iMage:VIKALPA/Sampath Samarakoon)
වසර 16කට පෙර, 2009 මැයි මාසයේදී, ශ්‍රී ලංකාවේ යුද්ධය නිළ වශයෙන් අවසන් යැයි ප්‍රකාශයට පත් විය. එහෙත්, එම යුද්ධය තුළ මෙන්ම යුද්ධයේ අවසන් අදියරේදී මුල්ලිවෛක්කාල්හිදී සිදුවූ මිනිස් ජීවිත හානි, බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම්, පැහැරගැනීම්, සහ ශ්‍රී ලංකා රජයේ හමුදාවට බාරදීම් පිළිබඳ සත්‍යය තවමත් අඳුරේ ගිලී ඇත. 2025 මැයි 18 වනදා, මුල්ලිවෛක්කාල් ලේ වැකි මතක භූමියේදී දහස් ගණනක් දෙමළ ජනතාව එක්රැස් වූයේ තම ආදරණීයයන් සිහිකරමින්, පහන් දල්වමින්, ඔවුන්ගේ අහිමිවූවන්ට යුක්තිය ඉල්ලා සිටිමින්ය. එහිදී ඔවුන්ගේ ඉල්ලීම එකම එකකි: සත්‍යය සහ යුක්තිය ය.
වයෝවෘද්ධ මව්වරුන්, පියවරුන්, තරුණ තරුණියන්, හා බාල දරුවන් ඇතුළු සියලු දෙනා පැමිණියේ කිසිදු වෛරී ප්‍රකාශයකින් හෝ වෛරය පිරි හදවත් රැගෙන නොව, ඔවුන්ගේ අහිමිවූවන්ගේ මතකය ආලෝකමත් කරමින්, යුක්තියේ බලාපොරොත්තුවෙන් ය. නමුත්, යුද්ධය අවසන් වී වසර 16ක් ගතව තිබියදීත්, ඔවුන්ගේ ඉල්ලීම්වලට පිළිතුරක් ලැබී තිබේද? දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නයට හෝ යුද්ධයේදී සිදු වූ ‘අපරාධවලට’ යුක්තිසහගත විසඳුමක් ලබාදීමට ශ්‍රී ලංකාවේ කිසිදු ආණ්ඩුවකට හැකිවී තිබේද?
යුද්ධයේ බිහිසුණු බව සහ යුක්තියේ අවශ්‍යතාව
අවුරුදු 16කට පසුත්, තවත් අවශ්‍ය නම් ලෝකයේ පිළිගත් චින්තකයන්ගේ අදහස් මෙම තත්ත්වය තවත් ගැඹුරින් විමසා බැලීමට ආලෝකයක් සපයයි. හෝවාඩ් සින්, යුද්ධයේ බිහිසුණු බව හා එහි ප්‍රතිවිපාක ගැන ලියමින්, යුද්ධයෙන් පසුව සිදුවන “මතකය මකාදැමීම” ගැන අනතුරු අඟවයි: “යුද්ධයේ වින්දිතයින්ගේ කතාව මකාදැමීමට ඉඩදීම යනු, ඔවුන්ට දෙවන වරටත් අයුක්තියක් සිදුකිරීමකි.”
ඉතිහාසය අමතක කිරීමට අනියමින් හෝ බලපෑම් කිරීම: මානව හිමිකම් උල්ලංඝනයක්
වේදනාවන්ගෙන් පිරි, ලේ වැකි ඉතිහාසය අමතක කිරීමට බලකිරීම මානව හිමිකම් උල්ලංඝනයක් සේම යුක්තියට බාධාවකි. මෙය මුල්ලිවෛක්කාල්හිදී සිදුවූ සිදුවීම්වලට යුක්තිය ඉල්ලා සිටින ජනතාවගේ අරගලයේ මූලික ගැටලුව පැහැදිලි කරයි. යුද්ධයේදී සිදුවූ අපරාධවල සත්‍යය හෙළිදරව් නොකිරීම, වින්දිතයින්ගේ කතාවන් මකාදැමීමට උත්සාහ කිරීම හෝ ඒවා නොසලකා හැරීම, ඔවුන්ගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. මෙය ඔවුන්ගේ ගරුත්වයට, සත්‍යය දැනගැනීමේ අයිතියට, හා යුක්තිය ඉල්ලීමේ අයිතියට එරෙහි ක්‍රියාවකි. එසේම, එවැනි අමතක කිරීම් යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලියට බාධා කරමින්, තිරසාර සාමයක් ගොඩනැගීමට බලවත් බාධාවක් ඇති කරයි.
මේ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර උදාහරණයක් මෙහි සටහන් කරමු.
1994 රුවන්ඩා ජන ඝාතනයේදී ටුට්සි හා හුටු ජනයා ලක්ෂ ගණනක් මරා දමන ලදී. එම ඛේදවාචකයෙන් පසුව, රුවන්ඩා රජය හා ජාත්‍යන්තර ප්‍රජාව විසින් ජන ඝාතනයේ වින්දිතයින්ගේ කතාවන් මකාදැමීමට ඉඩ නොතබා, “Gacaca” අධිකරණ හා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම් හරහා සත්‍යය හෙළිදරව් කිරීමට හා යුක්තිය ඉටුකිරීමට උත්සාහ ගන්නා ලදී. මෙම ක්‍රියාවලිය තුළින්, වින්දිතයින්ට ඔවුන්ගේ කතාවන් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබුණු අතර, එය ජාතික සංහිඳියාවට හා යුක්තිය ඉටුකිරීමට මග පෑදීය. එහෙත්, මුල්ලිවෛක්කාල්හිදී සිදුවූ අපරාධවලට එවැනි යුක්තිසහගත ක්‍රියාවලියක් හෝ තවමත් ආරම්භ වී නැත. මෙය වින්දිතයින්ගේ මතකය මකාදැමීමට එරෙහිව ඔවුන්ගේ අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යාමේ වැදගත්කම යළි යළිත් තහවුරු කරයි.
ඉඩම් ප්‍රශ්නය සහ අධිපතිවාදී ආකල්ප
යුද්ධයෙන් පසු උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් හමුදාව විසින් බලහත්කාරයෙන් භාවිතා කරන ලදී. එම ඉඩම්වලින් කොටසක් නිදහස් කළද, ඒවා නිදහස් කිරීමේදී පවා “දෙනවා වගේම ගන්නත් පුලුවන්” යනුවෙන් පැවසූ හිටපු හමුදාපති මහේෂ් සේනානායකගේ ප්‍රකාශය,(යහපාලන ආණ්ඩු සමයේ) සිංහල අධිපතිවාදී ආකල්පයක ලක්ෂණයන් පෙන්නුම් නොකරන්නේද? මෙවැනි අදහස් තවමත් පවතින්නේ නම්, එය දෙමළ ජනතාවගේ ගරුත්වයට හා ඔවුන්ගේ අයිතිවාසිකම්වලට එල්ලවන තවත් පහරකි.
යුක්තියේ බලාපොරොත්තුව
මැයි 18 වනදා, මුල්ලිවෛක්කාල්හිදී එක්රැස් වූ ජනතාව ආපසු තම නිවෙස්වලට ගියේ, යුක්තිය පිළිබඳ බලාපොරොත්තු රහිතව, තවත් වසරකට මුහුණදීමට සූදානම් වෙමින්ද? මෙය ශ්‍රී ලංකාවේ දේශපාලන භූමියේ විසඳිය යුතු ප්‍රමුඛම ගැටලුවකි. යුද්ධයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම, ඔවුන්ගේ ඉඩම් හා ජීවනෝපාය ආපසු ලබාදීම, හා දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන්ට ගරු කිරීම තුළින් පමණක් තිරසාර ‘සාමයක්’, ‘සත්‍ය පදනම් වූ යුක්තිසහග සාමයක්’ ගොඩනැගිය හැක.
ඩෙස්මන්ඩ් ටූටූ ආන්තිකකරණය හා යුද්ධයට එරෙහිව අරගල කරමින් මෙසේ පැවසීය: “සත්‍යය හා ප්‍රතිසන්ධානය යනු එකිනෙකට බැඳුණු බැවින්, එකක් නොමැතිව අනෙක ඉටුකළ නොහැක.”
මුල්ලිවෛක්කාල්හිදී එක්රැස් වූ ජනතාවගේ ඉල්ලීමද මෙයයි. ඔවුන් ඉල්ලන්නේ සත්‍යය හා යුක්තිය මත පදනම් වූ නිදහස් ජීවිතයකි. ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන රඳා පවතින්නේ, මෙම ඉල්ලීම්වලට ගරු කිරීම මතය. එසේ නොවුනහොත්, යුක්තිය අහිමිවූවන්ගේ වේදනාව හා බලාපොරොත්තු රහිත බව, රටේ ‘සාමය’ට හා ‘එකමුතුකමට’ ‘ලස්සන ජීවිතයකට’ හෝ මොනයම් ප්‍රගතිශීලි තත්ත්වයකට තවත් බාධාවක් නොවනු ඇතිද?
මෙය අනුස්මරණයක් අනුස්මරණ පමණක් නොවේ. ‘යුක්තිය’ පිළිබද ගැඹුරු අදහසත්, දෙමළ දේශපාලන අභිලාශයන්ගේ ආත්මීය ගැඹුරු ස්වරයත් මුල්ලිවෛක්කාල් හී පදනම වී තිබේ. මෙය අමතක කර වචනවලින් හෝ ‘ලස්සන’ ලංකාවක් ගොඩනැගිය හැකිද?