යාප්ත කර තිබේ. මීට අමතර ව වේරැස් ගඟ ආශ‍්‍රිත ප‍්‍රදේශවල ද මේ අයුරින් මහා පරිමාණයෙන් අභය භූමියේ තෙත්බිම් ගොඩ කිරීම සිදු කර තිබේ. වනජීවී සංරක්ෂ දෙපාර්තමේන්තුව බලා සිටිය දී අභය භූමිය මෙසේ ගොඩ කිරීමේ හානිකර ප‍්‍රතිඵල බුක්ති විදින්නට සිදුවන්නේ ඒ අවට ජනතාවටම ය.
අසූව දශකය වන විට ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් ප‍්‍රදේශයක් ලෙස බෙල්ලන්විල – අත්තිඩිය ප‍්‍රචලිත වූයේ සාංක‍්‍රමණික පක්‍ෂි විශේෂ රාශියක ගේ ලැඟුම් පොළක් මෙන් ම ගොදුරුබිමක් වීම නිසා ය. මේ තත්ත්වය හේතුවෙන් 1980 වර්ෂයේ දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් අධ්‍යාපනික හා සංරක්‍ෂණ කලාපයක් ලෙස බෙල්ලන්විල – අත්තිඩිය ප‍්‍රකාශයට පත් කරන ලදි. ඉන් පසු තෙත්බිම් සුරැකීම පිළිබඳ අන්තර් ජාතික රැම්සා ප‍්‍රඥප්තියට අනුව 1989 දී ආසියාවේ වැදගත් තෙත් බිම් 947 කින් යුත් නාමාවලියට බෙල්ලන්විල – අත්තිඩිය වගුරු බිම ද එක් කැරිණි.
මේ කාලවකවානුව වන විට පක්‍ෂි නිරීක්ෂකයන් ගේ අධ්‍යයන ප‍්‍රදේශයක් පමණක් නො ව දිවයිනේ නන් දෙසින් පැමිණෙන දඩයක්කරුවන් ගේ දඩබිමක් බවට බෙල්ලන්විල – අත්තිඩිය පත් ව තිබිණි. ඒ හේතුවෙන් පරිසර සංවිධානයන්හි හා පරිසරවේදීන් ගේ කරුණු ඉදිරිපත් කිරීම මගින් අන්තර්ජාතිකව වැදගත් කමක් හිමිවීම නිසා 1990 ජුලි මස 25 වන දින කොළඹ දිස්ති‍්‍රක්කයේල රත්මලාන, දෙහිවල, කැස්බෑව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනට අයත් ව පිහිටි බෙල්ලන්විල – අත්තිඩිය වගුරු බිමේ හෙක්ටයාර 372 ක භූමි ප‍්‍රමාණයක් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කර නෛතික රැකවරණය දැඩි කැරිණි.
එදාමෙදා තුර කාල පරාසයේ දී අභයභූමියට සිදු වූ හානිය සුළුපටු නො වේ. මෙහි වැදගත්කම වැටැහීයාම වැඩිවීමත්ල නෛතික රැකවරණය වැඞීවීමත් සමඟ සිදු වූයේ පරිහානියට පත් වීම මිස වන සතුන් හට රැකවරණය ලැබීමක් නම් නො වේ. අද වන විට ද මේ තත්ත්වය ඒ අයුරෙන්ම සිදුවෙමින් පවතී.
මේ තෙත්බිමේ ජෛව විද්‍යාත්මක හා පාරිසරික වැදගත්කම නොදන්නා මිනිසුන් මෙය හිස් භූමියක් ලෙස සැලකුව ද බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමියේ වටිනාකම අවබෝධ කර ගැනීමට ඒ පිළිබඳ ව අධ්‍යයනය කර ප‍්‍රකාශයට පත් කර ඇති වාර්තා බොහොමය සාක්ෂ්‍ය දරයි. කොළඹ නගරය ආසන්නයේ මේ අභයභූමිය පිහිටා තිබීමත්, පහසුවෙන් ළඟාවිය හැකි වීමත් නිසා මේ පරිසර පද්ධතිය බොහෝ පර්යේෂකයන් ගේ අවධානයට ලක් විය. ඒ අනුව මෙතෙක් බෙල්ලන්විල – අත්තිඩිය අභය භූමියේ සිදු කර ඇති අධ්‍යයන සියල්ල සැලැකිල්ලට ගෙන දත්ත සම්පිණ්ඩනය කළ විට ඉතා විශාල සත්ත්ව විවිධත්වයක් වාර්තා වී ඇති බව පෙනී යයි.
වාර්තාවන්ට අනුව 90 දශකයේ මුල් කාලය වන විට මේ අභය භූමියෙන් හමු වී ඇති පක්‍ෂි විශේෂ ගණන 168 ක් පමණ වෙයි. ඒ අතර ගිරා මලිත්තා(Lorikeet), හීන් කොට්ටෝරුවා (Small Barbet) හිස දුඹුරු දෙමලිච්චා(Brown – capped Babbler) යන ආවේණික පක්‍ෂි විශේෂ තුන ද ඇතුළත් වේ. එහෙත් අභයභූමියේ හා ඒ වටා සිදු වන හානිකර කි‍්‍රයා හේතුවෙන් 2000 වසර පමණ වන විට අප ගේ අධ්‍යයනයන්ට අනුව අභය භූමියෙන් වාර්තා වන පක්‍ෂි විශේෂ ගණන(ඉඳහිට හමුවන විශේෂ ද ඇතුළත් ව) 88ක් දක්වා පහළ බැස තිබිණි. ඒ අතර ආවේණික විශේෂයක් ලෙස දැකගත හැකි වූයේ හීන් කොට්ටෝරුවා පමණකි. මේ අනුව පෙනී යන්නේ පක්‍ෂි විශේෂ අතුරෙන් 48%ක් ම මේ ප‍්‍රදේශයෙන් වාර්තා නොවන බවත්, නේවාසික පක්‍ෂි විශේෂ අතුරෙන් රාශියක් ප‍්‍රදේශයෙන් වඳ වී ගොස් ඇති බවත් ය.
ලංකාවේ පක්‍ෂීන් පිළිබඳ වැදගත් නිරීක්‍ෂණ රැසකට මේ අභයභූමිය තෝතැන්නක් ව තිබේ. මෙරටට පැමිණෙන සුලබ වැහිලිහිණියා ගේ උප විශේෂයක් වන ටයිට්ලර් ගේ වැහිලිහිණියා(Tytler’s Swallow) ලංකාවෙන් ප‍්‍රථම වරට වාර්තා කරන ලද්දේ බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමියෙනි. බඩවත ප‍්‍රදේශය රතු – දුඹුරු පැහැයක් ගන්නා මේ වැහිළිහිණියා 1989 වසරේ දී ජගත් ගුණවර්ධන මහතා විසින් වාර්තා කරන ලදී. තව ද මෙවැනි ම දුර්ලභ සාංක‍්‍රමණික පක්‍ෂියකු වන පලඟැටි හම්බු කුරුල්ලා ද(Pallas’s Grasshopper Warbler) 1991 වසරේ දී වාර්තා කිරීමට ඒ මහතාට හැකි වූයේ මේ ප‍්‍රදේශයෙනි. විසිවන සියවසේ මේ පක්‍ෂියා පිළිබඳ ප‍්‍රථම වාර්තාව ලෙස මෙය සැලැකේ. ඒ වසරේ සිට බෙල්ලන්විල – අත්තිඩිය වගුරු බිමේ බෙරුදියනිල්ල පඳුරු අතරට සාංක‍්‍රමණික සෘතුව එළැඹීමත් සමඟ ම මොවුන් පැමිණෙනු නිරීක්‍ෂණය කිරීමට හැකි වී ඇත.
ප‍්‍රවීණ පක්‍ෂි නිරීක්‍ෂකයකු වන දීපාල් වරකාගොඩ මහතා 2000 වසරේ දී ලංකාවෙන් ප‍්‍රථම වරට පූගොඩ ප‍්‍රදේශයෙන් වාර්තා කළ සාංක‍්‍රමණික පක්‍ෂියකු වන Dusky Warbler විශේෂය 2001 වසරේ දී දෙවන වරට ද ඒ මහතා විසින් ම වාර්තා කරන ලද්දේ බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමියෙනි.
ලංකාවේ ඉතා දුර්ලභ සාංක‍්‍රමණික පක්‍ෂියකු ලෙස සැලැකෙන දම් සිලූටු දෑ තුඩුවා(Glossy Ibis) ද මෙහි පැමිණෙන ඉතා සුවිශේෂී සාංක‍්‍රමණික පක්‍ෂියෙකි. එහෙත් අද වන විට අභයභූමිය ආක‍්‍රමණික ශාකවලින් වැසී ඇති නිසාත් වගුරු ප‍්‍රදේශය ගොඩ වී ඇති නිසාත් මොවුන් සාංක‍්‍රමණික සෘතුවේ දී දැක ගත හැක්කේ අභයභූමිය අවට වගුරු බිම්වලින් පමණි.
මීට අමතර ව වගුරු පරිසරයට වැඩි වශයෙන් ඇලූම් කරන කිතලා(Purple Coot), බෙළල් සේරා(Pheasant- tailed Jacana) හා විල් කුකුළා(Common Moorhen)වැනි පක්‍ෂීන් අද වන විට අභයභූමි සීමාවේ දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ විට මොවුන් වගුරු ස්වරූපය තවමත් හොඳින් රැඳී ඇති අභය භූමිය අවට පිහිටි දිවුල්පිටිය හා බොරලැස්ගමුව යන වගුරු බිම් ප‍්‍රදේශයන්ට සීමා වී ඇත.
අභයභූමිය තුළින් ගලා බසිනා බොල්ගොඩ ඇළ දූෂණය වීම සෘජුව ම බලපා ඇත්තේ මත්ස්‍යයන්ට හා උභයජීවීන්ට ය. මෙහි ආවේණික විශේෂ 6ක් ඇතුළු ව මත්ස්‍ය විශේෂ 44 ක් වාර්තා වී ඇත. ඊට අමතර ව කලපු ආශි‍්‍රත මත්ස්‍ය විශේෂ ද සමහර කාලවල දී මේ ඇළෙන් වරින්වර හමු වී තිබේ. එහෙත් අද තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස් ය. අද වන විට බොල්ගොඩ ඇළෙහි මත්ස්‍ය විශේෂ අතුරෙන් 89% ක්ම වඳ වී ගොස් ඇත. වර්තමානයේ වාර්තා වන දේශීය මත්ස්‍ය විශේෂ ගණන පහ දක්වා විශාල පහළ බැසීමක් සිදු වී ඇත. දැනට මෙහි වාර්තා වන දේශීය මසුන් අතර හුංගා(Heteropnenstes fossilis, කලපු හඳයා Aplocheilus parvus), කාවයියා(Anabas testudineus, ලූලා(Channa striata) හා මඩ කනයා(Channa punctata) වෙයි. එහෙත් ආක‍්‍රමණික විදේශීය මත්ස්‍ය විශේෂ වන තිලාපියා(Saratherodon mossambicus), වෙල්ගුරාමි(Trichogaster pectoralis) හා පිදුරු පිසින්නා(Tank Cleaner – Hypostomus plecostomus) යන මසුන් ඉතා බහුල ව බොල්ගොඩ ඇළේ ජීවත් වෙති. කර්මාන්තශාලා වන්හි අපද්‍රව්‍ය නිසා ජලය දූෂණය විම හේතුවෙන් දේශීය සංවේදී මත්ස්‍ය විශේෂ වඳ වී යාමත් සමඟ ම ඕනෑ ම පරිසරයකට ඔරොත්තු දීමේ හැකියාව ඇති මේ ආක‍්‍රමණික මසුන් අධික ව බෝ වී ඇත.
එසේ වුව ද අභයභූමිය වටා පිහිටි දිවුල්පිටිය හා බොරලැස්ගමුව වගුරු ප‍්‍රදේශයේ ඉපිලිකඩයා(Puntius bimaculatus), බණ්ඩි තිත්තයා (Puntius vittatus), පුල්ලි අහිරාවා(Lepidocephalichthys thermalis), රල්ලියා(Etroplus maculatus), දණ්ඩියා(Rasbora doniconius) හා සොරයා(Ambylypharyngodon melettius) වැනි දේශීය මත්ස්‍ය විශේෂයෝ වර්තමානයේ ද ජීවත් වෙති.
අධික ලෙස දූෂණයට ලක් ව ඇති බොල්ගොඩ ඇළේ හා ඒ ආශි‍්‍රත දිය පහරවල අද වන විට උභයජීවී විශේෂ දැකගත නොහැකි තත්ත්වයකට පත් ව ඇත. එහෙත් අවට වගුරු ප‍්‍රදේශවල ලංකාවට ආවේණික ලංකා බැඳි මැ`ඩියා(Rana gracilis) නම් විශේෂයට අමතර ව සයැගිලි පලා මැඩියා(Euphlyctis hexadactyla), වෙල් මැඩියා(Fejervarya limnocharis) හා අටිකිත්තන් විශේෂ(Philautus spp) කිහිපයක් ද ජීවත් වෙයි.
මේ අයුරෙන් අභයභූමියේ ජෛව විවිධත්වය සීග‍්‍ර අඩු වීමට හේතු සාධක බොහොමයක් වෙයි. වෙල් ආත්තා හා බෙරුදියනිල්ල ශාකයෙන් අභයභූමියේ වැඩි තෙත් බිම් ප‍්‍රමාණයක් ආක‍්‍රමණයට ලක් වී තිබේ. අභයභූමිය වටා හා ඒ තුළ බොහෝ ප‍්‍රදේශ ගොඩකරමින් ජනාවාස හා කර්මාන්තශාලා ව්‍යාප්ත කිරීම නිසා සීග‍්‍රයෙන් නාගරීක කරණය වී වනජීවී වාසස්ථාන බලපෑමට ලක් ව පවතී. බොල්ගොඩ ඇළ හා අනෙක් ඇළ මාර්ග කර්මාන්තශාලා අපද්‍රව්‍ය නිසා දූෂණය වීම ද, ජලපෘෂ්ඨය ජපන් ජබර ශාකයෙන් ආක‍්‍රමණය වී තිබීම සහ ආක‍්‍රමණික මත්ස්‍ය විශේෂ බෝවීම ද එකී සාධක ලෙස හැදින්විය හැකි ය.
මේ තත්ත්වයන් හමුවේ අභයභූමිය පරිහානියට පත් වෙමින් පැවතුණ ද අද වන විට ද ඉන් අමිල මෙහෙයක් ඉටු වේ. එනම් අවට විශාල ප‍්‍රදේශයක් ගංවතුර උවදුරෙන් ආරක්‍ෂා කිරීම යි. බෙල්ලන්විලල අත්තිඩියල බොරලැස්ගමුවල පැපිලියානල නැදිමාලල රත්මලාන උතුරල නුගේගොඩ දකුණ හා වේරහැර යන ප‍්‍රදේශයන්ට ලැබෙන වර්ෂාවේ අතිරික්ත ජලය ගලා එන්නේ මේ ප‍්‍රදේශයට ය. මේ වගුරු පද්ධතිය අධික ජල කඳ උරා ගනිමින් ප‍්‍රදේශය ගංවතුර උවදුරෙන් ආරක්‍ෂා කරයි. මීට අමතර ව භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වා ගැනීමටත් රොන්මඩ ආදිය රඳවා ගැනීමෙනුත් විශාල මෙහෙයක් මේ වගුරු පද්ධතිය ඉටු කරයි.
එහෙත් අභයභූමියේ පිහිටි විශාල කැළි කසළ රැඳවුමෙන් ඇහිරී ගිය තෙත්බිම් හා විවිධ ප‍්‍රදේශයන්හි සිදු වන අඛණ්ඩ මහාපරිමාණ ගොඩකිරීම් හේතුවෙන් මේ වගුරු පද්ධතියට දරා ගත හැකි ජල ප‍්‍රමාණය සීමා වී ඇත. වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාව මගින් පවත්වාගෙන ගිය විශාල කැළි කසළ රැඳැවුම නිසා අක්කර ගණනාවක් ගොඩ වී ඇත. 2001 වසර අවසානයේ දී මෙහි කසළ රැඳවීම තහනම් කළ ද සිදු වූ දැවැන්ත හානිය හානිපූරණය කළ හැකි ක‍්‍රමයක් ගැන සිතීමටවත් නොහැකි ය.
අභයභූමිය වටා පිහිටි කර්මාන්තශාලා පුළුල් කිරීමට පමණක් නො ව බෙල්ලන්විල විහාරස්ථානයේ රථ ගාල පුළුල් කිරීමට හා කඩ සාප්පු ඉදිකිරීම සඳහා ද අභයභූමිය වරින් වර ගොඩ කැරේ. අද වන විට බොල්ගොඩ ඇළ හා සම්බන්ධ කටු ඇළ ආසන්නය දක්වා ම විශාල භූමි ප‍්‍රමාණයක් රථ ගාල පුළුල් කිරීම සඳහා බෙල්ලන්විල විහාරස්ථානය ආශි‍්‍රත ප‍්‍රදේශයෙන් ගොඩ කර ඇත.
අභයභූමියේ බොල්ගොඩ ඇළේ දකුණු ඉවුරේ ඇති රත්මලාන – පැපිලියාන මාර්ගය හා පිටවේල්ල පාර සම්බන්ධ කරන අතුරු මාර්ගය හේතුවෙන් අභයභූමියේ ජනාවාස ව්‍යාප්තිය වැඩි වීමට ඉතා හොඳ පෙලැඹවීමක් ලැබී ඇත. මේ මාර්ගය හා සම්බන්ධ අතුරු මාර්ග කිහිපයක් තෙත්බිම කරා යොමු කර ඒ ආශි‍්‍රත ප‍්‍රදේශ විශාල වශයෙන් ගොඩ කර ජනාවාස ව්‍යාප්ත කර තිබේ. තවත් ජනාවාස වැඩි ප‍්‍රමාණයක් අභය භූමියේ බටහිර මායිමේ විහිදී ඇති හරමානිස් පාරේ සිට තෙත් බිම අභ්‍යන්තරයට ව්‍යාප්ත වෙමින් පවතී. මේ ආකාරයට ගොඩකරමින් පවතින අභයභූමියේ බටහිර ප‍්‍රදේශයේ තෙත්බිම් සම්පූර්ණයෙන් ම පාහේ නිවාසවලින් වැසී ගොස් ඇත.
අභයභූමියට ඉතා ආසන්නයේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලය පිහිටා ඇති මුත් මෙතෙක් අභය භූමියට සිදු වූ දැවැන්ත පරිසර හානි නිලධාරීන් නොදැකීම පුදුමයට කරුණකි. අභයභූමියේ විවිධ ප‍්‍රදේශ ගොඩකරද්දී නිලධාරීන් කාර්යාලයට ගුලි වී නොසිටියා නම් අද වන විට අභයභූමියේ තත්ත්වය මීට වඩා සතුටුදායක මට්ටමක තිබීමට ඉඩ තිබිණි. “මේක දැන් ගොඩගන්න බැහැ” යි කියා පවසන නිලධාරීන් දේශපාලඥයන්ට හා කර්මාන්තශාලා හිමියන්ට රිසි සේ කි‍්‍රයා කිරීමට ඉඩ දී මුණිවත රකිති.
වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනතට අනුව අභයභූමියක සිදු වන හානිකර කි‍්‍රයා නතර කිරීමට ඇති බලතල නිසි ලෙස කි‍්‍රයාවට නැංවීම මගින් මෙහි සිදු වන සියලූ අනර්ථකාරී කි‍්‍රයා නතර කිරීමේ හැකියාව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු ව ඇත. ඊට අමතර ව තෙත්බිම් පරිසර ආරක්‍ෂා කිරීමට ජාතික පාරිසරික පනතට අනුව මධ්‍යම පරිසර අධිකාරියට ද නෛතික හැකියාව ඇත. එසේ තිබියදීත් අභයභූමිය විනාශ කිරීමට ඉඩ දී බලා සිටීම කනගාටුවට කරුණකි.
දැනට අප සිදු කර අති අධ්‍යයනයන්ට අනුව පෙනී ගොස් ඇත්තේ හානිකර කි‍්‍රයා ගණනාවකට ගොදුරු වී ඇති බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමියේ ජෛව විවිධත්වය දැවැන්ත පරිහානියකට ලක් වී ඇතත් ඊට පිටතින් පිහිටි බොරලැස්ගමුව හා දිවුල්පිටිය යන වගුරු ප‍්‍රදේශ තවමත් සැලකිය යුතු ජෛව විවධත්වයක් දරා සිටින බව ය. අභයභූමිය ආසන්නයේ පිහිටා ඇති මේ වගුරුබිම් දෙක ද බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමියට ඈඳාගෙන ඒ වගුරු පද්ධතියට ම නෛතික ආරක්ෂාව ලබා දීම අද වන විට අත්‍යවශ්‍ය වී ඇත. එපමණක් නො ව අදාළ නීති රිති කි‍්‍රයාත්මක කිරීමෙන් වගුරු බිම් පද්ධතිය ආරක්‍ෂා කර ගැනීම ද අත්‍යවශ්‍ය ය.
ඊට අමතර ව ආක‍්‍රමණික ශාක විශේෂ (වෙල්ආත්තාල ජපන් ජබරල බෙරුදියනිල්ලල බට පලා හෙවත් ඇලිගේටර් ශාක) ක‍්‍රමානුකූල ව පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් අභයභූමියේ වන සතුන් ගේ වාසස්ථානයන්හි ගුණාත්මක තත්ත්වය යම් මට්ටමකට ඉහළ නැංවීමට හැකියාව ඇත. දැඩි ලෙස දූෂණයට ලක් වී ඇති බොල්ගොඩ ඇළ (අභය භූමිය හරහා ගලා බසින) සහ ඒ හා සම්බන්ධ තෙල්ඇළ හා කටුඇළ පිරිසිදු කිරීම හා නිසි පරිදි ජලය බැස යෑමට හැකි වනසේ ප‍්‍රතිසංස්කරණය කිරීම මෙන් ම කර්මාන්තශාලා අපද්‍රව්‍ය මේ දියදහරාවන්ට එක් කිරීමට එරෙහි ව නීති කි‍්‍රයාත්මක කළ යුතු ය. ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා එක් වී දීර්ඝකාලීන වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීම අත්‍යවශ්‍යය. ඉන් අනතුරු ව මේ පක්ෂි අභයභූමිය අවට වෙසෙන නාගරික ජනතාව ගේ පවස නිවන සොඳුරු තෙත්බිමක් බවට පරිවරිතනය කළ හැකි ය.
සජීව චාමිකර[Sajeewa Chamikara]
පරිසර සංරක්ෂණ භාරය
අධිකරණයේ මළගම ඉදිරියේ විපක්ෂයේ (දුස්) ශීලය
December 4, 2012 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance
අගවිනිසුරුවරියට එරෙහිව තිබෙන දෝෂාභියෝගය, නීතිමය සහ අධිකරණමය කාරණයකට වඩා දේශපාලනික අභියෝගයකි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන විට කෙනෙකු කතා කරන්නේ, හුදෙක් නීතිමය කරුණකට වඩා, කුරුවල් වූ දේශපාලනික සංස්කෘතියක් මගින් කාලයක් තිස්සේ අධිකරණය ආක‍්‍රමණය කෙරෙමින් තිබුණු අර්බුදයක බිහිසුණු අවසාන අදියරක් පිළිවඳව ය. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එවැනි අර්බුදයක් බිහිකොට ඇත්තේම, ආයතනයක් වශයෙන් පොදුවේ ජනාධිපති ක‍්‍රමයේත්, පුද්ගලයෙකු වශයෙන් විශේෂයෙන් ජනාධිපතිවරයාගේත් පුද්ගල බල ව්‍යාපෘතියේ ඕනෑඑපාකම් මත බව වටහා ගත් විට, නීතිමය පරාසය පරයා දේශපාලනය ඉස්මත්තට පැමිණ ඇති සැටි ඕනෑම කෙනෙකුට පැහැදිළි විය යුතුය. විරුද්ධ පක්ෂයේ වර්තමාන ක‍්‍රියාකාරීත්වය සහ පුරවැසි සහභාගීත්වය තුළ අද දක්නට ලැබෙන ඇල්මැරුණු හැසිරීම ඉදිරියේ එක දිගටම මේ දෝෂාභියෝගී හබය ඇදුණොත්, ජනාධිපතිවරයාගේ අතකොලූවක් බවට නීතිපති දෙපාර්තමේන්තුව පත්ව ඇති ගානට මේ රටේ අධිකරණයත් පත්වෙන දවස වැඩි ඈතක නොවෙනු ඇති බව දැන් තියාම කිව හැකිය.
එයින් ව්‍යුත්පන්න කෙරෙන ඊළඟ කාරණය වන්නේ, මේ අර්බුදයේ නීතිමය පාර්ශ්වය කෙරෙහි සාධනීය ආකාරයකින් මැදිහත් වීමට නීති ප‍්‍රජාව වෙත පැවරෙන වෘත්තීයමය යුතුකමක් සහ වගකීමක් ඇති තරමටම, අර්බුදයේ දේශපාලනික පරාසය ආවරණය කිරීමේ පෘථුල යුතුකම සහ වගකීම පැවරෙන්නේ විරුද්ධ පක්ෂ දේශපාලනයට බව නොපමාව වටහා ගැනීමයි.
දෝෂාභියෝගය මහජනයාට ප‍්‍රදර්ශනය කැරැවීම එහි මුල් පියවර විය යුතුය. එයින් අදහස් වන්නේ, නොපමාව එය මහජනතාව අතරට ගෙනයා යුතු බවයි. මේ පරීක්ෂණය තුළ වැසැංගිය යුතු කිසි රහසක් පාලකයන්ට හෝ මහජන නියෝජිතයන්ට තිබිය යුතු නැත. චෝදකයන් කියන පරිදි මේ දෝෂාභියෝගය රටේ අධිකරණයේ ස්වාධීනත්වය පරදුවට තැබෙන දෙයක් නොවේ යැයි මොහොතකට පිළිගත්තත්, අඩු වශයෙන් අගවිනිසුරුවරියගේ ‘අක‍්‍රමිකතාවකට’ එරෙහිව දියත් කෙරෙන මේ ‘අධිකරණ’ ක‍්‍රියාපරිපාටිය ක‍්‍රියාත්මක වන්නේ, ජනතා නියෝජිතයන් යැයි කියාගන්නා පිරිසක් විසින් නිසාම, ජනතාවට එය දැන ගැනීමේ අයිතියක් ඇත්තේය. තවත් විදිහකින් කිවහොත්, ජනතාවට හොරෙන් අභ්‍යාස කෙරෙන ජනතා පරමාධිපත්‍යයක් තිබිය නොහැකි බව ය.
එම කාර්ය, වෙනත් අර්ථයකින්, දෝෂාභියෝගය තුළ මේ අවස්ථාවේ දී රජය පැත්තෙන් ඒකපාර්ශ්වීයව ඉටුවෙමින් පවතී. විවිධ ඇමතිවරු මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කරන අදහස් උදහස් සහ පසු ගිය සිකුරාදා පැවති දෝෂාභියෝගයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සැසිවාරයෙන් පසු හදිසියේ කැඳවූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් හරහා රජයේ මැතිඇමතිවරු ප‍්‍රකාශයට පත්කළ අදහස් උදහස් හරහාත් පැහැදිළි වුණේ එම කාරණයයි. ඊට අමතරව, රජයේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය හරහා ගෙන යන වෛරී ප‍්‍රචාරණයෙන් පෙන්නුම් කරන්නේ ද ඔවුන්ට එය, හැම අරුතකින්ම, දේශපාලනික ඔට්ටුවක් වන බවයි. එසේ තිබිය දී, අනිත් පාර්ශ්වය පමණක්, එනම් විරුද්ධ පක්ෂය පමණක් එම මාර්ගයෙන් බැහැරව, මෙය පාර්ලිමේන්තු කාරක සභාවේ ඊනියා උත්තරීතර භාවයක් තුළම පමණක් විසඳාගත යුතු ප‍්‍රශ්නයක් වශයෙන් ලඝු කර ගැනීම පසු පස ඇති දේශපාලනය කුමක් දැ යි මෙහි දී ප‍්‍රශ්න කළ යුතුව පවතී.
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයන්ට මේ පිළිබඳව ප‍්‍රසිද්ධියේ කතා කිරීම සහ ජනතාව ඉදිරියේ කරුණු දැක්වීම විපක්ෂ නායකවරයා විසින් තහනම් කරනු ලැබ තිබීම අප තේරුම්ගත යුත්තේ එම සන්දර්භය තුළය. එක පැත්තකින්, තමාට සහ තම පක්ෂයට විරුද්ධව මේ අගවිනිසුරුවරිය විසින් යම් අසාධාරණ තීන්දු දී ඇති බව රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රසිද්ධියේ කියා සිටින බව අපට පෙනේ. ඒ නිසා, ඇය වෙනුවෙන් ඉදිරිපත් වීම එක්තරා ආකාරයක කකුල පස්සට තබාගෙන කළ යුත්තක් සේ ඔහු සිතන සෙයකි. යම් අධිකරණ තීන්දුවක් පක්ෂග‍්‍රාහී වූ පමණින්, ඊට එරෙහිව අප ඇති කරගන්නා සාධාරණ විවේචනය පවා, සමස්ත අධිකරණයේ ගෙල සිදීම සඳහා දියත් කෙරෙන පාලකයාගේ කූට වැඩපිළිවෙලක අනියම් පාර්ශ්වකරුවන් වීමට හේතුවක් කරගත යුතු ද? මෙහි දී, දේශපාලඥයෙකු නොවන සරත් ෆොන්සේකාගේ ස්ථාවරය, දේශපාලඥයෙකු යැයි කියන රනිල් වික‍්‍රමසිංහට පාඩමකි. තමාට එරෙහිව මේ අධිකරණය අසාධාරණ තීන්දු දී ඇති බව පිළිගන්නා සරත් ෆොන්සේකා, දෝෂාභියෝගයට සෘජුව හෝ වක‍්‍ර ආකාරයකින් මේ අවස්ථාව් පක්ෂපාතී වීමට එය හේතුවක් නොවන බව පැහැදිළිව කියා සිටී.
සිරිමා බණ්ඩාරනායක මැතිණියගෙන් ලූහුඩුවෙන් පටන්ගෙන අද වන විට කුණු කන්දක් උසට ගොඩනැගී ඇති වර්තමාන පාලන මාදිලිය තුළ කුළුගැන්වෙන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම සහ ආයතනික රටාව තනි පාලකයෙකුගේ හෝ පාලක කල්ලියක පටු අවශ්‍යතා වෙනුවෙන් සේවයේ යෙදැවීමයි. මේ වන විට එහි අවසාන ප‍්‍රතිඵලය වී ඇත්තේ, ආයතන සියල්ල නැතිභංගස්ථාන වී පාලකයා සහ පාලක කල්ලි පමණක් ඉතිරි වීමයි. උදාහරණයක් විදිහට, කැබිනට් මණ්ඩලය කියා ආයතනයක් අපට අද නැත. ඇත්තේ, ජනාධිපතිවරයාගේ පුද්ගල අභිලාෂයන් සඳහා පේවූ පුද්ගල රංචුවකි. පාර්ලිමේන්තුව කියා සැබෑ මහජන සභාවක් අද අපට නැත. ඇත්තේ, නැවතත්, අර ජනාධිපතිවරයාගේ අභිලාෂ (උදා: 18 වැනි සංශෝධනය) මුදුන්පත් කරන වඩාත් පුළුල් ගැලරියකි. මෙය, ඕනෑම අමාත්‍යාංශයකට, දෙපාර්තමේන්තුවකට හෝ සංස්ථාවකට ආදේශ කරන්න. ඔබට ලැබෙන්නේ එකම පිළිතුරකි.
එසේ තිබිය දී විරුද්ධ පක්ෂය ශීලයක් සමාදන් විය යුත්තේ ඇයි? එක ඒකාධිපතියෙකු පලවා හැරීමට මීට කලකට පෙර ඊජිප්තුවේ තහීර් චතුරශ‍්‍රයට පැමිණි මහා ජන ගංගාව, එම ඒකාධිපතියා වෙනුවට තමන් විසින්ම බලයට පත්කර ගත් නව නායකයා විසින් අධිකරණයේ ස්වාධීනත්වයට අතපොවන්නට වූ විට, මේ මොහොත වන විට නැවතත් එම චතුරශ‍්‍රයට පැමිණ සිටිති. මාක්ස්වාදී භාෂාවෙන් මෙය හැඳින්වුණේ වීදි සටන් වශයෙනි. රනිල් වික‍්‍රමසිංහගෙන් වීදි සටන් අපේක්ෂා කළ නොහැකි වීමට පිළිවන. එහෙත්, පාර්ලිමේන්තු දේශපාලනය යනු, දියවන්නාවේ ගොඩනැගිල්ලක් තුළ කෙරෙන ප‍්‍රභූ කතිකාවක් පමණක් නොවන බව වටහා ගැනීමට තරම්, විරුද්ධ පක්ෂ දේශපාලඥයෙකු ප‍්‍රබුද්ධ විය යුතුය.
දෝෂාභියෝගය සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලනය මුහුණදෙන ප‍්‍රධාන පරස්පරය අතිශය විසකුරු වන්නේ, එවැනි ප‍්‍රබුද්ධතාවක් මේ විෂය අරභයා ඔහුගෙන් පෙන්නුම් නොකෙරෙන නිසාය. එක පැත්තකින්, ආයතනය (අධිකරණය) ආරක්ෂා කිරීමට මිස පුද්ගලයන් (ශිරානී බණ්ඩාරනායක) ආරක්ෂා කිරීමට තමන්ට අවශ්‍ය නැතැ යි ඔහු කියයි. ඒ ආස්ථානය, ප‍්‍රතිපත්තිමය වශයෙන්, නිවැරදි ය. එහෙත් මේ අවස්ථාවේ දී පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී නොසිට, ආයතනයේ ආරක්ෂාව සහතික කරගන්නේ කෙසේ ද යන්නට කෙනෙකුට පිළිතුරක් තිබිය යුතුය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක‍්‍රමය කෙරෙහි විශ්වාසය තැබීම රනිල් වික‍්‍රමසිංහගේ උත්තරය සේ පෙනෙයි. මන්ද යත්, එම ක‍්‍රියාවලිය තුළ සිල්වත්ව හැසිරෙන ලෙස ඔහු සිය පක්ෂයට නියෝග කොට ඇති බැවිනි.
මෙය, ඉතා සරළව කිවහොත්, දෙකොණ ගිනිගන්නා ආස්ථානයකි. දෝෂාභියෝගයෙන් පුද්ගලයා බිලිවීම, ආයතනයේ (අධිකරණයේ) ස්වාධීනත්වය පිළිබඳ ප‍්‍රශ්නය ඉදිරියේ ද්විතීයික හෝ නොවැදගත් යැයි සිතන ඔහු, පාර්ලිමේන්තු කාරක සභාව නැමැති ආයතනික ක‍්‍රියාවලිය තුළ පෙරලා ඔසවා තැබෙන්නේ, ඊනියා මහජන ස්වෛරීත්වයක් නොව, තවත් පුද්ගලයෙකුගේ ඒකාධිපති අභිලාෂයක් පමණක් බව අමතක කරයි. ඒ පුද්ගල අභිලාෂය විසින් ඉල්ලා සිටිනු ලබන්නේ අර කියන ආයතනයේ (අධිකරණයේ) මළගම නම්, ඒ සඳහා උපයෝගී කරගන්නා පහුරු (පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව) ධාතු කරඩුවක් සේ කරේ තියාගෙන යැමට පෙළඹීම යනු, වික‍්‍රමසිංහ විරෝධීන් පෙන්වා දෙන පරිදි, දැනුවත් කුමන්ත‍්‍රණකාරී ගනුදෙනුවක රෝග ලක්ෂණයක් නොවේ නම්, අඩුම වශයෙන්, මුග්ධ අදේශපාලනයක්ම වන්නේය.
ගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]
#UPRLKA: ශ‍්‍රී ලංකාව පිළිබඳ UPR සමාලෝචනය ආශ‍්‍රිත පූර්ණ tweet ලේඛනාගාරය සහ අදාළ දෘශ්‍ය රූප
November 3, 2012 by Karapoththa
Filed under සිංහල, Colombo, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance
[Image courtesy: Sydney Morning Herald]
පසුගිය 2012 නොවැම්බර් 01 දා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී, විශ්ව කාලීන සමාලෝචනයේ(UPR) කොටසක් ලෙස ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සාකච්ඡාවට ලක් විය. පසු ගිය UPR රැස්වීම පැවතියේ රටේ 27 වසරක යුද්ධය අවසන් වුණු 2008 වසරේ දී ය. එය ඊට පෙර වසර හතරේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ඉතිහාසය පිළිබදව සමීප පරීක්ෂාවකට ලක් කළේ ය.
ශ‍්‍රී ලාංකික සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ගණනාවක් ද, Groundviews සහ විකල්ප[Vikalpa] ඇතුළු ස්වාධීන මාධ්‍යය ද, ට්විටර්[Twitter] අඩවියෙහි අදහස් පළ කරන අනෙක් ප‍්‍රමුඛයන් ද අතර, UPRහි සිදු වන ශ‍්‍රී ලංකාව පිළිබඳ විභාගය ආශ‍්‍රිත ට්වීට්[Tweet] පණිවුඩවල දී #UPRLKA සහ #UPR14 යන හෑෂ් ඇමුණුම් යොදා ගැනීමේ එකඟතාවක් ඇති විය. එහෙත් #UPR14 යන්න සාමාන්‍ය හෑෂ් ඇමුණුමක් බැවින්, ශ‍්‍රී ලංකාව පිළිබඳව Tweet පණිවුඩ යැවීමේ දී, මූලික # ඇමුණුම ලෙස #UPRLKA යොදා ගැනීමට දිරි ගන්වන ලදී.
ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය, ඔක්තෝබර් 29 දා (සඳුදා) සිට, විකල්ප අඩවිය ඔක්තෝබර් 30 දා සිටත්, #UPRLKA ඇමුණුම සහිත සෑම ට්වීට් පණිවුඩයක් ම (සහ සෑම පිළිතුරු ට්වීට් පණිවුඩයක් ම) තම ලේඛනාගාරය තුළ සංරක්ෂණය කිරීමට පටන් ගත්තේ ය. මෙය ලියන මොහොත වන විට අපි ට්වීට් පණිවුඩ 3,592ක් සංරක්ෂණය කර ඇත්තෙමු. ඉන් වැඩි කොටස තැපැල් කර තිබුණේ, නොවැම්බර් 1 දා, එනම් ජිනීවාහි දී ශ‍්‍රී ලංකාව පිළිබඳ සැසිය ඇරඹෙන්නට පෙරාතු කාල පරිච්ෙඡ්දය තුළ සහ ප.ව. 2.30 සිට ප.ව. 6 දක්වා සැසිය අතරතුර ය.
Tweet පණිවුඩ සංරක්ෂණය කිරීම පහසු කටයුත්තක් නො වේ. මේ වසර අග දී ට්විටර් ගිණුම් හිමියන්ට මෙය පහසුවෙන් කර ගත හැකි කටයුත්තක් බවට පත් කරන්නෙමැයි සමාගම පිළින දී තිබුණත්, කරුණු ගණනාවක් නිසා එය බෙහෙවින් දුෂ්කර කාර්යයක්ව ඇත: Tweet පණිවුඩ කිසි යම් සුවිශේෂ # ඇමුණුමකට, සිදුවීමකට, ක‍්‍රියාවලියකට හෝ දිනයකට තදින් සම්බන්ධ ය; තත්පරයකට ගෝලීය පරිමාණව අතිමහත් Tweet පණිවුඩ සංඛ්‍යාවක් පළ වන බැවින්, ඒවා ඉක්මනින් අතුරුදන් වෙයි, සිසුන්ට, පර්යේෂකයන්ට සහ ඉතිහාසඥයන්ට ඒවා සොයා ගත නොහැකි තරම් ය, ඒවා වෙත පිවිසිය නොහැකි තරම් ය, පණිවුඩ පළ වීම උච්ච අවස්ථාව කරා ළඟා වීමෙන් පසු දිනවල, සතිවල සහ මාසවල දී, අඩවි වේදිකාව තුළ සිදු වුණු සාකච්ඡාවන්හි හරය නිසැකව දැන ගත නොහැකි තරම් ය. මෙකී දත්ත හානිය සැබෑ ම ගැටලූවකි. බරපතළ අභියෝගයන් සහ උද්වේගයන් සහිත, සංවාද මුළුමනින් ම Tweeter අඩවිය හරහා මෙහෙයවෙන සහ හුවමාරු වන මර්දනකාරී පාලන තන්ත‍්‍රයන් ඇති රටවල මෙම ගැටලූව විශේෂයෙන් ම දැකිය හැකි ය.
විකල්ප ගණනාවක් සලකා බැලූ අපි, ගූගල් පැතුරුම් පත සමග ට්විටර් අඩවියේ ඩිවෙලොපර් ඒපීඅයි(Developer API) ක‍්‍රමය යොදා ගෙන සෑම #UPRLKA Tweet පණිවුඩයක් ම සංරක්ෂණය කරන මාටින් හව්ස්කිගේ විධික‍්‍රමය[Martin Hawskey’s method] තෝරා ගත්තෙමු. එය යොදා ගැනීම සංසන්දනාත්මකව පහසු වූයෙන්, ශ‍්‍රී ලංකාව UPR හමුවේ පෙනී සිටින ආකාරය පිළිබඳ යාවත්කාල කිරීම් සඳහා සතිය තුළ දී යොදා ගැනීමට තෝරා ගත් # ඇමුණුම ලෙස නානාවිධ අඩවි වේදිකා ඔස්සේ #UPRLKA ඇමුණුම ප‍්‍රකාශයට පත් කෙරුණු දා ම, අපි අපගේ සංරක්ෂණ ක‍්‍රියාවලිය ආරම්භ කළෙමු. ඇමුණුම ප‍්‍රකාශයට පත් කරමින් අපි ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළෙමු.
පහත දක්වා ඇත්තේ Tweet පණිවුඩවල පූර්ණ ලැයිස්තුවකි. #UPRLKA හැෂ් ඇමුණුම සහිත සියලූ Tweet පණිවුඩ ඇතුළත් කර ගනිමින් සෑම අඩ හෝරාවකට වරක් ම මෙම පැතුරුම් පත ස්වයංක‍්‍රියව යාවත්කාලීන(Update) වන බැවින්, මෙය ලියන මොහොත වන විට අප වාර්තාගත කර තිබෙන පණිවුඩ සංඛ්‍යාව 3,600ක් පමණ වුව ද, කාලය ගෙවී යද්දී සංඛ්‍යාව බෙහෙවින් ඉහළ යා හැකි බව ද කරුණාකර සැලකිල්ලට ගන්න.
මෙහි Click කිරීමෙන් ඔබට මෙම spreadsheet හී වඩා විශාල විදැහීමක් වෙත පිවිසිය හැකි ය.
මාටින් හව්ස්කිගේ අච්චුව යොදා ගත් අපි, මේ සතිය තුළ පළ වුණු සියලූ ට්වීට් පණිවුඩ අළලා ගත් පුළුල් දත්තමය දෘශ්‍ය රූපයක් නිර්මාණය කර ඇත්තෙමු. මෙම දෘශ්‍ය රූපය වේගයෙන් වෙනස් වන බව ද, හැෂ් ඇමුණුම සහිත තවත් ට්වීට් පණිවුඩ අනාගතයේ දී එහි පිළිබිඹු වනු ඇති බව ද සැලකිල්ලට ගන්නැයි යළිදු කිව යුතු ය.මෙහි ක්ලික් කිරීමෙන් ඔබට මෙම පැතුරුම් පතේ වඩා විශාල විදැහීමක් වෙත පිවිසිය හැකි ය.
පළ වුණු සියලූ ට්වීට් පණිවුඩ, ප‍්‍රමුඛතම ට්වීට්කරුවන් දස දෙනා, යොදා ගත් ප‍්‍රමුඛතම හැෂ් ඇමුණුම් සහ ප‍්‍රමුඛතම සංවාදකරුවන් පිළිබඳව ග‍්‍රාපික දැක්මක් ඉදිරිපත් කරන මෙම දත්ත සමුදාය බෙහෙවින් විශාල ය. එබැවින්, මෙම දෘශ්‍ය රූපය නැරඹීමට ඔබට තරමක් ප‍්‍රබල පරිගණකයක් අවශ්‍ය වනු ඇත. ඔබගේ පරිගණක මූසිකයේ තිබෙන කැරකෙන බොත්තම යොදා ගෙන දෘශ්‍ය රූපය සමීප සහ දුරස්ථ කළ හැකි ය. ඕනෑ ම තිතක් මත ක්ලික් කළ විට, මුළු ට්වීට් පණිවුඩ සංඛ්‍යාව, පිළිතුරු ට්වීට් පණිවුඩ සංඛ්‍යාව සහ සැඳහුම් ද ඇතුළුව, ඔබට ඒ පරිශීලකයා පිළිබඳ තොරතුරු ලැබේ.
සජීවී දත්තමය දෘශ්‍ය රූපයක් ලබා ගැනීම සඳහා මෙහි ක්ලික් කරන්න.
මේ දක්වා අප සංරක්ෂණය කළ සියලූ ට්වීට් පණිවුඩ, PDF ගොනුවක් ලෙස මෙතැනින් බාගත කළ හැකි බවත්, අවසන් වශයෙන් කියමු.
මැණික් ෆාම් වසා දැමීමෙන් පසු ‘නරකම කඳවුර’ට හෙවත් තැන තැන යළි රැඳවීම
October 3, 2012 by Karapoththa
Filed under සිංහල, end of the War, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance, Vauniya
Editor Note: 2009 මැයි මස අවසන් යුද ගැටුමින් පසු අභ්‍යන්තර අවතැන් වූ දෙමළ ජනයා වෙනුවෙන් ඉදි වූ විශාලතම අවතැන් කදවුර වූ මැණික් ෆාම් කඳවුරෙන් පසුගිය සඳුදා(24) ඉවත් කර ගනු ලැබූ සියලු අවතැන් දෙමළ ජනයා ඔවුන්ගේ සුපුරැදු ගම්බිම් වෙනුවට පදිංචි කරන ලද්දේ තවත් අවතැන් කදවුරක් වැනි ප්‍රෙද්ශයකය. ඒ මුලතිව් දිස්ත‍්‍රික්කයේ සීනියාමොට්ටායිහි ය. තම මුල් ගම්බිම්වල යළි පදිංචිවීමට යා හැකි වේ යැයි අනේකවිද බලාපොරොත්තු දල්වාගෙන සිටි 346 දෙනෙකුට නැවතත් සිදු වූයේ හමුදා අණ සහිත කාගෙදෝ තැනක පෙර පරිදිම නවතින්නටය. කෙසේ නමුත් තමන්ගේ මුල් ගම්බිම්වල පදිංචිවන්න පහසුකම් සලසන ලෙස ඉල්ලා සිටින සීනියාමොට්ටායි ජනයා මුණ ගැසීමට පසුගිය දා ගිය දිල්රුක්ෂි හඳුන්නෙත්ති, සිලෝන් ටුඩේ පුවත්පතට Relocated to nowhere නමින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය ‘විකල්ප‘ තුළ පළ කරන්නේ යුද්ධයෙන් වසර 3කටත් වඩා ගත වී ඇති මොහොතක තවමත් අවතැන් ජනයාට තමන්ගේ මුල් භූමිය ලබා දිමට ලංකාවේ පාලකයන්ට නොහැකි වීමත් මෙන්ම වත්මන් පාලකයන්ට සිය හමුදාමය අණසක යටතේ තවදුරටත් දෙමළ ජනයා තබා ගැනීමේ ‘මුග්ධ ආශාව‘ මෙයින් පිළිබු වන නිසාවෙනි.
[අභ්‍යන්තර අවතැන් වූවන් සඳහා විශාලතම නවාතැනව පැවති මැණික් ෆාම් කඳවුරෙන් පසුගිය සඳුදා(24) ඉවත් කරනු ලැබ මුලතිව් දිස්ත‍්‍රික්කයේ සීනියාමොට්ටායිහි යළි රැඳවුණු මෙම අභ්‍යන්තර අවතැන් වූවන් 346 දෙනාට, තම මුල් පදිංචි ස්ථානයෙහි යළි පදිංචි විය හැකි වේ යැයි එතරම් බලාපොරොත්තුවක් නැත. තම නිවාස, ඉඩම් සහ තම මුල් පදිංචි ස්ථානවල කඩිනමින් යළි පදිංචි වීමට තමන්ට ඇති අයිතිය ඉල්ලමින් ඒකරාශීව සිටින සීනියාමොට්ටායි අවතැන් ප‍්‍රජාව හමු වීමට දිල්රුක්ෂි හඳුන්නෙත්ති චාරිකාවක යෙදුණා ය.
ප‍්‍රතිපත්තිවලට සහ ඒවා ක‍්‍රියාත්මක කිරීමට අදාළ නමුත් ‘මාධ්‍යවේදීන්ට අනවශ්‍ය යැ’ යි බලධාරීන් සලකන තීරණාත්මක කාරණා පිළිබඳව තොරතුරු සොයා ගිය හොත්, කෙනෙකු තම රට තුළ දී ම අනවසර ඇතුළු වන්නෙකු බවට පත් විය හැකි ය. පොදු ජනයා පෙලඹවීම පොදු යහපතට හේතු විය හැකි නමුත්, බලය මධ්‍යගත වන විට සහ තොරතුරු වළකන අලිඛිත නීති පවතින විට එය එසේ නොවීමට ඉඩ ඇත. ශ‍්‍රී ලංකාවෙහි පාලනය එවැන්නක් බැවින්, ශ‍්‍රී ලංකාවේ යුද්ධයෙන් අවතැන් වූවන් උදෙසා තොරතුරු එළිදරව් කිරීම අන්තරායකර විය හැකි ය. සාක්ෂි මෙබඳු ය.
මුලතිව් දිස්ත‍්‍රික්කයේ පිහිටි සීනියාමොට්ටායි නමින් හැඳින්වෙන එතරම් ප‍්‍රකට නොවූ ප‍්‍රදේශයෙහි සිදු වෙමින් පවතින දෙය සුරක්ෂිත රහසකි. විවිධ ආයතනයන් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනුයේ විවිධ අර්ථ නිරූපණයන් ය. කතා කිරීමට නිලධාරීන්ට බලය පවරමින් අසහාය බලගතු ආයතනය වන ආරක්ෂක අමාත්‍යාංශය හරහා ලියවිලි පිළියෙළ නොවන්නේ නම්, බොහෝ විට පිළිතුර වනුයේ මාධ්‍යවේදීන් හා කතා කිරීමට තමන්ට අවසර නොමැති බව ප‍්‍රකාශ කිරීම යි.
කඩිනම් යළි පදිංචි කිරීමේ වැඩසටහන ආණ්ඩුවේ පශ්චාත් යුද ගරු ලකුණ යැයි කියන නමුත්, යළි පදිංචි කිරීම් පිළිබඳ ඇමති ගුණරත්න වීරකෝන් ඇතුළු අදාළ සියල්ලන් ‘අන්‍යෝන්‍ය ගැළපීමෙන් යුතු, සම්බන්ධීකරණය කරන ලද සහ සියලූ දෙනා ඇතුළත් කර ගත්’ ව්‍යාපෘතියකැයි කියන යළි පදිංචි කිරීමේ වැඩ සටහනේ අශෝභන තතු දැන ගැනීමට දිගට ම කියවන්න.]
ශ‍්‍රී ලංකාවේ විශාලතම යුද සිර කඳවුරව පැවති මැණික් ෆාම් වසා දැමීමෙන් පසුව, සීනියාමොට්ටායිහි පවුල් 400කට වැඩි ගණනක් යළි රඳවා සිටිති. මාර්ගවල අයහපත් තත්ත්වය නිසාත්, මාන්කුලම්හි අනිසි අවධානයට ලක් නොවී ගමන් කිරීම සඳහාත්, වළ ගොඩැලි සහ මඩ ගැවසි මාර්ගයක පැය තුනකට වැඩි කාලයක් ත‍්‍රිරෝද රථයක ගැස්සෙමින් ගමන් කිරීමට සිදු විය. පෙ.ව. 9.30ට පිටත් වුණු අප, ‘අභ්‍යන්තර අවතැන් වූවන්ගේ ගම්මානයට’ ළඟා වන විට ප.ව. 12.40 පමණ විය.
|රහසිගත මෙහෙයුම|
සුහදව සාදරයෙන් පිළිගනු ඇතැයි අපට කිසි බලාපොරොත්තුවක් නො වී ය. එහෙත් යළි පදිංචි කිරීමේ නව මුල පිරීම, යටත් පිරිසෙයින් ඒ මොහොතේ වත්, රහසිගත මෙහෙයුමක් බව අතිශයින් පැහැදිලි විය. සුභසාධන කඳවුරක් තුළ කාට හෝ බැලීමට කිසිවක් නැතැයි ද, අප ‘පමණ ඉක්මවා වැඩ’ නො විය යුතු යැයි ද, රළු බසින් අපට පවසනු ලැබිණ. විශාල වශයෙන් හමුදාවෙන් පහසුකම් සැපයුණු එම ස්ථානය, තව මත් ගොඩ නැගෙමින් පවතින කඳවුරක සියලූ ලකුණු දැරී ය.
”අනෙක් තැන්වලට යන්න. ප‍්‍රභාකරන්ගේ නාන තටාකය බලන්න යන්න. ඔයාලට මෙහේ බලන්න දෙයක් නැහැ,” රාජකාරියේ යෙදී සිටි කනිෂ්ඨ නිලධාරියෙක් අපට කී ය. මෙහෙයුමේ ස්වභාවයත්, කිසිදු තොරතුරක් බෙදාහදා ගැනීම ප‍්‍රතික්ෂේප කිරීමත්, යළි පදිංචි කිරීමේ ක‍්‍රියාවලියේ විනිවිද භාවය සහ වග වීම පිළිබඳ ආණ්ඩුවේ උඩඟු කියා පෑම්වලට සහ ”දැන් අභ්‍යන්තර අවතැන් වූවන් නැහැ, ඕනෑ ම තැනකට නිදහසේ යා හැකි යැ”යි කොළඹ දී අප හමුවේ කළ බොහෝ සහතික කිරීම්වලට ප‍්‍රතිවිරුද්ධ විය.
ගමනින් සහ සීනියාමොට්ටායිහි දී තොරතුරු අවහිර කිරීමෙන් පෙන්නුම් කෙරුණේ, දැන් පශ්චාත් යුද සමය වුව ද, අවසන් වුණු යුද්ධයට සම්බන්ධ අනෙක් බොහෝ ගැටලූ මෙන් යළි පදිංචි කිරීම පිළිබඳ ගැටලූව ද තව මත් තහනම් මාතෘකාවක්ව පවතින බව යි. එබැවින්, සීනියාමොට්ටායි වෘත්තාන්තය පිළිබඳව සාකච්ඡා කිරීමට අවසර නැත. නව ‘සුභසාධන’ ගම්මානයට පිවිසීමට අපට ඉඩ දීම ප‍්‍රතික්ෂේප කිරීමෙහි කිසිදු පුදුමයට කරුණක් නො වී ය. යළි රැඳවුණවුන් කෙරෙහි විශ්වාසය තබන්නේ නම්, ජලය, විදුලි බලය හෝ පිසූ ආහාර පවා නොමැති ප්‍රදේශය තුළ කොහෙත් ම සුභසාධනයක් නොපවතින තරම් ය. බදාදා වැසි වැටුණෙන්, කූඩාරම් හිඟයෙන් පෙළුණු අභ්‍යන්තර අවතැන් වූවෝ තමන්ට ලැබුණු නව නිවහන තුළ වැසි දියෙන් පෙඟී ගියෝ ය.
මෙම ජනයා පිළිබඳ කතන්දරය අන් සියලූ අභ්‍යන්තර අවතැන් වූවන්ට වෙනස් ය. සත්‍යාසත්‍යතාව කිව නොහැකි වුව ද, යුද්ධය අවසන් වීමෙන් වසර තුනකට පසුව, අන් සියලූ දෙනා තම මුල් පදිංචි ස්ථානවල යළි පදිංචි කර ඇත. මෙම පිරිස සඳුදා මැණික් ෆාම් කඳවුරෙන් පිටව ගියේ තම මුල් නිවහන් කරා ආපසු යාමේ බලාපොරොත්තුවෙනි. පුද්ගලයන් 346 දෙනෙකුගෙන් සමන්විත මෙම කුඩා පිරිස, කලින් පදිංචිව සිටියේ මුලතිව් දිස්ත‍්‍රික්කයේ කෙප්පාපිලාවු ගම්මානයේ ය. තෙවසරක් අවතැන් වූවන්ගේ කඳවුරෙහි ගත කිරීමෙනුත්, දිග් ගැසුණු යුද්ධයක් අත්විඳීමෙනුත්, අහිගුණ්ඨික ස්වභාවයේ ජීවිතයකට ඇද වැටීමෙනුත් පසුව, මෙම ජනයාට එල්ලෙන්නට තිබෙන අවසන් පිදුරු ගහ වී ඇත්තේ තම මුල් ගම්මානයෙහි යළි පදිංචි විය හැකි ය යන එක ම බලාපොරොත්තුව ද අත හැර දැමීම යි. විවිධ රාජ්‍ය ආයතනයන් ඉදිරිපත් කරන විවිධ තොරතුරු කෙසේ වෙතත්, සත්‍යය පවසන්නේ නම්, ඔවුන් කිසි දා තම මුල් පදිංචි ස්ථානය කරා ආපසු යැවෙනු නැත.
|‘තාවකාලිකව යළි රැඳවීම’|
ඔවුන් මැණික් ෆාම් කඳවුරෙන් පිටව ගියේ, එය ‘තාවකාලික යළි රැඳවීමක්’ බවට කෙරෙන සහතික කිරීම් මධ්‍යයේ ය. එහෙත් එහි පවත්නේ විශාල වශයෙන් හමුදාව වාඩි ලා ගත් ගම්මානයක් බැවින්, තම මුල් නිවහන් සහ ඉඩම් ආපසු ලබා ගත හැකි වෙතැයි ඔවුන්ට බලාපොරොත්තුවක් නැති තරම් විය. තමන් සීනියාමොට්ටායි වෙත රැගෙන ආවේ ‘තම කැමැත්තෙන් තොරව’ බවත්, ‘පට්ටපල් බොරු කියමින්’ බවත් අභ්‍යන්තර අවතැන් වූවෝ ප‍්‍රකාශ කරති. එහෙත් රජය එම ප‍්‍රකාශ ප‍්‍රතික්ෂේප කරයි. තමන් තම මුල් ගම්මානයෙහි යළි පදිංචි කළ යුතු යැයි ඉල්ලමින් ද, ඒ සඳහා පහසුකම් සැපයීමට ජාත්‍යන්තර ප‍්‍රජාවේ ‘හදිසි මැදිහත් වීමක්’ ඉල්ලා සිටින පෙත්සමක් එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කරමින් ද, අවතැන් පිරිස සැප්තැම්බර් 24 දා පාරට බැස්සෝ ය.
වව්නියාව දිස්ත‍්‍රික්කයේ පිහිටි අක්කර 700කින් සමන්විත මැණික් ෆාම් කඳවුරෙහි ජීවත් වන සියලූ අභ්‍යන්තර අවතැන් වූවන් සැප්තැම්බර් 25 දා වන විට යළි පදිංචි කොට අවසන් කරන බවට යළි පදිංචි කිරීමේ බලධාරීහු මහාපේක්ෂා පළ කළ අවසන් දිනයක් නියම කර ගත්හ. ආපසු ගියවුන්ගේ අවසන් කණ්ඩායම පුද්ගලයන් 1,185 දෙනෙකුගෙන් (පවුල් 405කින්) සමන්විත වූ අතර, ඉන් පුද්ගලයෝ 346 දෙනෙක් (පවුල් 110ක්) කෙප්පාපිලාවු ගම්මානයේ වැසියෝ වූහ.
කඳවුරෙන් පිටත රාජකාරියෙහි යෙදී සිටි හමුදා කාර්ය මාණ්ඩලිකයන් අප මුදා හළ පසුව, අපට සිවගුරු අංගාරමුත්තු උදලායකුමාරි(43) මුණ ගැසිණ. ඈ මැණික් ෆාම් 1 වන කලාපයෙහි පිහිටා තිබූ කදිර්ගාමම් කඳවුරෙන් රැගෙන විත් යළි රැඳවුණු අභ්‍යන්තර අවතැන් තැනැත්තියකි. ඇය කෝපයෙන් සිටින බව පෙනිණ. තම මුල් පදිංචි ස්ථානයෙහි යළි පදිංචි කරන බවට පොරොන්දු දී තම කැමැත්තෙන් තොරව අභ්‍යන්තර අවතැන් වූවන් බස් රථවලින් ප‍්‍රවාහනය කළ බව ඈ පැවසුවා ය.
‘‘අඟහරුවාදා නිලධාරි ආවාම මිනිස්සු වැළපෙන්න පටන් ගත්තා. අපි හැමෝට ම උවමනා කරන්නෙ අපි සීනියාමොට්ටායිවලට ගෙනාවෙ මොක ද කියලා දැන ගන්න යි. සමහර ඈයින්ගෙ ගෙවල් තියෙන්නෙ කෙප්පාපිලාවුවල. මම නම් මෙහේ. මට කඳවුරක ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ හමුදාව මට මගේ ගේ ආපහු දෙන්නෙ නැති හින්දා. හමුදාවෙ කෝකියෙක් මගේ ගේ අල්ල ගෙන. මගේ ගේ මට නොදෙන හින්ද මම හැමදාම උන්දැට සාප කරනවා. තත්ත්වෙ වඩා හොඳ අතට හැරුණ ම ආපහු අපේ ගෙවල්වලට යන්න පුළුවන් කියල කිව්වත් අපට විශ්වාසයක් නෑ,” ඈ කීවා ය.
මැණික් ෆාම් කඳවුරෙන් අවසන් වරට පිටව ගියේ කෙප්පාපිලාවු සහ මන්ඩාවිල් ගම්වැසි අභ්‍යන්තර අවතැන් වූවන් ය. මන්ඩාවිල් වැසියන් යළි පදිංචි කෙරුණු නමුත්, ‘බස් රථවල පටවා හඬා වැළපෙමින් සහ විරෝධය පළ කරමින් සිටි’ අනෙක් පිරිස දිනකට පසු වට්රප්පලායි මහා විද්‍යාලය වෙත රැගෙන යන ලදහ. ඒ වන විට පාසල පැවැත්වෙමින් තිබිණ.
‘‘අපි එතැනට ගියාම වෙන කොහේට හරි යන්න කිව්වා. නැවත පදිංචි කරනව කියල දවසකට පස්සෙ පොරොන්දු උණා. අපි ආපහු අවතැන් උණා. නිලධාරියෙක් අපි එලව ගත්තා. අපි හිතුවෙ අපි අරන් යන්නෙ අපේ ගම්වලට ය කියල. අපේ ගම්වල ආපහු පදිංචි කරන්නෙ කවද ද කියල කිසි ම පැහැදිලි පොරොන්දුවක් නැතුව අපි වෙන තැනක රඳවලා,” ඈ තව දුරටත් කීවා ය.
තම විරෝධතාව දියත් කළ පාසලෙන් පිට වුණු පසුව අභ්‍යන්තර අවතැන් වූවන් ඊළඟට රැගෙන ගියේ අසල පිහිටි සීනියාමොට්ටායි ගම්මානයට ය. නව වාසස්ථානය සඳහා දැන් එහි වන ලැහැබක් එළි පෙහෙළි කෙරෙමින් පවතී.
උදයකුමාරිගේ සොහොයුරිය වන මනෝහරන් සූරියකුමාරි(41) 2010 වසරේ දී මැණික් ෆාම් කඳවුර හැර ගියේ සීනියාමොට්ටායිහි සත්කාරක පවුලක් සමග වාසය කිරීමට ය. තම නිවස කරා ආපසු යාමට නොහැකි වීම ගැන කෝපයෙන් පසු වන ඈ තම දේපළවල හිමිකම් ඔප්පු අපට පෙන්නුවා ය.‘‘මට මේ ජීවිතේ දී ආපහු මගේ ගෙට යන්න ලැබෙන එකක් නෑ. කරුණාකරල අපට උදව් කරන්න. යුද්දෙට කලින්, අවතැන් වෙන්න කලින් අපි මීට වඩා හොඳ ජීවිතයක් ගත කෙරුවා. අපිට ගරුත්වයක් තිබුණා,” ඈ අපේක්ෂා සහගතව පැවසුවා ය.
|සත්කාරක පවුල් සමග ජීවත් වීම|
තම නිවසට මීටර කීපයක් නුදුරින් වෙසෙන සත්කාරක පවුලක් සමග ජීවත් වන ලෙස සූරියකුමාරිට නියම කෙරිණ. ‘‘මගේ තත්වෙට පත් උණු තවත් හුඟක් ඈයො ඉන්නවා. අපේ ගේදොර ඉඩකඩම් හමුදාවෙන් අල්ල ගෙන. මගේ සහෝදරීට කඳවුරේ ඉඳන් බැලූව ම එයාගෙ ගේ පේනවා. මේ ගේ බෙදාහදා ගෙන ඉන්න මේ අනෙක් අනික් ඈයින්ටත් තියෙන්නෙ ඔය ප‍්‍රශ්නෙ ම යි. ඔයාලට මොනව කිව්ව ද දන්නෙ නෑ, ඒත් දිගින් දිගටම අල්ලගෙන ඉන්න අපේ දේපළ වෙනුවෙන් අපිට කවදා වත් වන්දියක් ගෙවල නෑ. ඒ ගොල්ල අපේ ගෙවල් අතෑරල යන පාටක් නෑ. ඔය හින්ද තමයි අපි ආපහු පදිංචි කරන්නෙ නැත්තෙ,” ඈ අවධාරණය කළා ය.
‘‘අපි ආපහු පදිංචි කරනව කියල ලෝකෙට බොරු කියනවා. අපි ආපහු වෙන තැනක රැඳෙව්වෙ අපේ කැමැත්තක් නැතුව. කවදා වත් අපේ මුල් පදිංචි තැන්වල ආපහු පදිංචි කරන්නෙ නෑ,” ගුවන් ප‍්‍රහාරයකින් තම දියණිය අහිමි වුණු උදයකුමාරි තව දුරටත් කීවා ය.
තම නව වාසස්ථානය පිළිබඳව ද අවතැන් වූවෝ මැසිවිලි නගති. මේ වන විට, අවතැන් වූවන් සඳහා වන සීනියාමොට්ටායි ගම්මානය තුළ මුලතිව් දිස්ත‍්‍රික්කයේ ගම්මාන හතරක වැසියෝ යළි රඳවනු ලැබ සිටිති. සීනියාමොට්ටායි, සූරියපුරම්, පිලාකුඩිරිප්පු සහ කෙප්පාපිලාවු ගම්වැසි පවුල් 400කට වැඩි ගණනක් දැන් එහි ජීවත් වෙති.
පිහිටුවා දින තුනක් ගත වී තිබුණ ද එම ප‍්‍රදේශය තුළ ජනයා සඳහා මූලික පහසුකම් කිසිවක් නො පවතියි. මෙය තමන් විසූ ‘නරකම කඳවුර’ බව අභ්‍යන්තර අවතැන් වූවෝ පැවසූහ. විවිධ කඳවුරුවල දී අභ්‍යන්තර අවතැන් වූවන් ලෙස තමන් ලද අත්දැකීම් ඔවුන් බොහෝ දෙනෙකුට මතක ය. ඔවුන්ගෙන් ඇතැමෙකු, යුද්ධය ද ඒ අතරවාරයේ හට ගත් ස්වාභාවික ආපදාවන් ද නිසා ඇති වුණු නානාවිධ අවතැන් වීම්වලින් පීඩා විඳ ඇත. ‘‘අපේ ජීවිත ඉවරයක් නැති ඛේදචාචකයක්,” සූරියකුමාරි පැවසුවා ය.
සීනියාමොට්ටායිහි තවමත් වැසිකිළි, ජල සම්පාදන හෝ විදුලි බල පහසුකම් නැත. පැමිණි දා පටන් මේ දක්වා, ස්නානය කිරීමට හෝ උයා පිහා ගැනීමට අභ්‍යන්තර අවතැන් වූවන්ට හැකියාවක් ලැබී නැත. ‘‘අපි ඔහේ මෙහාට අරන් ආවා විතර යි. මෙහේ කිසි ම පහසුකමක් නෑ. අඟහරුවාදා ? ආහාර සැපයුම නැවැත්තුවා. අපිට උයන්න කිව්වා. එදා ? වැස්ස නිසා අපේ දර තෙමුණා. අපිට කිසි ම උයපු ආහාරයක් ලැබුණේ නෑ. කෑම නැතුව දැන් දවස් දෙකකට කිට්ටු යි,” උදයකුමාරි කීවා ය.
ඈ තම දරුවන් දෙදෙනා සහ සැමියා වෙනුවෙන් ආහාර පිසීමට උත්සාහයක් ගත්තා ය. එහෙත්, ආණ්ඩුව හමුදාව මාර්ගයෙන් බෙදා හළ වියළි සලාක ලැබී නැති සමහරු ද සිටිති. ‘‘සමහරු මෙහාට ආවෙ තමුන්ගෙ ඇඳුම් විතරක් අර ගෙන. වෙන කිසි ම බඩුවක් මුට්ටුවක් නැතුව,” ඈ තව දුරටත් පැවසුවා ය.
42 හැවිරිදි ගොවියෙකු වන කනපතිපිල්ලේ රගුදාසන් අපට හමු වන විට සිටියේ, ඊට මොහොතකට කලින් සීනියාමොට්ටායි අභ්‍යන්තර අවතැන් වූවන්ගේ ගම්මානය වෙත ළඟා වුණු තම දෙමාපියන් බැලීමට යමින් කඩිමුඩියේ ය. වේලූපිල්ලේ කනපතිපිල්ලේ(72) සහ මනෝමනී කනපතිපිල්ලේ (62) යන තම වයස්ගත දෙමාපියන් සිය නව නිවහන සොයා ගත්තේ කෙසේ දැයි ඔහුට නිසැකව කිව නොහැකි විය.
‘‘මේ අභ්‍යන්තර අවතැන් වූවන්ගේ ගම්මානයේ ඉන්න මිනිස්සුන්ට තමුන්ගෙ මුල් පදිංචි තැන්වලට ආපහු යන්න අවස්ථාවක් නැහැ. එහෙම කරන්න නම් ගෙවල් දොරවල්, ඉඩකඩම් ආපහු ලැබෙන්න ඕන. යුද්දෙ ඉවර යි. ඒත් අපේ ජීවිතවල කිසි වෙනසක් සිද්ධ වෙලා නැහැ,” ඔහු පැවසුවේ ය.
මැණික් ෆාම් කඳවුරේ සිට පැමිණි කාන්තාවක වන කනපතිපිල්ලේ සරස්වතී(67) ද ජීවත් වන්නේ සීනියාමොට්ටායි අභ්‍යන්තර අවතැන් වූවන්ගේ ගම්මානයට ඉතා කිට්ටුව වාසය කරන සත්කාරක පවුලක් සමග ය. ‘‘ආපහු පදිංචි වෙන බලාපොරොත්තුව අපි අතෑරල දැම්මා. හමුදාව අල්ල ගෙන ඉන්න අපේ ගෙවල්වලට යන්න ඉඩ දෙන්නෙ නැති කොට ආපහු පදිංචි වීම ගැන මොන කතා ද?” දේපළ ආපසු ලබා දීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම පිළිබඳව බලධාරීන්ට චෝදනා කරමින් ඈ ප‍්‍රශ්න කළා ය. ‘‘අවුරුදු හතරක් තිස්සේ, ඔයා අවතැන් වූවන්ගේ කඳවුරක ජීවත් වෙද්දී වෙන ඈයො ඔයාගෙ ගෙදර ජීවත් වෙනව නම් ඔයාට මොනව හිතේවි ද,” ඈ විමසුවා ය.
|එදිනෙදා වේල පිරිමසා ගෙන ජීවත් වීම|
චන්ද්‍රා සිවගුරු(60) මුදු මොළොක් චරිතයක් ඇති කාන්තාවකි. තම උපන් ගමේ දී ෂෙල් ප‍්‍රහාරයකින් තවත් කීප දෙනෙකු සමග තම සැමියා ද මිය ගියෙන්, 1990 දී ඈ වැන්දඹුවක බවට පත් වූවා ය. මෑතක් වන තුරු ම ඇය ද ජීවත් වූයේ මැණික් ෆාම් කඳවුරේ ය. දැන් ඈ සත්කාරක පවුලක් සමග වාසයට පැමිණ සිටී.
‘‘එක කාලෙක අපි සල්ලිය බාගෙ ඇතිව හිටියා. අපිට ඉඩම් තිබුණා. අපේ ම කියල හරක් පට්ටියක් හිටියා. ස්ථිර ආදායමක් තිබුණා. ගමේ අනික් අය බලා කියා ගන්න පුළුවන් තත්වෙක අපි හිටියා. දැන් අපි එදා වේල පිරිමහ ගෙන ජීවත් වෙන තත්වෙට වැටිලා,” තම කඳුළු පිස දමමින් ඈ කීවා ය.
2009 වසරේ දී, ඇයගේ දියණිය ද ඇයට සමාන ආකාරයෙන් වැන්දඹුවක බවට පත් වූවා ය. ‘‘ගුවන් ප‍්‍රහාරයක් ආවා. එයාට ගෙවත්තක් තිබුණ හින්ද එයා ඒකෙ වැඩ කර කර යි හිටියෙ. අපේ ජීවිත නැති භංග උණා. අපේ පවුලෙ ඈයො මැරුණා. අපේ බඩ රස්සාවල් විනාශ උණා. අපි ඉල්ලන්නේ අපේ ගෙවල් දොරවල් විතර යි. මේ විදියට තැනින් තැනට යවනවට වැඩිය හොඳ යි අපිට වෙඩි තියල මරල දාන එක. ගරුත්වයක් නැති මේ ජීවිතේ ගෙවනවට වැඩිය මැරෙන එක වාසනාව යි,” ඈ පැවසුවා ය.
සැප්තැම්බර් 24 දා පැවති විරෝධතාවේ දී, දුකින් මැඩුණු කෙප්පාපිලාවු අවතැන් පිරිස ඉල්ලීම් තුනක් ඉදිරිපත් කළහ. පළමුව ඔවුන්ට වුවමනා කළේ තම මුල් පදිංචි ස්ථානවල යළි පදිංචි වීම යි. මෙතැන් සිට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම සඳහා තම ගේදොර ඉඩකඩම් ආපසු ලැබීම ද ඔවුන්ට වුවමනා විය. එහෙත් ඔවුන් තම ජීවිත ඉදිරියට ගෙන යාමට නම් යුක්තිය ඉටු විය යුතුව තිබිණ. එනම්, නඩු විභාග කඩිනමින් අවසන් වී අතුරුදන් වූවන් සඳහා සාධාරණය ඉටු වීම ඔවුන්ට ඇවැසිව තිබිණ.
දේපළ සහ මානව ගරුත්වය සඳහා තමන්ට ඇති අයිතීන්ට ගරු කළ යුතු යැයි කෙප්පාපිලාවු අභ්‍යන්තර අවතැන් වූවන් ඉල්ලා සිටි අතරවාරයේ, ඔවුන් සිය මුල් පදිංචි ස්ථානවල යළි පදිංචි කෙරෙන බව යළි පදිංචි කිරීම් පිළිබඳ අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු ඊයේ අවධාරණයෙන් කියා සිටි නමුත්, කිසි යම් අවසන් දිනයක් ප‍්‍රකාශ කිරීමෙන් ඔහු වැළකුණේ ය. අනෙක් අතින්, මෙම අභ්‍යන්තර අවතැන් වූවන් 346 දෙනා තව දුර යළි පදිංචි කිරීමක් සිදු නොවන බව මුලතිව් දිසාපති නාගලිංගම් වෙදනායගන්ට මුළුමනින් ම පසක්ව තිබිණ. සීනියාමොට්ටායි ඔවුන්ගේ ස්ථිර නිවහන වනු ඇත.
සැප්තැම්බර් 25 දා, ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මානුෂීය සම්බන්ධීකාරක සුබිනේ නැන්ඩි ප‍්‍රකාශයක් නිකුත් කරමින්, මෙම අභ්‍යන්තර අවතැන් වූවන් මුහුණ පා සිටින අවාසනාවන්ත තත්ත්වය කෙරෙහි අවධානය යොමු කොට, ‘ශ‍්‍රී ලංකාවේ අවතැන් අදියරට’ අර්ථාන්විත අවසානයක් ළඟා කර දෙන ලෙස ඉල්ලා සිටියා ය.
ප‍්‍රකාශය මෙසේ කියා සිටියේ ය: ‘‘මැණික් ෆාම් කඳවුරේ සිට මුලතිව් දිස්ත‍්‍රික්කයේ කෙප්පාපිලාවු වෙත යළි පැමිණෙමින් සිටින අභ්‍යන්තර අවතැන් වූවන් 346 දෙනා(පවුල් 110) ගැන එක්සත් ජාතීන් සැලකිලිමත්ව සිටී. ඔවුන් එසේ පැමිණෙන්නේ හමුදාව අල්ලා ගෙන සිටින තම නිවහන් කරා ආපසු යා නොහැකි බැවිනි. විකල්පයක් ලෙස, ඔවුන් රජයේ ඉඩම්වල යළි රඳවා, අනාගතයේ දී ඔවුන්ගේ ඉඩම්වලට කුමක් සිදු වන්නේ ද යන්න සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් ලැබෙන තෙක් පොරොත්තු කොට, ඔවුන්ට ආපසු යා නොහැකි නම් වන්දි ලබා දීම සඳහා සැලසුම් කළ යුතු ය.
‘‘පශ්චාත් යුද ප‍්‍රතිසන්ධානය සහ සාමාන්‍ය තත්ත්වය යළි ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නැන්ඩි මෙසේ ද ප‍්‍රකාශ කළා ය:” ජනයාට රටේ කොතැනක හෝ පදිංචි වීමට ඉඩ දීම සහ තම මුල් නිවහන්වලින් එපිට යළි පදිංචි වී සිටින්නන්ගේ ඉඩම්වල නීතිමය හිමිකම් පිළිබඳ ගැටලූ විසඳීම යනු ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියේ ප‍්‍රධාන කොටසකි.
‘‘එහෙත් මෙම පුද්ගලයන් 346 දෙනාගේ එක ම සිහිනය වන තම ගම්මානයේ ජීවත් වෙමින් තම ගෙවතු අස්වැද්දීම යථාර්ථයක් බවට පත් විය නොහැකි ය. ඔවුන් මෙහි පැමිණ සිටිනුයේ සීනියාමොට්ටායිහි නතර වන්ට ය. එහෙත් ඛේදවාචකය වනුයේ, ඔවුන් එය එසේ වනු ඇතැයි සැක කළ ද ඔවුන්ට ඒ බව පවසා නොතිබීම යි.
|මේක තමයි ඔවුන්ගේ ස්ථිර නිවහන| – මුලතිව් දිසාපති
මේ වන විට, සීනියාමොට්ටායි ප‍්‍රදේශයේ අභ්‍යන්තර අවතැන් වූවන්ගේ ස්ථිර ගම්මානයක් ලෙස ගොඩ නැගෙමින් පවතින අතර, සඳුදා යළි රැඳවුණවුන්ට එහි ස්ථිර වාසස්ථාන සැපයෙනු ඇතැයි, මුලතිව් දිසාපති නාගලිංගම් වෙදනායගන් සිලෝන් ටුඬේ වෙබ් අඩවියට පැවසී ය.
අභ්‍යන්තර අවතැන් වූවන් සඳහා ස්ථිර වාසස්ථාන පහසුකම් සැපයීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ඔහු කීවේ ය. ‘‘ඔවුන් කෙප්පාපිලාවුවල යළි පදිංචි කිරීමට හැකියාවක් නැහැ. එය කලින් පැවති කඳවුරු ප‍්‍රදේශයක්. ඒ වෙනුවට ඔවුන් මෙහි යළි පදිංචි කෙරෙනවා. ඔවුන්ගේ නිවාස සහ වෙනත් යටිතල පහසුකම් ගොඩ නැගීමේ දී ආණ්ඩුව සහාය වෙනවා. නව ක‍්‍රියාවලියක් හරහා, වෙනත් තැන්වල තිබෙන ඔවුන්ගේ දේපළ අත්පත් කර ගන්නවා, නැත් නම් වන්දියක් ලබා දෙනවා. ඉක්මනින් නව ඔප්පු නිකුත් කරනවා,” ඔහු පැවසී ය.
|යළි පදිංචි කළේ උපදෙස්වලට අනුව| – වව්නියා දිසාපති
මැණික් ෆාම් අභ්‍යන්තර අවතැන් වූවන්ගේ කඳවුර වසා දැමීමේ දී, පුද්ගලයන් 1,185 දෙනෙකුගෙන් සමන්විත අවසන් කණ්ඩායම මාරු කෙරුණේ සැප්තැම්බර් 24 දා ය. සැප්තැම්බර් 26 දා වන විට ස්ථිර ගොඩනැගිලි කීපයක් හැර සියලූ තාවකාලික ඉදි කිරීම් ඉවත් කෙරුණු අතර, ඉඩම් ඉක්මනින් ම ඒවායේ හිමිකරුවන්ට භාර දෙන බව වව්නියා දිසාපති බන්දුල හරිශ්චන්ද්‍ර පැවසී ය.
ඔහු මෙසේ කියා සිටියේ ය: ‘‘මම ජනයා යළි පදිංචි කළේ මට ලැබුණු උපදෙස්වලට අනුව. අභ්‍යන්තර අවතැන් වූවන් යළි පදිංචි කිරීමේ වැඩ සටහන කියන්නෙ, රජයේ සහ ජාත්‍යන්තර නානාවිධ ආයතන ඒකාබද්ධ වෙලා සහයෝගයෙන් දරන පරිශ‍්‍රමයක්. අවසන් අභ්‍යන්තර අවතැන් වූවන් කණ්ඩායම මුලතිව්වලට යැව්වා. ඒ කණ්ඩායමේ කිසි කෙනෙක් වව්නියාවේ යළි පදිංචි කෙරුණේ නැහැ. ඒක දැන් මුලතිව්වල ප‍්‍රශ්නයක්.”
|පිවිසීමට අවසර නොමැත, ඇත්තේ බිය ගැන්වීම් පමණකි|
රජය සහ නානාවිධ ප‍්‍රකාශකයන් පවසන පරිදි, යුද්ධයෙන් අවතැන් වූවන් යළි පදිංචි කිරීම යනු විනිවිද භාවයෙන් යුතු ක‍්‍රමානුකූල ක‍්‍රියාවලියකි. පසු ගිය මාස කීපයේ දී යළි පදිංචි කිරීම අඛණ්ඩව කෙරී ගෙන ගිය අතර, පිවිසීම සීමා කර නැති බව සිලෝන් ටුඬේ වෙත යළි යළිත් දැනුම් දෙනු ලැබිණ.
අභ්‍යන්තර අවතැන් පවුල් 400කට වැඩි ගණනක් යළි රැඳවුණු සීනියාමොට්ටායි වෙත අප ළඟා වූ විට මෙම සහතික වීම් අරුත් සුන් ප‍්‍රලාප බවට පත් විය. අවසානයේ තමන් උපන් බිම්වල යළි පදිංචි කෙරෙනුයේ ඇතැමුන් පමණකි.
සීනියාමොට්ටායි සිට ආපසු ඒම සඳහා මගට පිවිසෙද්දී හමුදා භටයෝ විශාල සංඛ්‍යාවක් එහි සිටියහ. අපට අඩු ගණනේ කඳවුර පසු කර වාහනය පදවා ගෙන යාමට වත් නොහැකි දැයි විමසූ විට, අපට ලැබුණේ ‘ඉක්මනින් ආපහු හැරිලා යන්න’ යැයි කෙටි රළු නියෝගයකි.
අපට ‘කිසිවක් අසන්නට ලැබුණා දැ’යි, අපගේ චාරිකාවට හේතුව කුමක් දැයි එක් කනිෂ්ඨ නිලධාරියෙක් අපගෙන් විමසී ය. ‘‘යළි පදිංචි කිරීමක් ගැන ඔයාලට අහන්න ලැබුණ ද? මිනිස්සු මෙහාට ආවා විතර යි. ඔයාලට බලන්න කිසි ම දෙයක් එහේ නැහැ. ඒක රජය විසඳිය යුතු ප‍්‍රශ්නයක්,” ඔහු අවධාරණයෙන් කියා සිටියේ ය.
තුවක්කුවක් අතැතිව සිටි තවත් නිලධාරියෙකු දන්වා සිටියේ, අභ්‍යන්තර අවතැන් වූවන්ගේ කඳවුරු වෙත චාරිකා කරනවාට වඩා නිර්භීත දේවල් මුලතිව්වල දී කළ හැකි බව යි. දකුණේ සිට උතුරට සිය ගණන් ජනයා රැගෙන එන අඛණ්ඩ යුද සංචාරක කර්මාන්තය ඔහු බෙහෙවින් අගය කළේ ය. ‘‘ඔයාලා ප‍්‍රභාකරන්ගේ නාන තටාකය දුටුවා ද? ඇයි එයාගෙ බංකරය බලන්න යන්නෙ නැත්තෙ? ඒ පැත්තට යන්න. ඔයාලගෙ පවුල්, යාළුවො ඉන්නව නම්, එයාලත් එක්ක යන්න. හැබැයි අභ්‍යන්තර අවතැන් වූවන්ගේ ගම්මානයට එන්න එපා,” ඔහු පැවසී ය.
ත‍්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳව පැහැදිලි සැකයකින් පසු වූ පුද්ගලයෝ දෙදෙනෙක් අපගේ අත් බෑගවල තිබෙන්නේ මොනවා දැයි යළි යළිත් විමසා සිටියහ. අනතුරුව, ‘‘මෙහේ ඔයාලට බලන්න දෙයක් නැහැ” යි අවධාරණය කරමින්, ‘‘ආපහු පදිංචි කරන එක ගැන කවුරු හරි මොනව හරි කිව්ව දැ”යි ප‍්‍රශ්න කරමින්, ඔවුහු අපට පිටව යන ලෙස වහා නියෝග කළහ. ඉන් පැහැදිලිව පෙන්නුම් කෙරුණේ, යළි පදිංචි කිරීම හෝ මෙහි සිදු වන තාවකාලික යළි රැඳවීම පිළිබඳව සාකච්ඡා කිරීමට අවසර නැති බව යි. යුද සංචාරක කර්මාන්තය යනු එක් දෙයකි. එහෙත්, අභ්‍යන්තර අවතැන් වූවන් යළි පදිංචි කිරීම පිළිබඳව දැන ගැනීමට පුරවැසියන්ට හෝ මාධ්‍යවේදීන්ට තිබුණු වුවමනාව යනු මුළුමනින් ම වෙනත් දෙයකි.
මාධ්‍යවේදීන් සහ පොදුවේ ජනතාව තොරතුරු වෙත ළඟා වේ යැයි පවතින අසාමාන්‍ය සැකයෙන් සීනියාමොට්ටායි වැඩ සටහනට සම්බන්ධ වූවන් බිය සිටින බව පෙනෙන්නට තිබිණ.
සත්කාරක පවුල් සමග සහ අලූතින් පිහිටුවූ සීනියාමොට්ටායි අභ්‍යන්තර අවතැන් වූවන්ගේ ගම්මානය තුළ ජීවත් වන අභ්‍යන්තර අවතැන් වූවන් සමග සම්මුඛ සාකච්ඡා කීපයක් පැවැත්වීමෙන් පසුව, අප ‘වැඩ සටහන’ පිළිබඳව මෙතරම් ප‍්‍රශ්න කරන්නේ මන්දැයි පුද්ගලයෝ දෙදෙනා විමසා සිටියහ.
එක් පුද්ගලයෙක් අපගේ චාරිකාවේ අරමුණ කුමක් දැයි දිගින් දිගට ම අපගෙන් ප‍්‍රශ්න කළහ. අභ්‍යන්තර අවතැන් වූවන් පැවසූ පරිදි ඔහු ග‍්‍රාම සංවර්ධන නිලධාරියෙකි (ආර්ඞී ඕ). ඔහු පසුපසට හැරෙමින් තවත් පුද්ගලයෙකුට ‘‘සර්” යැයි අමතුවේ ය. අභ්‍යන්තර අවතැන් වූවන් පැවසූ පරිදි ඔහු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකි. අප විමසා සිටිය ද ඔහු සිය අනන්‍යතාව තහවුරු නොකළේ ය. මාධ්‍යවේදීන්ගෙන් මෙලෙස ප‍්‍රශ්න කරන අතරවාරයේ, තවත් හතර දෙනෙක් ත‍්‍රිරෝද රථය වෙත ළඟා වී, අප සීනියාමොට්ටායිහි සිටින්නේ මන්දැයි, අභ්‍යන්තර අවතැන් වූවන් පිළිබඳව අපට තිබෙන උනන්දුව කුමක් දැයි, රියැදුරා අප සිය රථයෙහි ගෙන යන්නේ මක් නිසා දැයි, ඔහුගේ ගාස්තුව ගෙවන්නේ කෙසේ ද කොතැනක දී දැයි විමසා සිටියහ.
ජනයා නව වාසස්ථානය කරා පැමිණියේ කැමැත්තෙන් බවත්, ඔවුන්ට බල නොකෙරුණු බවත්, ග‍්‍රාම සංවර්ධන නිලධාරියෙකු යැයි කියන ලද තැනැත්තා අවධාරණය කළේ ය. ‘‘මැණික් ෆාම් කඳවුරෙන් ඉවත් වෙන්න කියල මේ මිනිස්සුන්ට බල කළේ නැහැ. එහේ ජීවත් වෙන්න අකැමැති යි කිය කියා එයාලා හැමෝ ම ආවෙ කැමැත්තෙන්. තමුන් නිදහස් කරන්න කියල එයාල ජනාධිපතිතුමාගේ දෙපා මුල වැටිලා ඉල්ලා හිටියා. මෙහේ ඇවිත් ප‍්‍රශ්න ඇති කරන්න එපා. ඔයාලා එහෙම කළොත්, අපි අභ්‍යන්තර අවතැන් වූවන්ගෙ ඇඟට භූමිතෙල් වක්කරලා මුළු ගම්මානය ම විනාශ කරනවා. ඒක එහෙම පිටින් ම ඔයාලගෙ වැරැද්දක් වේවි,” විවෘත තර්ජනයක් කරමින් ඔහු පැවසුවේ ය.
අප සමග කතා කළ අභ්‍යන්තර අවතැන් වූවන් හමු වීමට සන්ධ්‍යාවේ නානාවිධ නිලධාරීන් පැමිණ තිබිණ. අප කවුරුන් දැයි, අපට දැන ගැනීමට වුවමනා කරන්නේ මොනවා දැයි, ඡායාරුප ගන්නා ලද දැයි, අපට දුන් පිළිතුරු කවරේ දැයි දැන ගැනීමට ඔවුන්ට වුවමනා විය. බොහෝ දෙනෙකු උනන්දු වූයේ, මාධ්‍යවේදීන් පැමිණියේ විදේශීය හෝ දේශීය ප‍්‍රවෘත්ති ආයතනවලින් දැයි දැන ගැනීමට ය.
යතුරු පැදියක් පැදවූ පුද්ගලයෙක්, සීනියාමොට්ටායි සිට මුලියාවලේ තෙක් ත‍්‍රිරෝද රථයට තරමක් දුරින් ඒ පසුපස ආවේ ය. මුලියාවලේ මුර පොළේ දී, නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයෝ දෙදෙනෙක් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් මාර්ගය හරහා පැමිණ ත‍්‍රිරෝද රථය නතර කළහ. පළමුව රියැදුරාගේ බලපත‍්‍රය ඉල්ලා සිටිනු ලැබිණ. අනතුරුව දෙමළ බසින් වේගයෙන් ප‍්‍රශ්න කෙරිණ. ටික වේලාවකින් රියැදුරා යළි රිය වෙත යවා, අපගේ ජාතික හැඳුනුම් පත් රැගෙන එන ලෙස පැවසිණ.
අප රියෙන් බැස අපගේ ජාතික හැඳුනුම් පත් සමග විදේශ ගමන් බලපත‍්‍ර ඉවතට ගෙන අප මාධ්‍යවේදීන් යැයි ප‍්‍රකාශ කළ විට, ඔවුන් පැවසුවේ ‘‘ප‍්‍රදේශයට පිටින් එන පුද්ගලයන්ගෙ තොරතුරු සටහන් කර ගන්න එක සිරිතක්” බව ය.
සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයා සාමාන්‍ය අභ්‍යාස පොතක තොරතුරු සටහන් කර ගත්තේ සිංහල බසින් නමුත් ප‍්‍රශ්න ඇසුවේ දෙමළ බසිනි. ඔහු කවුරුන් දැයි, ඔහු හමුදාවේ කෙනෙකු දැයි, ඔහු ලොග් පොතක නොලියන්නේ මන්දැයි අප විමසූ විට, ‘‘එයා අපි එක්ක ඉන්න කෙනෙක්. එයාට හොඳට දෙමළ පුළුවන් නිසා අපට උදව් වෙනවා” යි නිල ඇඳුමින් සැරසී සිටි සොල්දාදුවෙක් පැවසී ය. ‘‘ඇයි ඔයා අහන්නෙ?” ඔහු ඊළඟට විමසී ය. නිදහස් යැයි දැන් ප‍්‍රකාශයට පත් කර තිබෙන රටක, අනන්‍යතාව පවා තහවුරු නොකරමින් අපගේ තොරතුරු සටහන් කර ගන්නේ කවුරුන් දැයි, කුමක් සඳහා දැයි දැන ගැනීමට අපට අයිතියක් ඇතැයි අප අවධාරණය කළ විට, ඔහු කීවේ ‘‘මේවා සාමාන්‍ය දේවල්” බව යි.
|අභ්‍යන්තර අවතැන් වූවන්ගේ අයිතිවාසිකම් යළි තහවුරු කිරීමේ අවශ්‍යතාව|
කොළඹ පිහිටි සිවිල් නිරීක්ෂණ කොමිසමේ සභාපතිවරයා ද, ක‍්‍රියාකාරිකයෙකු ද, දේශපාලනඥයෙකු ද වන මනෝ ගනේෂන් පැවසුවේ, දැන් මුලතිව්හි සිටින අභ්‍යන්තර අවතැන් වූවන් කණ්ඩායමක් තම උපන් ගම්වල, ඔවුන්ගේ ඉඩම්වල, ඔවුන්ගේ නිවහන්වල යළි පදිංචි කළ යුතුව තිබෙන බව ය.
‘‘එයාලා අවුරුදු ගණනාවක් තිස්සේ තැනින් තැනට යනවා. එයාලට තමුන්ගෙ දේපළ, තමුන්ගෙ ගරුත්වය අහිමි වෙලා. යුද්දෙ ඉවර වෙල අවුරුදු තුනක් වෙනවා. අනික් හැම තැනක ම, මිනිස්සු තමුන්ගෙ මුල් පදිංචි ස්ථානවල යළි පදිංචි කරලා. මේ ගැටලූවට විසඳුම් සෙවිය යුතු යි. මේ අවුරුදු ගණනාවට පස්සෙත්, අවිනිශ්චිතව ආපහු රැඳවීමට ලක් වෙන්න, තැනින් තැනට යන්න එයාලට උවමනාවක් නැහැ. එයාල ආපහු තමුන්ගෙ නිවාසවලට යා යුතු යි,” ගනේෂන් අවධාරණය කළේ ය.
All photos credit by | Dushiyanthini Kanagasabapthipillai.
Very high resolution versions of the photos above available via Flickr and embedded below.
අමතකව ගිය සමූහ මිනීවලවල් හෙවත් නන්දිකඩාල්වල මියගියවුන් සිහිකිරීම
September 19, 2012 by Karapoththa
Filed under end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi
[Editor Note: සාමූහික මතකයන් මෙන්ම, සාමුහික හෘද සාක්ෂිය පිළිබද ඉතිරිව ඇති එකම සිහිවටනයන් වන සොහොන් භූමි බිමට සමතලා කරමින්, ඒ මත විසල් මැදුරැ ගොඩනගමින් එය අමතක කිරීමට බොහෝ යුධකාමී පාලකයන් උත්සහ දැරැවත් එය ඔවුන් සිතනා ලෙස පහසු නොවේ. 2009 වසරේ ලංකාවේ උතුරේ දෙමළ ජනයා මත එල්ලකරන ලද බිහිසුනු පීඩනය හමුවේ සිය හෘදසාක්ෂියත්, මතකයනුත් නන්දිකඩාල් කලපුවේ ගීලී වියැකී යනු ඇතැයි බොහෝ දෙනෙක් සිතූහ. එය එලෙසම විය යුතු යැයි ප්‍රාර්ථනා කළේය. නමුත් එය එසේ නොවන බවට පසක් කරමින් මෙම ලිපිය ‘විකල්ප‘ තුළ පල කරනු ලබන්නේ පශ්චාත් යුධ ලංකාව තුළ ගොඩනගමින් ඇති දේවල් පිළිබදව පුදුමයටත්, භීතියටත් පත්ව ඇති නිසාවෙනි. එසේම උණඩයෙන් තලා දැමූ ඒ මිනිස් අත්මයන්ගේ වේදනාව සමනය කරනවා වෙනුවට සිදුවෙමින් ඇත්තේ ඒ වේදනාවන් නැවත නැවතත් පාරමින්, ඔවුන්ට ඉතිරි වී ඇති සිය සමීපතමයින්ගේ මතකයනුත් ප්‍රචණ්ඩත්වයෙන් සහ සාහසිකත්වයෙන් තලා දමමින් ඇති බැවිනි.]
පසු ගිය සතියේ ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවිය ප‍්‍රකාශයට පත් කළ The end of war in Sri Lanka, captured for posterity by Google Earth (”ගූගල් අර්ත් මතු පරම්පරාව උදෙසා සටහන් කර ගත් ශ‍්‍රී ලංකාවෙහි යුද්ධයේ අවසානය”) වූකලි, ගූගල් අර්ත් ඔස්සේ නිදහසේ පිවිසිය හැකි ඓතිහාසික චන්ද්‍රිකා ඡායාරූප මාර්ගයෙන් ශ‍්‍රී ලංකාවෙහි යුද්ධයේ අවසානය දෙස හෙළු පළමු බැල්ම යි. උනන්දුව දක්වන ක්ෂේත‍්‍ර සහ ඓතිහාසික ස්ථාන සුපිරික්සීමට සහ ඒවා පිළිබඳව අනෙකුන් අවදි කිරීමට ගූගල් අර්ත් භාවිත කරන්නන් වෙත කෙරුණු විවෘත ආරාධනාවක් වන මෙම ලිපිය, ශ‍්‍රී ලංකාවෙහි යුද්ධයේ අතිදරුණු අවසන් සති පිළිබඳව සිදු වන සාකච්ඡාව ශක්තිමත් කිරීමට හේතු විය හැකි ය. මෙම කාල පරිච්ඡේදය ආශ‍්‍රිතව නන්දිකඩල් ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගන්නා ඡායාරූපවල ස්වභාවය පදනම් කර ගෙන, ලිපිය නිශ්චිතව මෙසේ සඳහන් කරයි:
(1) ඇතැම් ඓතිහාසික ඡායාරූපවල ගුණාත්මක භාවය(ඇතැම් විට අතිවිශාල ප‍්‍රදේශ වසා ගත් පුළුල් වලා පටල දිස් වෙයි) සහ (2) පවත්නා ඓතිහාසික ඡායාරූප අතර තිබෙන විශාල පරතර(මාර්තු මැද, මැයි අග, නිල වශයෙන් යුද්ධය අවසන් කිරීමෙන් සහ එල්ටීටීඊ නායකයා ඝාතනය කිරීමෙන් පසු, අනතුරුව ජූනි මැද සහ අගෝස්තු මුල) හේතු කොට ගෙන ගූගල් මැප්ස් සහ ගූගල් අර්ත් කෙනෙකුට ලබා නොදෙන යමක් වේ ද, එය නම් යම් ප‍්‍රදේශයකට ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල වූයේ කවදා ද යන්න සහ වඩා වැදගත් කරුණ වන ඒවා එල්ල කළේ කවුරුන් ද යන්න පිළිබඳව කවර හෝ ප‍්‍රබල විශ්ලේෂණයක් කිරීමේ හැකියාව යි.
Facebook, Twitter සහ Email හරහා පුළුල් ලෙස බෙදාහදා ගැනුණු මෙම ලිපියෙන් පැහැදිලිව ඇඟවුණේ, ශ‍්‍රී ලංකාවේ යුද්ධයේ අවසානය පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු සඳහා අද දවසේ යොදා ගත හැකි හොඳ ම මූලාශ‍්‍රය ගූගල් අර්ත් බව යි. ගූගල් සර්වර ඔස්සේ පිවිසිය හැකි ඡායාරූප අනෙක් මූලාශ‍්‍රවලින් ලබා ගත නොහැකි ය, නොහොත් අන්තර්ජාලය තුළ අන් තැනක සංරක්ෂණය කොට නැත.
පෙර ලිපියෙන් අධ්‍යයනය කරන ලද්දේ 2009 මාර්තු සහ මැයි අතරතුර යුද්ධයේ අවසන් අදියරේ දී සිදු වුණු විනාශයේ සහ මානව අවතැන් වීමේ සැබෑ පරිමාණය සහ තරම පිළිබඳව වුවත්, මෙහි ලා අවධානය යොමු කෙරෙන්නේ ඊනියා සිවිල් ආරක්ෂක කලාප(CSZs) තුළ සහ ඒ ආශ‍්‍රිතව පිහිටි මහා සොහොන් බිම් පිළිබඳව යි. අපගේ පළමු ලිපිය, ප‍්‍රධාන යුනොසැට්(UNOSAT) වාර්තා දෙකක් මත පදනම් විය. වත්මන් අධ්‍යයනය පදනම් වන්නේ, 2009 අගෝස්තු මස ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ(AAAS) විද්‍යාත්මක වගකීම, මානව හිමිකම් සහ නීතිය පිළිබඳ වැඩ සටහනෙන් ඉදිරිපත් වුණු High-Resolution Satellite Imagery and the Conflict in Sri Lanka(”ඉහළ විභේදනයකින් යුත් චන්ද්‍රිකා ඡායාරූප සහ ශ‍්‍රී ලංකාවෙහි ගැටුම”) නමැති වාර්තාව මත ය. යුනොසැට් වාර්තාව මෙන් ම – හියුමන් රයිට්ස් වොච්හි සහ ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ නියමයෙන් කෙරුණු – AAAS අධ්‍යයනය ද, ප‍්‍රසිද්ධ කළ පසුව නිල හෙළා දැකීමකට සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රතිවිශ්ලේෂණයකට මුහුණ දුන්නේ ය. ඒ සඳහා බොහෝ දුරට පදනම් කර ගැනුණේ, ෂෙල් ප‍්‍රහාර පිළිබඳ ප‍්‍රබල ඇඟවුම් වන 2009 මැයි 6 සහ 10 අතරතුර සිවිල් ආරක්ෂක කලාප තුළ අභ්‍යන්තර අවතැන් වූවන් රැඳී සිටි වාසස්ථාන ඉවත් කිරීම කෙරෙහි ද, වඩාත් ම මතභේදකාරී කරුණ වන බර කාලතුවක්කු යොදා ගත් මෙම ෂෙල් ප‍්‍රහාර එල්ල වූයේ කොහි සිට ද යන්න විභාග කිරීමට තුඩු දුන් නිකුත් වීමේ රටාවන් කෙරෙහි ද අවධානය යොමු කළ කොටස් ය.
මෙම ලිපිය, බෙහෙවින් භාවාත්මක සහ බරපතළ ලෙස විවාදයට බඳුන් වන මෙම පැතිකඩවල් පිළිබඳව අවධානය යොමු නො කරයි.
ඒ වෙනුවට මෙම ලිපිය අවධානය යොමු කරනුයේ, සිය වාර්තාවට ඈඳා AAAS නිකුත් කළ ගූගල් අර්ත් ස්තරයක් ඔස්සේ ලබා ගත හැකි, 2009 මැයි 6 දා සහ යළි 10 දා නන්දිකඩල් ප‍්‍රදේශය විමසා බලන ඡායාරූප පිළිබඳව යි. ගූගල් අර්ත් ද, යුද්ධය නිල වශයෙන් අවසන් කිරීමෙන් දින කිහිපයකට පසු එළඹි 2009/5/24 දා සිට 2011 අගෝස්තු 10 දා දක්වා ඡායාරූප විදහා දක්වයි. මැක් පරිගණක සඳහා වන Kaleidoscope නමින් හැඳින්වෙන වැඩ සටහන යොදා ගෙන ඡායාරූප අතර පවත්නා වෙනස්කම් පිළිබඳව සරල විශ්ලේෂණයක් කරන මෙම අධ්‍යයනය, පළමුව AAAS විසින් හඳුනා ගැනුණු මහා සොහොන් බිම් කාලයත් සමග වෙනස් වී තිබෙන ආකාරය විමසා බලයි.
මෙම අධ්‍යයනයේ දී සලකා බැලෙන සාමාන්‍ය වපසරිය වනුයේ, පහත අළු පැහැයෙන් ඉස්මතු කර දක්වා ඇති, උතුරින් පුදුමාතලන් සහ දකුණින් මුලතිව් අතරෙහි, කලපුවට සහ මුහුදට මැදි වන සේ පිහිටි දිගු බිම් තීරුව යි.
AAASහි ගූගල් අර්ත් ස්තරය ද විමසා බලනුයේ මෙම ප‍්‍රදේශය ම වන අතර, එය පාදක සිතියම් ස්තරය මත අතුරන ලද විශ්ලේෂණාත්මක ඓතිහාසික ස්ථාන ගණනාවක් විදහා පායි. ස්තරය මත තිබෙන උනන්දුව දනවන ලක්ෂ්‍ය සියල්ල, එනම් මෙහි අධ්‍යයනයට ලක් වන විෂය වන සොහොන් බිම් පිහිටි ස්ථාන පමණක් බව සැලකිල්ලට ගන්න.
Click here for larger image.
AAAS විසින් හඳුනා ගැනුණු පළමු සොහොන් අඩවිය පිහිටා තිබෙන්නේ, මුලතිව් සිටි පුදුකුඩිඉරිප්පු වෙත දිවෙන ඒ-35 මාර්ගයෙන් මීටර් 350ක් පමණ දුරින්, 9 18′ 31.66″ N 80 47′ 09.42″ E ඛණ්ඩාංකවල ය. 9 18′ 31.66″ N 80 47′ 09.42″ වාර්තාව සඳහන් කරන පරිදි,
”මැයි 6 දා වන විට, අභ්‍යන්තර අවතැන් වූවන්ගේ වාසස්ථාන යැයි සිතිය හැකි ඉදි කිරීම් ගණනාවක් ද, භූමදාන කිරීම් 195ක් පමණ තිබිණැයි සැලකෙන (රතු වර්ණයෙන් පිට මායිම දැක්වෙන) සොහොන් බිමක් ද පැවතිණ. මැයි 10 දා වන විට, සොහොන් බිම සැලකිය යුතු ලෙස පුළුල් කොට ඇත. මැයි 24 දා වන විට, වීදිය හරහා වැටුණු ප‍්‍රදේශයක් එළි පෙහෙළි කොට එය ද භූමදාන කිරීම් සඳහා යොදා ගෙන තිබෙන අතර, මෙම ස්ථානයෙහි මුළු සොහොන් සංඛ්‍යාව (තක්සේරු කර ඇති පරිදි) 342ක් දක්වා ඉහළ නැග ඇත.”
Graveyard 1 – Between 6 and 10 May from Centre for Policy Alternatives on Vimeo.
දින හතරක් තුළ සොහොන් බිම පුළුල් වුණු ආකාරය ඉහත විඩියෝ පටයෙන් පැහැදිලි වේ – වඩා තද වර්ණයෙන් දැක්වෙන ස්තරය මැයි 6 දා සිට වන අතර, වඩා ළා වර්ණයෙන් දැක්වෙන ස්තරය මැයි 10 දා සිට ය. විශ්ලේෂණය සඳහා ඉහත දී යොදා ගෙන තිබෙන ඉහළ විභේදනයක් සහිත ඡායාරූප මෙතැනින් (මැයි 06) සහ මෙතැනින් (මැයි 10) බාගත කර ගත හැකි ය. 2011 අගෝස්තු මාසය දක්වා වන ඓතිහාසික ඡායාරූප සහිතව ගූගල් අර්ත් අප වෙත සපයනුයේ, යුද්ධය අවසන් වීමෙන් පසු වසරවල දී මෙම සොහොන් බිම වෙනස් වී ඇති ආකාරය පළමු වතාවට දැක ගැනීමට අවස්ථාවකි.
Site of graveyard in Nandikadal – May 2009 to August 2011 from Centre for Policy Alternatives on Vimeo.
ඉහත විඩියෝ පටයෙහි යොදා ගෙන තිබෙන ඉහළ අගයක් සහිත ඡායාරූප දෙක, ගූගල් අර්ත් වෙතින් මෙතැනින් (2009 මැයි) සහ මෙතැනින් (2011 අගෝස්තු) ලබා ගන්න. ප‍්‍රදේශයෙහි සිදුව ඇති වෙනස පැහැදිලි ය – යුද්ධය අවසන් වීමෙන් වසර තුනකට පසුව සෑම සොහොනක ම පස් ගොඩනැගිලි අතුරුදන්ව තිබෙන අතර, අඩවියේ තැනින් තැන ලඳු කැළෑ වෙයි. අතීත ඡායාරූප ඇසුරු නොකර 2011 වසරේ ඡායාරූප පමණක් විමසා බැලීමෙන්, මෙය සිය ගණනකගේ සොහොන් බිමක් බව තීරණය කළ නොහැකි ය.
AAASහි ගූගල් අර්ත් ස්තරයේ / වාර්තාවෙහි ඇතුළත් වන, 9 19′ 52.62″ N 80 45′ 40.13″ E ඛණ්ඩාංකවල පිහිටි දෙවන උදාහරණය සම්බන්ධයෙන් ද මෙය සත්‍ය ය. AAAS වාර්තාව සඳහන් කරන පරිදි,
”මෙම අධ්‍යයනයේ දී හඳුනා ගැනෙන දෙවන සොහොන් බිම පිහිටියේ, කලින් විස්තර කෙරුණු ස්ථානයෙන් කිලෝමීටර 3.6ක් පමණ වයඹට වන්නට ය. සොහොන්වල සැලැස්ම, සමාන පරතරයකින් යුතු පේළිවලින් සහ තීරුවලින් යුතු කලින් අඩවියට බෙහෙවින් සමාන විය. කෙසේ වුව ද, හත් වන රූප සටහනෙහි දැක්වෙන පරිදි, එහි පරිමාණය පළමු වැන්නට වඩා බෙහෙවින් විශාල ය. මැයි 6 දා ඡායාරූපවලින් පළමු වරට හඳුනා ගැනුණු මෙම අඩවිය, තක්සේරු කර ඇති පරිදි, එදිනට සොහොන් 960කින් සමන්විත ය. මෙම සොහොන් බිම, පළමු අඩවිය මෙන් නො ව, මැයි 6 දා සහ මැයි 10 දා අතරතුර දී හෝ මැයි 10 දා සහ මැයි 24 දා අතරතුර දී වර්ධනය වුණු බවට කිසිදු ලකුණක් ප‍්‍රකට නො කරයි. මෙම අඩවිය පිළිබඳ එක් සැලකිය යුතු ලක්ෂණයක් නම්, මාධ්‍ය වාර්තාකරණයේ දී එය එල්ටීටීඊයට අයත් අඩවියක් ලෙස හඳුනා ගැනීම යි. මෙම ප‍්‍රකාශය සනාථ කිරීම සඳහා AAAS සන්තකව කිසිදු ක‍්‍රමයක් නොමැති නමුත්, මෙම අඩවිය සහ දකුණට වන්නට පිහිටි පෙර සොහොන් බිම අතර පවත්නා සමානකම්වලින් ඇඟවෙනුයේ ඒවා එක වර ඇරඹෙන්නට ඇති බව ය.
අපට දැන් ගූගල් අර්ත්හි දැක ගත හැකි වන දෙය, AAASහි මෙම විශ්ලේෂණයට සම්මාදම් වෙයි. උදාහරණයක් ලෙස, මැයි 6 දා සහ මැයි 10 දා අතරතුර හෝ මැයි 10 දා සහ මැයි 24 දා අතරතුර වර්ධනයක් නොපවතින නමුත්, 2009/3/16 සහ 2009/5/24 අතරතුර සැලකිය යුතු වර්ධනයක් පවතී.”
Site of graveyard 2 in Nandikadal – March to May 2009 from Centre for Policy Alternatives on Vimeo.
ඉහළ අගයක් සහිත ඡායාරූප මෙතැනින්(2009 මාර්තු) සහ මෙතැනින්(2009 මැයි) ලබා ගන්න. ඉහත විඩියෝ පටයෙහි ඇතුළත් වඩා කොළ පැහැයෙන් යුතු ඡායාරූපය මාර්තු මාසයේ වන අතර, ඉන් පෙන්නුම් කෙරෙනුයේ 2009 මැයි අග ඡායාරූපයෙන් හසු කර ගැනෙන සොහොන් බිමට වඩා කුඩා බිම් කැබැල්ලකි. ගූගල් අර්ත්හි මිනුම් මෙවලම යොදා ගනිමින් මනින විට, මැයි මාසයේ දී බිම් කැබැල්ලේ වර්ග ඵලය මීටර 65 × මීටර 89ක් පමණ වේ. මාර්තු මාසයේ දී මෙය මීටර 27 × මීටර 35ක් පමණ විය.
අද දින සොහොන් බිමේ පෙනුම මෙවැනි ය.
ඉහළ අගයක් සහිත ඡායාරූපය මෙතැනින් ලබා ගන්න. මෙය 2009 මැයි මාසයේ දී එය දිස් වුණු ආකාරය සමග සසඳන්න.
ඉහළ අගයක් සහිත ඡායාරූපය මෙතැනින් ලබා ගන්න. නැවතත්, 2011 වසරේ ඡායාරූප පමණක් විමසා බැලීමෙන්, 9 19′ 52.62″ N 80 45′ 40.13″ E. ඛණ්ඩාංකවල විශාල සොහොන් බිමක් තිබුණු බව අනුමාන කිරීමට පවා නොහැකි ය.
Site of graveyard 2 in Nandikadal – May 2009 to August 2011 from Centre for Policy Alternatives on Vimeo.
AAAS වාර්තාවේ අවසන් උදාහරණය ලැබෙනුයේ, from 9 21′ 29.10″ N 80 43′ 59.18″ E. ඛණ්ඩාංකවලිනි. වාර්තාව සඳහන් කරන පරිදි,
”මෙම අධ්‍යයනයෙන් විශ්ලේෂණය කෙරෙන අවසන් සොහොන් බිම පිහිටා තිබුණේ දෙවන සොහොන් බිමෙන් කිලෝමීටර 4.3ක් වයඹට වන්නට සහ ඉහත විස්තර කරන ලද පළමු සොහොන් බිමෙන් කිලෝමීටර 8ක් පමණ වයඹට වන්නට ය. මාධ්‍ය වාර්තාවල දී සිවිල් වැසියන් උදෙසා යොදා ගත් සුසාන භූමියක් ලෙස හඳුනා ගැනුණු මෙම ස්ථානය, සංවිධානය වී තිබෙන ආකාරය සහ ප‍්‍රමාණය අතින් අනෙක් ස්ථානවලින් සැලකිය යුතු ලෙස වෙනස් විය. කලින් අඩවි දෙකේ පැවති නොවෙනස් රටාවට වෙනස් මෙම ප‍්‍රදේශයේ සැලැස්ම විධිමත් බවින් අඩු විය. හත් වන රූප සටහනෙහි පෙන්නුම් කර ඇති පරිදි, වළ දැමීම් කළ ස්ථාන මත පිහිටි පැහැදිලි පස් ගොඩැලි ප‍්‍රදේශය පුරා පැතිරී තිබිණ. මෙම එක් එක් පස් ගොඩැල්ලේ හැඩය ද පෙර අඩවිවල දීට වඩා විධිමත් බවින් අඩු වුණු බැවින්, පවත්නා ඡායාරූපය තුළ ඒවා හඳුනා ගැනීම දුෂ්කර වෙයි. මැයි 6 දා මෙම අඩවිය තුළ භූමදාන කිරීම් 44ක් හඳුනා ගැනුණු අතර, මැයි 6, මැයි 10 සහ මැයි 24 අතරතුර දී කිසිදු වෙනසක් නිරීක්ෂණය නොවී ය. යළිදු, මෙම අඩවියේ අවිධිමත් බව නිසා සොහොන් ගණන් කිරීම ඉතා දුෂ්කර වන අතර, ඡායාරූපය තුළ පවත්නා බොහෝ සොහොන් දෘශ්‍යමාන නොවන බව නිසැක ය.”
2009 මැයි අග දී මෙම සොහොන් බිමේ පෙනුම මෙවැනි ය.
ඉහළ අගයක් සහිත ඡායාරූපය මෙතැනින් ලබා ගන්න.
2011 අගෝස්තුවේ දී එහි පෙනුම මෙවැනි ය.
ඉහළ අගයක් සහිත ඡායාරූපය මෙතැනින් ලබා ගන්න. මෙම ගූගල් අර්ත් ඡායාරූපයේ සොහොන් බිම හසු කර ගන්නා වම් පැත්ත, ඡායාරූපයේ දකුණු පැත්තට වඩා ඉහළ අගයකින් යුක්ත ය. මෙය ගූගල් අර්ත්හි පාදක සිතියම් දත්ත තුළ පවත්නා වෙනස්කම් නිසා සිදු වූවකි. කෙසේ වුව ද, ස්වභාව ධර්මය සොහොන් බිම මුළුමනින් ම අරක් ගෙන ඇති බව ඉතා පැහැදිලි ය.
Site of graveyard 3 in Nandikadal – May 2009 to August 2011 from Centre for Policy Alternatives on Vimeo.
මෙම සොහොන් බිම් පිළිබඳ විශ්ලේෂණයෙහි තවත් පැතිකඩක් වෙයි. 2009 දී යුද්ධයේ අවසන් සති චණ්ඩ ලෙස ගෙවී ගිය ප‍්‍රදේශ වෙත දැන් ශ‍්‍රී ලංකාවේ ඕනෑ ම කෙනෙකුට මෙන් ම විදේශීය සංචාරකයන්ට ද පිවිසිය හැකි ය. බීබීසීයේ චාල්ස් හැවිලන්ඞ් මෑතක දී ද මෙම වසර මුල දී Economist සඟරාවේ පළ වුණු මෙම ලිපියෙහි ද සටහන් කොට ඇති පරිදි, සංචාරක කණ්ඩායම් දහස් ගණනක් මෙම ප‍්‍රදේශවල චාරිකා කර ඇත. බීබීසී වාර්තාව සඳහන් කරන පරිදි, කලින් ළඟා විය නොහැකි වුණු බොහෝ අඩවි දැන් අනිවාර්යයෙන් ම දැක ගත යුතු ආකර්ෂණීය ස්ථාන බවට පත්ව ඇත.
එහෙත්, මෙම ප‍්‍රදේශයෙහි සිදුව තිබෙන ප‍්‍රකට විනාශය ඡායාරූප ගැනීම සඳහා බොහෝ අවස්ථාවන් සම්පාදනය කළ ද, දැන් තණ ගොඩැලිවලින්, කැකිල්ල සහ නොමේරූ ගසින් ඇත්තට ම වැසී ගොස් තිබෙනුයේ යුද්ධයේ සැබෑ, සැඟවුණු පිරිවැය වීම උත්ප‍්‍රාසයට කරුණකි. උදාහරණයක් ලෙස, පරිශීලකයන්ට භූමියට ඈඳා ඡායාරූප පැටවුම්ගත කළ හැකි විශාල ඡායාරූප සත්කාරක අඩවියක් වන පැනොරාමියෝ වැන්නක දී මෙය පැහැදිලිව දැකිය හැකි ය. මෙය ලියන අවස්ථාව වන විට, නන්දිකඩාල් ප‍්‍රදේශය Panoramioහි දිස් වූයේ මේ ආකාරයෙනි.
වඩා විශාල ඡායාරූපයක් ලබා ගැනීමට නම් මෙහි Clik කරන්න, නැත් නම් මෙතැනින් සජීවී අඩවිය වෙත පිවිසෙන්න. යුද්ධයේ සුන්බුන්වල දුර දර්ශන ඔස්සේ මෙහි පිළිබිඹු කෙරෙනුයේ දසුන් නැරඹිය හැකි රටාවකි. වසර කිහිපයකට පෙර එල්ටීටීඊයෙන් ග‍්‍රහණයට ගැනුණු ෆර්හා Farha III නැවේ නටබුන් ආශ‍්‍රිතව අන් කවර හෝ ස්ථානයකට වඩා විශාල ඡායාරූප සංඛ්‍යාවක් කේන්ද්‍රගත වී තිබෙනු ඔබට පෙනේ. සෑම ඡායාරූපයක් ම භූමියෙහි සිදුව ඇති විනාශය හසු කර ගනී. එක් ඡායාරූපයක් ගෙන ඇත්තේ AAAS විසින් හඳුනා ගැනුණු විශාල සොහොන් බිමකට නුදුරේ සිට වීම උත්ප‍්‍රාසාත්මක ය. මෙම ප‍්‍රදේශය හාත්පස ඇවිද ඇති බොහෝ දෙනාගේ පයට පෑගුණේ, 2011 තරම් කලින් ම ස්වභාව ධර්මය සිය ගමන ගොස් තිබුණු බැවින් සැඟවී ගිය සොහොන් ය.
ගූගල් අර්ත් ඡායාරූප වූකලි යුද්ධයේ මානව පිරිවැය පිළිබඳ අසමසම වූත් දුක්මුසු වූත් සිහි කිරීමකි. යන්තම් වසර තුනක් ගෙවෙද්දී ස්වභාව ධර්මය සොහොන් බිම් වැළඳ ගෙන ඇති සැටි ගූගල් අර්ත් දැනටමත් සටහන් කර ඇත. මෙතැන් සිට වසර පහක්, දහයක්, පහළොවක් ගත වන විට, මෙම ප‍්‍රදේශවල සිදු වන නව සංවර්ධනය සහ යුද සුන්බුන් ඉවත් කිරීම සමග, මෙම සොහොන් බිම් සහ ඉතිරි පහදු සුන්බුන් කුමක් බවට පත් වනු ඇද්ද යනු සිතා ගැනීම දුෂ්කර ය. ඒවා දැනට මත් පොදු හෘද සාක්ෂියෙන් මකා දමා ඇත. වාර්තාව සැකසීමට නියම කළ AAAS සහ මානව හිමිකම් සංවිධාන ඇතුළු දේශීය හෝ ජාත්‍යන්තර කිසිම මාධ්‍යයක්, පශ්චාත් යුද සමයේ දී ඒවා කෙරෙහි අවධානය යොමු කර නැත. ඒවා සැබවින් ම අදෘශ්‍යමාන ය, අමතකව ගොස් ය.
අප නන්දිකඩල්හි මියගිය සහ වැළ ලූ අය සිහි කරන්නේ සහ සිහි කළ යුත්තේ කෙසේ ද? ඒවා කාගේ සොහොන් ද, එය ගැටලූවක් කරගත යුතු ද? ඔවුන් සිහි කිරීමට සුදුසු ද? ආණ්ඩුව, අතීතයේ දී කළාක් මෙන් ම, මෙම සොහොන් බිම් මත ඉදිකිරීම් කරනු ඇත් ද? මිය ගිය අයට මූලික ගෞරවය පමණක් දැක්වූ මෙම අඩවි, අමාරුවෙන් ඒවා මතින් ඇවිද යන සංචාරකයන්ගෙන් සහ ස්වභාව ධර්මයෙන් ආරක්ෂා කිරීම සුදුසු ද? නන්දිකඩල්හි දී සහ ඒ හාත්පස දී මිය ගියවුන් ස්මරණය කිරීම සහ ඔවුන්ට ගෞරව කිරීම, වඩා අර්ථාන්විත පශ්චාත් යුද ප‍්‍රතිසන්ධානයකට සහ සමාදානයකට දායක විය හැකි ද? යුද වැදුණු රටක් පිළිබඳව සිහි කිරීමට තරම් නොමේරූ වයසේ පසු වන වාසනාවන්තයන්ට එහි මානව පිරිවැය සහ ප‍්‍රචණ්ඩත්වය පෙන්නුම් කරනු පිණිස, පාසල් තම ඉගැන්වීම්වල දී ගූගල් අර්ත්හි විදහා පා ඇති මෙම ඡායාරූප ප‍්‍රයෝජනයට ගත යුතු ද?
එල්ටීටීඊයට අයත් සොහොන් බිම් විනාශ කිරීම පිළිබඳව ලියමින් තීරු ලිපි රචක විහඟ පෙරේරා 2012 ජුලි මාසයේ සඳහන් කළේ,
… මහනුවර පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමියට මෑතක දී ගිය අවස්ථාවේ, ස්මාරක ඵලක සහ සොහොන් ගෙවල් විනාශ කිරීම යළි මගේ මතකයට ආවේ ය. මෙම සුසාන භූමිය වූකලි ග‍්‍රිනිච්හි පිහිටි, II වන ලෝක යුද්ධයේ දී ශ‍්‍රී ලංකාවෙහි(එකල ලංකාවෙහි) දී මිය ගිය අය උදෙසා තැනූ ස්මාරක ඵලක 200ක් පමණ සතු පොදු රාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමි කවුන්සිලයට සම්පාදනය කරන ලදුව ඉන් නඩත්තු වන බිම්කඩකි. මෙම සැකැස්මේ වැදගත්කම වනුයේ, මෙම ස්මාරක සොහොන් මිත‍්‍ර පාක්ෂික මෙන් ම සන්ධාන හමුදා භටයන්ට ද අයත් ඒවා වීම යි. සන්ධාන හමුදා භටයන්ට අයත් සොහොන් කැප කර ඇත්තේ, විශේෂයෙන් ම අසාර්ථක නිවුන් ගුවන් ප‍්‍රහාර දෙකේ දී මිය ගිය ඉතාලි සහ ජපාන නිලධාරීන් සිහි කරනු පිණිස බව සිතිය හැකි ය. සොහොන් ඵලකවලින් ජාතිකත්වය, ජයග‍්‍රහණය හෝ පරාජය ප‍්‍රකාශයට පත් නොවීම වඩා සිත් ගන්නාසුලූ දෙයකි. මිය ගියවුන් මිහිදන් කොට එක සමානව ස්මරණය කරනු ලැබේ. සතුරු කඳවුරුවල සිටි අනෙකාට එරෙහිව සටන් වැදුණවුන් ස්මරණය කෙරෙනුයේ එකිනෙකට අසල්වැසි බිම්කඩවල ය.
ස්මාරක, ශාන්ත මෙන් ම ගම්භිර ද වේ. නොමනා විභූෂණයෙන් නොහොත් පමණට වැඩි අලංකරණයෙන් තොර මනා සාවධාන බවකින් යුතු සැකැස්ම, යුද්ධය සමස්තයක් ලෙස ජයග‍්‍රාහකයා සහ පරාජකයා යන දෙදෙනා මත ම නින්නාද නංවන නිස්සාරත්වය සහ කරුණාව කියා පායි. එබැවින්, අනුස්මරණය යන්න ”පරාජිතයා” අමානුෂික ලෙස හෙළා දැකීමක් වත්, ප‍්‍රදේශවාදී ජාතිකවාදය පිළිබඳව කෙරෙන අන්ධ දේශානුරාගී හඬ තැළීමක් වත් නොවන්නේ ය. එම සුසාන භූමියේ දී, යුද්ධයෙන් මිය ගිය තැනැත්තේ, මිනිසෙක් ද අභිමානයෙන් ද යුතු අයෙක් ද වන්නේ ය…
පශ්චාත් යුද සමයේ දී ශ‍්‍රී ලංකා භූමිය මත එහි මෙහි ගොඩ නැගෙමින් පවත්නා දෑ පිළිබඳව අපි බොහෝ දෙනෙක් මවිතයට පත්ව සිටිමු. එහෙත්, මාධ්‍යවේදියෙකු සහ මනෝ විද්‍යාඥයෙකු වන ඩැනියෙල් ගෝල්මන් සඳහන් කරනුයේ, ”වළලා දැමූ අසුන්දරත්වයේ බරින් සමාජයන් ගිලී යා හැකි” බව ය. අප ශ‍්‍රී ලංකාවේ උතුරෙහි තිබෙන දෙමළ ජාතිකයන්ගේ මෙම සොහොන් ස්මරණය කිරීමට තෝරා ගන්නා ක‍්‍රමය, ප‍්‍රතිසන්ධානය පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක් හෝ වාර්ගික ගැටුම අඛණ්ඩව අවුලූවන ගිනි අඟුරක් විය හැකි ය.
[උපුටා ගැනීම- ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවියේ Sri Lanka’s forgotten mass graves: Google Earth and remembering the dead in Nandikadal ලිපියෙනි]
[@VIKALPA]
ජාතිය ගොඩනැගීම පැහැර හැරි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය
May 26, 2012 by Karapoththa
Filed under සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation
[1970-72 පළමු ජනරජ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කෙටි සටහනක්]
1948 පෙබවාරි 4 වන දින අප රටට ලැබුණ ඩොමීනියන් තත්ත්වය පරිපූර්ණ නිදහසක් නොවූ බැවින් එම නිදහස මූලික නීතිමය ලියවිල්ල වූ 1946 ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා නිදහස්) රාජ්‍ය සභා ආඥාව, එකී ව්‍යවස්ථාව යටතේම ඇති ප්‍රතිපාදන යටතේ සංශෝධනය කරමින් පූර්ණ නිදහසක් කරා යාම මුල්කාලින අභිප්‍රාය වුවද, පසුව මහජන නියොජිතයන්ගේ අදහස වූයේ පූර්ණ නිදහසක් සහිත ජනරජයක් බිහිකිරීම ව්‍යවස්ථා විප්ලවයක් හරහා සිදුකල යුතු බවයි.
ඒ අනුව 1970 මැතිවරණයේ සමගි පෙරමුණේ ප්‍රධානතම මැතිවරණ පොරොන්දුව වූයේ පූර්ණ නිදහසක් සහිත ජනරජයක් පිහිටුවන බවයි. සමගි පෙරමුණුට 2/3 කට වඩා බහුතර බලයක් ලැබුණ අතර එවකට පැවති නියෝජිත මංත්‍රී මණ්ඩලයේදී ආණ්ඩු පක්‍ෂය විසින් ජනරජ ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩයක් ගෙන ඒමට යෝජනා සම්මතයක් ගෙන ආ අතර එය ඒකමතිකව සම්මතවිය.
එමෙන්ම එකල පැවති උත්තර මණ්ඩලය වූ සෙනට් සභාව ද නියෝජිත මංත්‍රී මණඩලයේ මෙම යෝජනාව සම්මත කරනු ලැබීය.(මෙම සෙනට් සභාව නියෝජිත මංත්‍රි මණඩලය විසින් සෝල්බරි ව්‍යවස්ථාවට ගෙන එන ලද 8වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව 1971 ඔක්තෝබර් 2 වන දින සිට අහෝසිවිය).
1970 ජූලි මස 19 වන ඉරුදින කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලට නියෝජිත මංත්‍රි මණ්ඩලයේ සාමාජිකයන් රැස්වූයේ මංත්‍රිවරුන් ලෙස නොව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් ලෙසය. පාර්ලිමේන්තුවෙන් පිටත සිදුකරන ව්‍යවස්ථා සම්පාදක කාර්යය සංඛේතවත් කිරීම සදහා මෙම මංගල රැස්වීම හා 1970 මැයි 22 පැවති අවසන් රැස්වීම මෙසේ නව රඟහලෙහි පවත්වන ලදී. 1970 ජූලි 19 වන දින ආරම්භ කරන ලද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සමාරම්භක රැස්වීම ජූලි 20 හා 21 දිනවල දී ද පැවැත්විනි.
එහිදි ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත්කිරීමේ යෝජනාව සම්මත කිරීම නිළධාරීන් පත් කිරීම ආදී කටයුතු සිදුකරන ලදී. නියෝජිත මංත්‍රි මණ්ඩලයේ කථානායකවරයා වූ ස්ටැන්ලි තිලකරත්න මහතා මෙහි සභාපති ලෙස පත්විය. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වඩා ක්‍රියාකාරී කටයුතු ආරම්භවන්නේ, 1970 ජූලි මස 29 වන දින සිටය. එහිදී පළමුව සම්පාදක මණ්ඩලය කටයුතු කිරිමේ නීතිමය රාමුව වන ස්ථාවර නියෝග සම්මත කරගැනීම සිදුකරන ලදී. මෙම ස්ථාවර නියෝග කෙටුම්පත අවශ්‍ය සංශෝධන සහිතව සම්මත කරගැනිමට දින කිහිපයක්ම ගත විය.
මේ අතරතුරු මෙම සම්පාදක මණ්ඩලයේ ඉතාමත් ක්‍රියාකාරී කමිටුව වූ මෙහෙයුම් හා වීෂය කාරක සභාව සිය රැස්වීම් 1970 අගෝස්තු 28 වන දින සිට ආරම්භ කරන ලදී. එහි සභාපතීත්වය හොබවන ලද්දේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය කොල්වින් ආර් සිල්වා මහතා විසිනි. සැබවින්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ මූලක ක්‍රියාවළිය සිදුවන ලද්දේ මෙම කාරක සභාව තුලය. 1971 ජනවාරි මස 17 වන දින ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය කොල්වින් ආර්. සිල්වා මහතා විසින් මෙම කමමිටුව වෙත මූලික යෝජනා කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය ප්‍රසිද්ධ කරන ලදි. පසුව සංශෝධන සහිතව මෙහෙයුම් හා විෂය කාරක සභාව විසින් සම්මත කරන ලද මෙම, මූලික යෝජනාවලිය 1971 මාර්තු මස 14 වනදින ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව යෝජනා 38කින් සමන්විත එම මූලික යෝජනාව සදහා විවෘතව අදහස් හා සංශෝධන ලබාගන්නා ලදී.
ව්‍යවස්ථා කෙටුම්පත්කරණයේ උණුසුම්ම හා වැදගත්ම අවස්ථාව උදාවන්නේ මෙම මූලික යෝජනා කෙටුම්පතට ලැබුන සංශෝධන පිළිබඳ විවාද කරන ලද දින කිහිපයයි. මේ පිළිබද විවාදය 1971 මාර්තු 14වන දින 1971 වන දින සිට ඔක්තොබර් 10 දින දක්වා දින 27කදී සිදුකරන ලදී. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජන රජය(මූලික යෝජනා 1හා 2), බුද්ධාගම(මූලික යෝජනා 3) හා රාජ්‍ය භාෂාව(මූලික යෝජනා 12) යන මූලික යෝජනාවන් සදහා පිළිබඳ විවාදයන් හි දී ඉලංකෙයි තමිල් අරසු කච්චි(පෙඩරල් පක්‍ෂයේ) ප්‍රතිවිරුද්ධ යෝජනා බෙහෙවින් වෙනස් ස්ථාවරයක් ගන්නා ලදී.
උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා ජනරජය ඒකීය ජන රජයක් විය යුතුය යන මූලික යෝජනා කෙටුම්පතට එම පක්‍ෂය ගෙන ආ යෝජනාවේ වූයේ, ඒකීය යන්න වෙනුවට පෙඩරල් යන්න ඇතුලත් විය යුතු බවයි. නමුත් මේ පිළිබඳව වු විවාදයේදී මෙම අදහසට දැඩි ලෙස ආණ්ඩු පක්‍ෂයෙන් විරෝධතා එල්ලවිය.
මෙම කරුණ පිළිබඳ විවාදයේදී උඩුවිල් මංත්‍රි ධර්මලිංගම් මහතා දින දෙකක් කථා කරමින් ඒකීය ලංකාවක් තුල ද්‍රවිඩ ජනතාව මුහුණදෙන අභියෝග පිළිබඳ අවධානය යොමුකරන ලදී.
තුන්වන හා දොලොස්වන මූලික යෝජ්නා පිළිබඳ විවාදයන් ද මෙලෙසම උණුසුම් විය.
නමුත් යෝජනා කෙටුම්පතෙහි එකී පරිච්ඡේදයන් හි වූ සුළු ජනවර්ගයන්ගේ සිත් රිදවන ලක්‍ෂණ එකක් හෝ සංශෝධනය කිරීමට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල අපොහොසත්විය. මේ සමගම දෙමළ මහජන නියෝජිතයන් දැඩි කලකිරීමකින් ව්‍යවස්ථා සම්පාදක කාර්යයෙන් ඉවත්විය.
පසුව 1972 ජනවාරි 3 දින ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කාරක සභා 11 කට බෙදා ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේ කාර්යය ආරම්භ කරන ලදී. එමෙන්ම මෙම අවස්ථාවේදීද යම් යෝජනාවක් ඇත්නම් එය 1972 ජනවාරි 24 දිනට පෙර අදාල කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස මහජනතාවට පුවත්පත් දැන්වීමක් මගින් ආරාධනා කරන ලදී. එසේ කෙටුම්පත් කරන ලද, ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත විෂය හා මෙහෙයුම් කාරක සභාව විසින් අනුමත කර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත 1972 මැයි මස 8 වන දින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අමාත්‍ය කොල්වින් ආර් සිල්වා මහතා විසින් ලබාදෙන ලදී.
ඉන් පසුව එකී ව්‍යවස්ථා කෙටුම්පතට අවශ්‍ය සංශෝධන එක් කිරීම 1972 මැයි මස 9,10,11,12 හා 19 යන දින වලදී සිදුකරන ලදී. ඒ අනුව සම්පූර්ණ කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත 1972 මැයි මස 22 වන දින උදෑසන කොළඹ රාජකීය විද්‍යාලයේ නව රගහලට රැස්වූ මෙම ව්‍යවස්ථා සම්පාදක මණ්ලයේ සාමාජිකයන් විසින් සම්මත කරන ලදී.
පසුව එදිනම සවස පාර්ලිමෙන්තුවට රැස්වූ මෙම මහජන නියෝජිතයින් ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දිවුරුම්දීම සිදුකරන ලදී. ඒ අනුව සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පැවති නියෝජිත මංත්‍රි මණ්ඩලයේ 7වන පාර්ලිමේන්තුව අවසන් වූ අතර ජනරජ ව්‍යවස්ථාව යටතේ ප්‍රථම පාර්ලිමේන්තුව(රාජ්‍ය මංත්‍රණ සභාව) ආරම්භවිය. 1972 මැයි 22 වන දින ශ්‍රී ලංකාවේ ජනරජ දිනය ලෙස ඉතිහාසයට එකිවිය.
මෙම ව්‍යවස්ථා සම්පාදක කාර්යයට මුලින් ඉතා උනන්දුවෙන් දායකත්වය සැපයූ ෆෙඩරල් පක්‍ෂයේ හා දෙමළ කොංග්‍රසයේ නියෝජිතයින් මෙන්ම මෙම මංත්‍රිවරුන් නියෝජනය කල දෙමළ ජනතාව ද මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වූ ලක්‍ෂණ කිහිපයක් නිසා විරසක විය. ඒ අනුව සමස්ත ලාංකිකයන්ගේ ව්‍යවස්ථාවක් ලෙස ජනරජ ව්‍යවස්ථාවක් සකස්කර ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීමට තිබූ මහගු අවස්ථාව 1972 දී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් මගහරින ලදී.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය,ලංකා සමසමාජ පක්‍ෂය හා කොමිනිස්ට් පක්‍ෂය විසින් ආණ්ඩුව පිහිටුවන ලද අතර පත්කල මංත්‍රිවරුන් කිහිපදෙනෙක්ද ආණ්ඩුවේ කොටස්කරුවන් විය.
නීතිඥ ජගත් ලියන ආරච්චි[Jagath Liyanaarachchi]
[email protected]



Repost This Article




















































