iMAGE: vikalpa

2019 වසරේ අවසන් දිනයට අප එළඹ තිබේ. තවත් හෝරා කීපයකින් එළඹෙන්නේ තවත් වසරක ආරම්භයකි. 2020 නව වසරේ ආරම්භයට පෙර  ගෙවුණු දින 365 පිලිබඳ මතකාවර්ජනයක් කිරීමට අපි සිතුවෙමු. 2019 වසර ගෙවෙන්නේ ශ්‍රී  ලංකාවේ සමාජ, දේශපාලන, ආර්ථික ආස්ථානයන් හි සුවිශේෂි වෙනස්කම් රැසක් සටහන් කරමින් වීම විශේෂත්වයකි.

යුද්ධය අවසන් වී  2019 වසරට වසර 10 කි. එය සුවිශේෂී සන්ධිස්ථානයකි. එහෙත් 250 කට අධික පිරිසක් මිය ගිය, අප්‍රේල් මස 21 වන දින කතෝලික පල්ලි සහ සංචාරක හෝටල් කේන්ද්‍ර කොටගෙන, ඉස්ලාමිය අන්තවාදීන් විසින් එල්ල කරන ලද ඛේදජනක පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, ශ්‍රී ලංකාව නැවත උඩු යටිකුරු කිරීමට සමත් විය. ඉන් අනතුරුව මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් වූ ප්‍රචණ්ඩත්වය, රාජ්‍ය අනාරක්ෂිතභාවය පිලිබඳ පොදු මහජනතාව තුළ ඇතිව ගිය සහ ඇති කරන ලද බිය හරහා පශ්චාත් යුධමය මානසිකත්වය නැවත ක්ෂණයෙන් මිලිටරිමය ආධිපත්‍යකට පෙරළිණි. ඒ හරහා ආගම , ජනවර්ගය, ජාතිකත්වය සම්බන්ධ දරුණු බෙදීමකට සමාජය ලක් වීමේ අවධානම ඇති වී තිබේ.”සිංහල බෞද්ධ ඡන්ද පදනම” නමැති ආවේගය එහි ඉහලින්ම තිබෙන්නකි.

අනෙක් අතට 2015 වසරේ  වසර 10 ක් පුරා  පැවති රාජපක්ෂ රෙජීමය පරාජය කරමින් පත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තම පළමු ධූර කාලය අවසානයේ ජනාධිපති ධුරයක් සඳහා තරග නොකරම විශ්‍රාම ගැනීමත්, හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සහ හිටපු පස්වන විධායක ජනාධිපතිගේ බාල සොහොයුරා  වන ගෝඨාභය රාජපක්ෂ  මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමත්, යහපාලන සන්ධාන ආණ්ඩුව බිඳ වැටීමත් ඒ හා බැඳී දේශපාලන ලෝකය උඩු යටිකුරු කරමින් වසරේ අවසාන කාර්තුව උණුසුම් කළේ  එළඹෙන 2020 වසර මැතිවරණ වසරක් බවට පත් කරමිනි.

2020 වසර එළඹෙන්නේ දශකයක නිමාව සටහන් කරමිනි. 2007 වසරේදී පුරවැසි මාධ්‍ය සංකල්පය මුලික කොටගෙන,සිංහල භාෂාවෙන් ඩිජිටල් අවකාශයට ‘විකල්ප වෙබ් අඩවිය’ එකතු වී දැන් වසර 12ක් ගෙවී අවසන්ය.පසුගිය කාලය පුරා ද විතැන්ව ගිය හඬක් නොමැති  පුරවැසියාගේ හඬ ජනගත කිරීමත්, ඒවා සොයා හාරා පාදා සමාජය වෙත අනාවරණය කිරීමටත්, අසීරුම මොහොතේදීත් යුක්තිය, සාධාරණත්වය සහ සමාජ පොදු යහපත උදෙසා සිට ගැනීමත් අප කිසිදු මොහොතක අත් නොහැර කළ ඇත්තෙමු. එළඹෙන වසර අභියෝගාත්මක එකක් වනු නොඅනුමානය. එහෙත් පුරවැසියන් සමඟ සිටිමින් පුරවැසියන් සමඟ කෙරෙන එකම සංවාදය  සහ පොදු මහජනයා වෙනුවෙන් වන අපගේ සමාජ සටන අතනොහැර සිටින බව මෙහිලා තරයේ සටහන් කරන්නේ 2019 වසරේ මතක යළි දු ආවර්ජනය පන්නරය කොට ගනිමිනි.

අප ඔබ වෙත මේ වසර පුරා වාර්තා කරන ලද සුවිශේෂී සිදුවීම් , අනාවරණයන්,ඡායාරූප සටහන්  හා අප සාමජිය ලෙස ඉටු කළ මැදිහත් වීම්, අභියෝග  අළලා සකස් කරන ලද #YearInReview2019 සාරාංශ සටහනක පෙළගැස්මක් මෙසේ ඔබ හමුවේ තබමු. ඒ ගල්,මුල් සේම  පාඨක ඔබගේ දිරි ගැන්වීම් ද මේ කටුක මාවත වසර  12 ක් අප රැගෙන හා ශක්තිය බව ආදරයෙන් මතක් කරමිනි.

සම්පුර්ණ සටහන සඳහා  : Spark link – https://spark.adobe.com/page/NUaUaESPKHoGs/

ගෙවුණු වසර දෙස හැරි බැලීමක් !