පදවිය වනරක්ෂිතයේ අක්කර 30,000 ක් වැනසීමට මහවැලියට පවරයි

පදවිය වන රක්ෂිතයට අයත් හෙක්ටයාර 12,900 ක් (අක්කර 31,875 ක්) ඉවත් කර ජනතාව පදිංචි කිරීම සඳහා යැය කියමින් මහවැලි අධිකාරියට පැවරීමට අවශ්‍ය සැලැසුම් මේ වන විට සකස් කෙරෙමින් පවතී.

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පදවිය වැවට බටහිරින් පිහිටි වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර ප්‍රදේශයක් මෙලෙස ජනතාව පදිංචි කිරීම සඳහා යැයි කියමින් මහවැලි අධිකාරියට පැවරීමට සූදානම් වේ. වනාන්තර නැතිවූවාට ජනතාවට පදිංචි වීම සඳහා සුදුසු අනන්තවත් බිම් මේ ශ්‍රී ලංකාවේ පවතී. මේ වනාන්තර පද්ධතිය පදවිය වැව හා ඒ ආශ්‍රිත ජල පෝෂක වනාන්තර ප්‍රදේශ ආවරණය වන ලෙස 1963 ජුනි 21 වන දින ප්‍රකාශයට පත් කරන ලද හෙක්ටයාර 6475 කින් යුත් පදවිය වැව අභය භූමිය හා සම්බන්ධව පවතී. ඒ අනුව පදවිය වන රක්ෂිතය හා පදවිය වැව අභය භූමිය පදවිය වැව කේන්ද්‍ර කරගෙන ව්‍යාප්තව ඇති වනාන්තර පද්ධතියක් ලෙස පිහිටා තිබේ.

2009 අංක 65 දරන වන සංරක්ෂණ ආඥා පනතට අනුව 2013 ජනවාරි 18 වන දින අංක 1793/21 දරන ගැසට් නිවේදනය මගින් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කළ හෙක්ටයාර 48,451 ක් වන පදවිය වන රක්ෂිතයට අයත් වනාන්තර මෙලෙස ජනතාව පදිංචි කිරීම සඳහා ඉවත් කිරීමට නියමිතව ඇත. මහවැලි අධිකාරියේ බලපෑම මත ඒ සඳහා වන ගැසට් නිවේදනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සකස් කර අවසන් කර තිබේ.

මේ වනාන්තර පද්ධතිය ප්‍රධාන අලි ගැවසුම් ප්‍රදේශයක් ලෙස පවතී. එවන් විශාල වනාන්තර ප්‍රදේශයක් එළි පෙහෙළි කර ජනතාව පදිංචි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ප්‍රදේශයේ උග්‍ර අලි – මිනිස් ගැටුමක් වර්ධනය විය හැකි අතර පදිංචි කරන ජනතාව පමණක් නොව පදවිය හා කැබිතිගොල්ලෑව ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට උග්‍ර අලි – මිනිස් ගැටුමක ගොදුරක් බවට පත් වීමට සිදු වනු ඇත.

මේ වනාන්තර ප්‍රදේශය මේ වසරේ ජනවාරි මස දී වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ එහි පවතින පාරිසරික, ජෛව විද්‍යාත්මක හා ජල විද්‍යාත්මක වටිනාකම හේතුවෙනි. යුධමය වාතාවරණය පැවති සමය තුළ මේ වනාන්තර පද්ධතියම අනාරක්ෂිතව පැවති අතර යුධමය වාතාවරණය පහව යෑමෙන් අනතුරුව ඒවායෙහි වැදගත්කම සැලැකිල්ලට ගෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රක්ෂිත තත්ත්වයට පත් කර තිබේ. නමුත් ඉතාම කෙටි කාලයක් තුළ දී රක්ෂිත තත්ත්වයෙන් ඉවත් කර ජනතාව පදිංචි කිරීමට උත්සාහ දරන්නේ කුමන පදනමක් මත ද යන්න ගැටළුවකි.

අප රටේ ස්වාභාවික සම්පත් අති බහුතරයක් වනසා දැමූ මහවැලි අධිකාරිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බලපෑම් කරමින් මේ වනාන්තරය එම අධිකාරිය යටතට පවරා ගැනීමට උත්සාහ දරන්නේ විවිධ ව්‍යාපාරිකයින්ට මේ ස්වාභාවික සම්පත් බදු දී වනසා දැමීම ස`දහා ය.

දැනට මහවැලි කලාපවල පිහිටි බොහෝ විශාල වනාන්තර ප්‍රදේශ ව්‍යාපාරිකයන්ට බදු දෙමින් සිටින මහවැලි අධිකාරිය, මහවැලි ප්‍රදේශවල පිහිටි ආරක්ෂිත වනාන්තර ප්‍රදේශ ගල්කොරි, හෝටල්, වාණිජ වගාවන් පවත්වාගෙන යාම සඳහා දිගින් දිගටම බදු දෙමින් පවතී. මෙලෙස මහවැලි කලාපවල ජල පෝෂක බිම්, අලි මංකඩවල් හා ග්‍රාමීය වනාන්තර ලෙස ඉතිරි වී පැවති බොහෝ වනාන්තර එම අධිකාරිය මගින් විවිධ ව්‍යාපාරිකයින්ට බදු දී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මේ ප්‍රදේශවල දරුණු ලෙස අලි – මිනිස් ගැටුම ව්‍යාප්ත වෙමින් පවතී. මහපිටිය අලිමංකඩ, මහවැලි එච් කලාපයේ පිහිටි අන්දරවැව වනාන්තර ඇතුළු බොහෝ මහවැලි රක්ෂිත වනාන්තර වනසා දැමීමෙන් අනතුරුව වන රක්ෂිත වනසා දැමීමට ද මහවැලි අධිකාරිය මේ වන විට යොමු වී ඇත.

නූපන් අනාගත පරපුර වෙනුවෙන් වෙන් කළ මේ වන රක්ෂිත ඉතා කඩිනමින් වනසා දැමීමට මහවැලි අධිකාරිය සූදානම් වීම පිළිබඳව අප කණගාටු වෙමු. අලි – මිනිස් ගැටුම ලංකාවේ වර්ධනය කිරීමට මූලික වූ මහවැලි අධිකාරිය නැවත නැවතත් මේ ලෙස කටයුතු කරමින් රටේ කෘෂිකර්මාන්තය හා ජනදිවිය ආගාධයට ගෙන යෑමට උත්සාහ දැරීම කණගාටුදායක තත්ත්වයකි.

පරිසර අමාත්‍යතුමන්ගෙන් හා වන සංරක්ෂණ ජනරාල්වරයාගෙන් අප ඉල්ලා සිටින්නේ පදවිය වන රක්ෂිතයට අයත් වනාන්තර බිම් මහවැලි අධිකාරියට පැවරීමේ ක්‍රියාවලිය වහාම නතර කිරීමට කටයුතු කරන ලෙසත්, රක්ෂිත වනාන්තර, රක්ෂිත භාවයෙන් ඉවත් කර සංවර්ධන කටයුතු සඳහා ලබාදෙමින් සිදු කරන වැරදි පූර්වාදර්ශ ලබාදීම වහාම නතර කරන ලෙසත්ය. මහවැලි විෂයභාර අමාත්‍යතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ අනාගත පරපුරේ සම්පත් වැනසීමට අනුබල දීම වෙනුවට රටේ සම්පත් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස ය.

සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය

නියුරම්බර්ග් නුවර සිට කොළඹ දක්වා හඹා එන යුධ අපරාධ චෝදනා

ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිය තුළ ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන ලද යෝජනාවක්, අසල්වැසි ඉන්දියාවේ ද සහාය ඇතිව සම්මත වී තිබේ. මෙකී යෝජනාවේ මුහුණත තුළ කුමක් සඳහන් වී තිබුණ ද, එහි හරය ඉඟි කරන්නේ, ශී‍්‍ර ලංකාවේ පැවති සිවිල් යුද්ධය අවසන් වීමේ දී හා ඊට පෙරාතුව ශී‍්‍ර ලංකාවේ සන්නද්ධ හමුදා අතින් සිදුවී ඇතැයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝනයන් හා / හෝ යුධ අපරාධ සම්බන්ධයෙන් පාරදෘශ්‍ය වන්නා වූ විභාග කරලීමේ කි‍්‍රයාවලියක් හඳුන්වා දීමයි. එසේම මෙකී කරුණ අරබයා ශී‍්‍ර ලංකාව විසින් හඳුන්වා දුන් උගත් පාඩම් කොමිශම් වාර්තාවේ නිර්දේශ ප‍්‍රමාණවත් නොවන බව හෝ ප‍්‍රමාණවත් නම් දේශීය යුක්තිය පසඳලීමේ කි‍්‍රයාවලියක් අරඹන ලෙසට ද, මෙම යෝජනාව ඉඟි කරනු ලබයි. එය එසේ නොවන්නේ නම් ජාත්‍යන්තර යුක්තිය පසඳලීමේ කි‍්‍රයාවලියක් ආරම්භ කිරීම සඳහා තමන් යොමු වන බවටත්, ඒ සඳහා මූලික පියවර ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ විවිධ නිලධාරීන්ට, රටේ පවතින කි‍්‍රයාවලිය හා තත්ත්වය පිළිබඳව නිරීක්‍ෂණ කි‍්‍රයාවලියක් ආරම්භ කිරීමට මෙම යෝජනා ඉඟි කරයි.

රටක පාලකයන් වශයෙන් ගත් කළ මෙය බෙහෙවින් අප‍්‍රසන්න කි‍්‍රයාවලියක් බව නොරහසකි. එසේම එකී කි‍්‍රයාවලියෙහි ප‍්‍රතිඵලයක් ලෙස රටේ පුළුල් ජනතාවට අප‍්‍රසන්න හා අමිහිරි අත්දැකීමක් ඇති කරනු නියතය. මෙවැනි කරුණක් අරබයා අපට පවතින ආසන්නතම අත්දැකීම වූයේ යුරෝපියානු සංගමයේ ඨීඡු තීරු බදු සහනය අරබයා රටේ පාලකයන් අනුගමනය කරනු ලැබු අමනෝඥ ආවේගශීලී සහ හිතුවක්කාරී පිළිවතයි. ඒ හරහා අපට එකී තීරු බදු සහනය අහිමි කරනු ලැබුයේය. ඒ නිසාම මේ වනවිට අපට විවිධ වූ ආර්ථික හා සමාජීය අසනහනකාරී තත්ත්වයන් ඇති කරලමින් තිබේ. මේ වනවිට යුරෝපීය වෙළඳපල පදනම් කොට ගත් දේශීය ඇඟලූම් කර්මාන්ත රාශියකට, සිය තරඟකාරීත්වය එසේ තීරු බදු සහන ලැබෙන බංගලාදේශය, කාම්බෝජය, වියට්නාමය වැනි රටවල් සමග පවත්වා ගැනීමට නොහැකි වීම නිසා, ඒවා වසා දැමීමට සිදුවී තිබේ. ඒ නිසාම රට තුළ රැුකියා අවස්තා නැතිවීම මෙන්ම, අපනයන ආදායම අඩුවීම නිසා වෙළඳ ශේෂයේ පළල් වීමත්, ඒ නිසා ඊට අනුපාතිකව ඩොලරය ඉහළ ගොස් රටේ ආනයන වියදම් වැඩිවන තත්ත්වයක් ඇතිවී තිබේ. එහි සෘජු ප‍්‍රතිඵලය වී ඇත්තේ අපගේ ජීවන වියදම සීඝ‍්‍රයෙන් ඉහළට ගමන් කිරීමයි. සාපේක්‍ෂව බලන කළ ඨීඡු සහන නැතිවීමට වඩා ඇමරිකානු – ඉන්දියානු ජිනීවා යෝජනා වලට එරෙහි වීම හේතු කොට ගෙන ඇති විය හැකි තත්ත්වය බරපතල බව බොහෝ ජාත්‍යන්තර කටයුතු විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

ඒ නිසාම ආවේගයෙන් හා අමනවාදී හැඟීමෙන් තොරව මෙකී කි‍්‍රයාවලියට මුහුණ දීමේ වැදගත් කමක් පවතී. මෙකී කි‍්‍රයාවලිය තුළ ඇතිවිය හැකි පළමු අවාසිය වන්නේ රට තුළ වෙසෙන සිංහල – දෙමළ ජනතාවගේ සමාජ සබඳතා නැවත වරක් බරපතල ලෙස පිරිහීමකට ලක් වීමයි. එය එසේ යයි කියන විට යෝජනා කරන්නේ දැනට එකී ජාතීන් අතර ධනාත්මක සබඳතාවයක් පවතින්නේ යයි නොවේ. නමුත් මෙකී කි‍්‍රයාවලිය තුළ එය බරපතල ලෙස හානි වීමේ අවධානමක් පවතී. නමුත් එසේ හානි වෙන්නේ යයිද ඒ නිසාම යුද්ධ සමයේ දී මිය ගිය අහිංසක දෙමළ ජනතාවගේ ජීවිත වලට සාධාරණයක් ඉටු නොවිය යුතු යයි අපට තර්ක කිරීමට ද නොහැකිය. ඒ නිසාවෙන්ම ජාත්‍යන්තර යුධ අපරාධ නීතිය පිළිබඳව අවබෝධයක් මෙන්ම, එකී නීති මූල ධර්ම ලංකාවේ තත්ත්වයනට ගැලපෙන අයුරින් අදාළ කර ගැනීමේ දී, ඊට අදාළව දෙපාර්ශවය අතරම පවතින ආවේගී බව මෙන්ම, එකී කටයුත්ත ජනවාර්ගික කෝණයෙන් ඉවතට ගෙන නීතියේ බලය හා යුක්තිය පසඳලීමේ කෝණයෙන් ගෙන කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කරමු. මේ සඳහා ගත හැකි හොඳම ජාත්‍යන්තර උදාහරණය වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව, එකී යුධ සමයේ සිදුවූ මනුෂ්‍යත්වයට එරෙහිව දියත් කෙරුනු කි‍්‍රයා කලාපයන් සම්බන්ධයෙන්, මිත‍්‍ර ජාතීන් කි‍්‍රයා කළ ආකාරයයි. ඒ සඳහා වූ යුධ අධිකරණ දෙකක් ජර්මනියේ නියුරම්බග් නුවර දී ද, ජපානයේ තෝකියෝ නුවරදී ද පිහිටුවනු ලැබුහ. නියුරම්බර්ග් නුවර දී අධිකරණය ඉදිරියට ඉදිරි පත් කරනු ලැබුයේ ජර්මන් නාසි පක්‍ෂයේ සාමාජිකයන් වූ අතර, තෝකියෝ නුවර අධිකරණයට ඉදිරියට පමුණුවනු ලැබුයේ, ජපන් පාලක පක්‍ෂයයි.

නියුරම්බර්ග් අධිකරණයේ දි නඩු අසා ජර්මන් නාසි පක්‍ෂයේ දෙවැන්නා වූ ගෝරි ඇතුලූ නාසින් විශාල සංඛ්‍යාවකට දඬුවම් පමුණුවන ලැබූහ. එකී අධිකරණයට මුහුන දුන් බොහෝ අයවලූන්ගේ විත්තිවාචකය වූයේ තමන්ට වගකීමක් නොමැති බවත්, තමන්ට හිට්ලර් අණ දුන් නිසා එලසෙ කි‍්‍රයා කළ බවයි. මෙහිදී අනුගමනය කරනු ලැබු නීති ආප්තය වූයේ, හිට්ලර් ඒ සඳහා තමන්ට අණ දුන්නේ හමුදා, අදාල යුධ අපරාධය සිදු කිරීමේ දී, තමන්ගේ හෘද සාක්‍ෂිය වැදගත් වන බවත්, එවැනි මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කිරීමේ දී, තවත් මානවයකුට එරෙහිව අපරාධයක් කිරීමේ දී, තමන්ගේ හෘද සාක්‍ෂියට එරෙහිව කටයුතු කිරීම, දණ්ඩනයට හේතු වන බවය. යුද අපරාධ සම්බන්ධයෙන්, අදත් භාවිතා වන නියුරම්බර්ග් ප‍්‍රතිපත්තිය ලෙස සැලකෙන්නේ මෙයයි. නමුත් නියුරම්බර්ග් අධිකරණයේ සිට තෝකියෝ අධිකරණය ඉදිරියට යනවිට ෂෂ ලෝක යුද්ධයට මුල් වූ හිරෝහිතෝ අධිරාජ්‍යයා ජීවමානව ඇමරිකානු යුධ හමුදා අඩස්සියේ සිටින ලදි. ඇමරිකානුවන්ට අවශ්‍ය නම්, හිරෝහිතෝ අධිරාජ්‍යා තෝකියෝ යුද අධිකරණය ඉදිරියට පමුණුවා විනිශ්චයට ලක් කිරීමේ හැකියාව තිබුණේය. නමුත් ඇමරිකානු මැක් ආතර් සෙනවියා එසේ දතට – දතක්, ලෙයට ලේ ඉල්ලීමකට වඩා, ජපාන සමාජයේ ස්ථාවරත්වය අපේක්‍ෂා කළේය. ඇමරිකාව සම්බන්ධයෙන් ගත් කළ ඇමරිකානු හමුදාවට බරපතල හානිය සිදු කර තිබුණේ හිරෝහිතෝ අධිරාජ්‍යාගේ අණසක යටතේ කි‍්‍රයා කළ ජපාන හමුදාවයි. නමුත් හිරෝහිතෝ අධිරාජ්‍යා අධිකරණය ඉදිරියට නොපැමිණ වීමට ඇමරිකානුවන් වගබලා ගත්තේය. ඒ වෙනුවට ජපන් යුධ සමයේ ජපාන අගමැති ලෙස කි‍්‍රයා කළ ටෝරජර් ජපානය වෙනුවෙන් වරද පිළි ගත්තේය. එතැන් සිට අලූත් ජපානයක්, ඇමරිකාවේ සහාය ඇතිව පිහිටුවන්නට පශ්චාත් ෂෂ ලෝක යුද්ධයේ ලෝක නායකයන්ට හැකි වූයේය. ශී‍්‍ර ලංකාවට එල්ල වෙන යුධ අපරාධ සම්බන්ධයෙන් මෙවැනි මොඩලයක් ලංකාවට ද අදාළ කර ගත නොහැක්කේ ද යන්න අප හමුවේ පවතින අභියෝගයයි.

@Image: Channel 4′s new documentary on Sri Lanka, Sri Lanka’s Killing Fields: War Crimes Unpunished aired for the first time in the UK last night. Before it is even available on Channel 4′s official web based on-demand service, it’s now up on YouTube.|www.groundviews.org

ශිරාල් ලක්තිලක | Shiral Lakthilaka

උතුරේ වන රක්ෂිත අනතුරේ හෙළන මහා පරිමාණ සැලැසුමක්


කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ උපදෙස් මත මන්නාරම, මුලතිව් හා වව්නියා දිස්ත‍්‍රික්ක තුනෙහි වන රක්ෂිතවලට අයත් වනාන්තර අක්කර 2388 ක් එළි පෙහෙළි කර මුස්ලිම් ජනතාව පදිංචි කරවීමට මේ වන විට සැලැසුම් කරමින් තිබේ. මුලතිව් දිස්ත‍්‍රික්කයේ මුහුදුබඩපත්තුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හෙක්ටයාර 5036 ක් වන කුලාමුරිප්පු වන රක්ෂිතයේ හා හෙක්ටයාර 6825 ක් වන නාගන්චෝලෙයි වන රක්ෂිතයේ වනාන්තර අක්කර 850 ක් ඉවත් කර මුස්ලිම් පවුල් 1455 ක් පදිංචි කිරීමට සැලැසුම් කර තිබේ. මාන්කුලම් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඔට්ටුසුඩාන් රජයේ වනාන්තරයේ අක්කර 123 ක් ඉවත් කර තවත් මුස්ලිම් පවුල් ප‍්‍රමාණයක් පදිංචි කිරීමට
සූදානම් වේ.

මන්නාරම දිස්ත‍්‍රික්කයේ මුසලි, මඩු හා මාන්තෙයි බටහිර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනට අයත් වන රක්ෂිත හා රජයේ වනාන්තර බිම් අක්කර 1080 ක් හා වව්නියාව දිස්ත‍්‍රික්කයේ වනාන්තර අක්කර 325ක් එළි පෙහෙළි කර තවත් මුස්ලිම් පවුල් විශාල ප‍්‍රමාණයක් පදිංචි කිරීමට මේ වන විට සැලැසුම් කරමින් යයි. ඒ සඳහා වන රක්ෂිතවලින් ඉඩම් නිදහස් කර ගැනීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග මේ වන විට ගනිමින් තිබේ.

ඒ අනුව වනාන්තර ඉඩම් පරීක්ෂා කිරීම, ඉඩම් මැනීම් කිරීම හා කපා ඉවත් කිරීමට යෝජිත ගස් සලකුණු කිරීම ඇතුළු ක‍්‍රියාමාර්ග මේ වන විට ගනිමින් පවතී. වන සංරක්ෂණ ආඥා පනත හා ජාතික පාරිසරික පනත සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයා විසින් මේ ක‍්‍රියා සිදු කිරීමට අදාළ රාජ්‍ය අංශ යොමු කිරීම හා ඒ සඳහා උපදෙස් ලබාදීම ඉතාම හානිකර තත්ත්වයකි.

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතට අනුව රක්ෂිත වනාන්තරයක් තුළ ජනතාව පදිංචි කිරීම, ඒ සඳහා වනාන්තර ඉවත් කිරීම, මාර්ග සැකසීම, අනවසරින් ඇතුළු වීම ඇතුළු ක‍්‍රියා සියල්ල නීති විරෝධී වේ. එවන් තත්ත්වයක් තුළ රක්ෂිත වනාන්තරවලට අයත් වනාන්තර බිම් බලහත්කාරයෙන් ලබාගැනීම සඳහා අදාළ අමාත්‍යවරයා විසින් ක‍්‍රියා කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.

සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5 කට වඩා වැඩි වනාන්තර ඉඩමක් එළි පෙහෙළි කර සිදු කරන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන්, පවුල් 100 කට වඩා වැඩි ප‍්‍රමාණයක් නැවත පදිංචි කිරීමට ප‍්‍රථමයෙන් හා වන රක්ෂිතයක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ක‍්‍රියාකාරකමක් සිදු කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලියකට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ යුතුය. මෙම දිස්ත‍්‍රික්ක තුනේම ජනතාව පදිංචි කිරීමේ ව්‍යාපෘති සියල්ලම ඉහත නීතිමය තත්ත්වයන් සියල්ලටම යටත් වේ. නමුත් එම නීති රීති සියල්ල උල්ලංඝනය කරමින් මෙම නැවත පදිංචි කිරීමේ කටයුතු ක‍්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

සමහර ප‍්‍රාදේශීය ලේකම්වරුන් රජයට අයත් වනාන්තර තමන් යටතේ පාලනය වන බව සඳහන් කරමින් මේ සඳහා ඉඩම් නිදහස් කිරීමට සූදානම් වේ. නමුත් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විසින් 2001.08.10 දින නිකුත් කළ අංක 2001/05 දරන චක‍්‍රලේඛනයට අනුව ප‍්‍රාදේශීය ලේකම් හා දිස්ත‍්‍රික් ලේකම් යටතේ පාලනය වූ සියලූ ම වනාන්තර ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා තිබේ. ඒ අනුව වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව මේ රජයට අයත් වනාන්තර බිම්වලට යම් හානියක් සිදු කරන්නේ නම් ඊට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇත. මේ නීතිය ද අභිබවනය කරමින් මේ නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කිරීමට සූදානම් වේ.

ජනතාව පදිංචි කිරීමට සූදානම් වන මේ වන රක්ෂිත හා රජයේ වනාන්තර බිම් සුවිශේෂී ජල පෝෂක වනාන්තර බිම් පමණක් නොව ප‍්‍රධාන අලි ගැවසුම් හා අලි සංක‍්‍රමණික වනාන්තර බිම් වේ. මේවා එළි පෙහෙළි කර ජනතාව පදිංචි කිරීම හේතුවෙන් උතුරු ප‍්‍රදේශයේ ද අලි මිනිස් ගැටුමක් අලූතින් වර්ධනය විය හැකි ය.

මීට අමතරව රක්ෂිත වනාන්තර තුළ හා ඒ ආශ‍්‍රිතව ජනතාව පදිංචි කළහොත් රක්ෂිත වනාන්තර තුළ සිදු කරන නීති විරෝධී ක‍්‍රියා වර්ධනය වීම, වනාන්තර තවදුරටත් අනවසරින් අල්ලා ගනිමින් ජනාවාස ව්‍යාප්ත කිරීම පමණක් නොව ඒ හේතුවෙන් ඒ වනාන්තරවල ජෛව ප‍්‍රජාව ගේ පැවැත්මට බලපෑම් එල්ල වීම ද මේ නිසා සිදු වනු ඇත.

මේ ආකාරයේ ජල පෝෂක රක්ෂිත වනාන්තර එළි පෙහෙළි කිරීම හේතුවෙන් පානීය ජල අර්බුදය ද මේ ප‍්‍රදේශයේ උග‍්‍ර මට්ටමකට පත් විය හැකිය. තව ද රක්ෂිත වනාන්තර තුළ තැනින් තැන ජනාවාස පිහිටු වීම හේතුවෙන් පදිංචි ජනයාට මූලික යටිතල පහසුකම් ලබාදීමට ගැටළු මතු වීම පමණක් නොව ඒ සඳහා තවත් වනාන්තර එළි පෙහෙළි කිරීමටත් වනාන්තර ඛණ්ඩනය කිරීමටත් සිදු වනු ඇත. මේ සියලූ ක‍්‍රියාවල ප‍්‍රතිඵලයක් ලෙස උතුරේ රක්ෂිත වනාන්තර පද්ධතිය ඛණ්ඩනය වීම, අලි – මිනිස් ගැටුම වර්ධනය වීම, ජල පෝෂක වනාන්තර විනාශ වී පානීය ජල අර්බුදය උග‍්‍ර මට්ටමකට පත් වීම, වන සතුන් ගේ ගැවසුම් ප‍්‍රදේශ සීමා වීම හේතුවෙන් අවතැන් වන සතුන් නිසා නැවත පදිංචි කරන ප‍්‍රදේශවල ජනතාවට විවිධ ගැටළුවලට මුහුණදීමට සිදු වීම පමණක් නොව මේ ප‍්‍රදේශවල රක්ෂිත වනාන්තරවලට පමණක් සීමා වී ඇති ජෛව සම්පත් විනාශ වීම ද සීග‍්‍රයෙන් සිදු වනු ඇත.

රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයා මෙලෙස රක්ෂිත වනාන්තර විනාශ කරමින් උත්සාහ දරන්නේ උතුරු ප‍්‍රදේශය කාන්තාරයක් බවට පත් කිරීමට දැයි අපට ගැටළුවකි. ඡන්ද කිහිපයක් වෙනුවෙන් නීති රීති උල්ලංඝනය කරමින් මුස්ලිම් ජනතාව තවදුරටත් අවතැන් කිරීමට මූලික පහසුකම් ලබාදිය නොහැකි ප‍්‍රදේශවල නැවත පදිංචි කිරීමට උත්සාහ දරන්නේ කුමන අරමුණක් මත ද යන්න අපට නොවැටහේ. අවසානයේ ඔවුන්ට සිදුවන්නේ උග‍්‍ර ජල හිඟයකට මුහුණ දෙමින් අලි – මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වීමට පමණකි.

මේ තත්ත්වය හේතුවෙන් අප අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හානිකර ලෙස සිදු කිරීමට උත්සාහ දරන නැවත පදිංචි කිරීමේ කටයුතු වහාම නතර කර සැලැසුමකට අනුව ජනතාව පදිංචි කිරීමට සුදුසු ස්ථානවල පමණක් ජනතාව පදිංචි කිරීම සඳහා කටයුතු කරන ලෙස ය.

සජීව චාමිකර | Sajeewa Chamikara
පරිසර සංරක්ෂණ භාරය

මන්නාරම, වව්නියාව හා මුලතිව් දිස්ත‍්‍රික්ක තුනේ රක්ෂිත වනාන්තර ඉඩම් නිදහස් කර ගැනීමට රාජ්‍ය ආයතන අතර හුවමාරු වූ ලිපි කිහිපයක් පහත වේ.

හොර ඔප්පුවකින් ඇමතිබෑණා විල්පත්තු මායිමේ වනාන්තර අක්කර 250ක් ගිල ගනියි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා බැදී ඇති වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතයට අයත් හා තබ්බෝව අභය භූමිය හා බැදී පවතින වනාන්තර අක්කර 250 ක් ව්‍යාජ ඔප්පුවක් සකස්කරගෙන අමාත්‍ය සරත් අමුණුගමගේ බෑනා වන රොහාන් ප්‍රනාන්දු නමැත්තාට අයත් එච්.වී.ඒ. ෆාම් ආයතනය මගින් මේ වන විට බැකෝ යන්ත්‍ර ආධාරයෙන් එම වනාන්තර කොටස එළි පෙහෙළි කරමින් සිටින ඛේදනීය තත්ත්වයක් මෙසේ වාර්තා කරන්නේ ආණ්ඩුවේ ආශ්චර්ය තුළ ඇති ඛේදනියත්වය මෙමගින් වඩාත්ම පැහැදිලි වන නිසාය.

මෙම තත්ත්වය පිළිබදව විමර්ෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කරමින් පරිසර සංරක්ෂණ භාරය පවසන්නේ,‘‘පලූ, වීර, කළුවර, බුරුත ශාකවලින් සමන්විත වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තරය මෙලෙස එළි පෙහෙළි කරන අතර අලින් බහුලව ජීවත් වන හා අලින් ගේ සංක‍්‍රමණික ගමන් මාර්ගයක් වන මේ ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම මේ වන විට එළි පෙහෙළි කරමින් තිබේ. මේ සඳහා පළමුව වනාන්තර ප‍්‍රදේශය පුරාම පිවිසුම් මාර්ග පද්ධතියක් සකස් කර ඇත. මේ නිසා වාසස්ථාන අහිමි වන අලි – ඇතුන් එළුවන්කුලම හා අච්චිමලේ ප‍්‍රදේශයේ ජනාවාස හා වගාබිම්වලට පැමිණීම හේතුවෙන් අලි – මිනිස් ගැටුමක් මෙම ප‍්‍රදේශයේ අලූතින් වර්ධනය වෙමින් පවතින බවය.

මේ එම සම්පූර්ණ වාර්තාවයි

විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා අඛණ්ඩව බැදී ඇති වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතයට අයත් හා තබ්බෝව අභය භූමිය හා බැදී පවතින වනාන්තර අක්කර 250 ක් එච්.වී.ඒ. ෆාම් ආයතනය මගින් මේ වන විට බැකෝ යන්ත‍්‍ර ආධාරයෙන් එළි පෙහෙළි කරයි. පලූ, වීර, කළුවර, බුරුත ශාකවලින් සමන්විත වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තරය මෙලෙස එළි පෙහෙළි කරන අතර අලින් බහුලව ජීවත් වන හා අලින් ගේ සංක‍්‍රමණික ගමන් මාර්ගයක් වන මේ ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම මේ වන විට එළි පෙහෙළි කරමින් තිබේ. මේ සඳහා පළමුව වනාන්තර ප‍්‍රදේශය පුරාම පිවිසුම් මාර්ග පද්ධතියක් සකස් කර ඇත. මේ නිසා වාසස්ථාන අහිමි වන අලි – ඇතුන් එළුවන්කුලම හා අච්චිමලේ ප‍්‍රදේශයේ ජනාවාස හා වගාබිම්වලට පැමිණීම හේතුවෙන් අලි – මිනිස් ගැටුමක් මෙම ප‍්‍රදේශයේ අලූතින් වර්ධනය වෙමින් පවතී.

පුත්තලම දිස්ත‍්‍රික්කයේ පිහිටි වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතයල තබ්බෝව අභයභූමිය හා රාල්මඩුව – අච්චිමලේ පුරාවිද්‍යා රක්ෂිතය යන සුවිශේෂී ස්ථාන තුනෙහි අක්කර 35 ක වනාන්තර ප‍්‍රදේශයක දැනට වසර ගණනාවක සිට අනවසරින් පවත්වාගෙන ගිය එච්.වී.ඒ ෆාම් වගා ව්‍යාපෘතිය තව දුරටත් පුළුල් කිරීමටල වනාන්තර අක්කර 225 ක් ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. තවත් වනාන්තර අක්කර 75 ක් අනවසරයෙන් අත්පත් කරගෙන ඒ සමස්ත වනාන්තර ප‍්‍රදේශය ආවරණය වන පරිදි විදුලි වැටක් ඉදි කර තිබේග අනවසර ව්‍යාපෘතිය නතර කිරීම වෙනුවට ඉඩම් අක්කර 225 ක් වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතයෙන් හා තබ්බෝව අභයභූමියෙන් ලබා ගැනීමට හැකි වූයේ ධනවත් ව්‍යාපාරිකයන් හා දේශපාලන නෑ හිතවතුන් ඉදිරියේ ලංකාවේ පරිසර නීති ක‍්‍රියාත්මක වීමේ තරම ලොවට පසක් කරමිනි. වනාන්තර අක්කර 75 සඳහා නීත්‍යනුකූල ව පිළිගත හැකි සින්නක්කර ඔප්පුවක් නැතත්, වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම්තුමා සමාගම ආරක්ෂා කිරීමට රජයට අයත් වනාන්තර බිම සඳහා ව්‍යාජ ලෙස සකස් කළ ඔප්පුවට නීත්‍යනුකූල බවක් ලබා දී තිබේ. වයඹ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ද මේ පිළිබඳ නිවැරදි තතු දැන සිටිය ද මේ ව්‍යාජ ඔප්පුව පිළිගැනීම පුදුමයට කරුණකි. මේ තත්ත්වය මෙතෙකින් නතරවී නොමැත. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ස්වාරක්ෂක කලාපයේ (Buffer Zone) අලි – ඇතුන්ගේ වාසස්ථානයක් මධ්‍යයේ මේ මහ පරිමාණ ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා වයඹ පලාත් පරිසර අධිකාරියෙන් ද අවසර ලබා දී ඇත. මේ සියල්ල කෙසේ සිදු වුණි දැයි සිතා ගැනීමටත් අපහසු ය.

වනජීවී හා පුරාවිද්‍යා රක්ෂිත මධ්‍යයේ පිහිටි එච්.වී.ඒ ෆාම් නමින් පවත්වාගෙන යන අනවසර වගා ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම වන කලාඔයට පහළිනි. එනම් පුත්තලම දිස්ති‍්‍රක්කයේ, වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 635 රාල්මඩුව ග‍්‍රාම නිලධාරී වසමේ අච්චිමලේ ග‍්‍රාමයේ ය. අක්කර 35 ක් පමණ වූ භූමි ප‍්‍රදේශයක පළතුරු වගා නියමු ව්‍යාපෘතියක් ලෙස H. V. A. Farm Pvt (Ltd) නමින්Eco – Friendly Organic Farm ලෙස සඳහන් කරමින් මෙය සිදු කරගෙන යනු ලැබිණි. මෙහි ප‍්‍රධාන කාර්යාලය කඳානල ලින්ටන් පාර, අංක 39/ඒ, දරණ ස්ථානයේ පිහිටා තිබේ. එහි හිමිකරු වන්නේ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ බෑණනුවන් වන රොහාන් ප‍්‍රනාන්දු මහතා ය.

දැනට වගා ව්‍යාපෘතිය අනවසරයෙන් ව්‍යාප්ත කර ඇති අක්කර 35 ක් පමණ වන භූමිය වනජීවී ආරක්ෂිත ප‍්‍රදේශ දෙකකට ඇතුළත් ය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හෙක්ටයාර 30128.9 ක් වන වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතය තුළ මේ ව්‍යාපෘති බිමෙන් වැඩි කොටසක් පිහිටා තිබේ. මේ වගා ව්‍යාපෘති බිමේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ස්ථානගත කර ඇති යෝජිත රක්ෂිතයේ මායිම් කණු ද දක්නට ලැබේ. මීට අමතර ව 2002 ජූලි 19 වන දින අංක 1245/31 දරන ගැසට් නිවේදනයට අනුව ප‍්‍රකාශිත හෙක්ටයාර 2193.309 ක් වන තබ්බෝව අභයභූමියෙහි මේ වගා බිමෙන් කොටසක් පිහිටා තිබේ. එපමණක් නොව අච්චිමලේ පුරාවිද්‍යා රක්ෂිතය තුළ මේ වගා ව්‍යාපෘතිය පිහිටා ඇත. මේ සියල්ල සිදු වන තුරු අදාළ රාජ්‍ය නිලධාරීන් මුණිවත රකිමින් මේ අනාගත පරපුරේ සම්පත් වැනසීමට ඉඩකඩ ලබා දුන්නේ දේශපාලන හා මුදල් බලය ඉදිරීයේ වීම කණගාටුවට කරුණකි.

හානි කර වගා ව්‍යාපෘතියේ ඉතිහාසය

මේ අයුරෙන් වනජීවීන් ගේ රැකවරණය සඳහා වෙන් කළ භූමි ප‍්‍රදේශයන්හි මේ වගා බිම් ස්ථානගත කර ඇත්තේ කෙසේ ද යන්න විමසා බැලිය යුතු කරුණකි. මේ ප‍්‍රදේශවල පිහිටි රජයේ ඉඩම් අනවසරයෙන් වගා කටයුතු සඳහා යොදා ගැනීම නිරන්තරයෙන් සිදු වේ. පළමු ව අක්කර 2 – 3 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් අනවසරයෙන් අල්ලා ගෙන ඒ භූමිය එළි පෙහෙළි කර වගාවන් සිදු කැරේ. පසු ව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට මේ පිළිබඳ ව දැනගන්නට ලැබී එකී ප‍්‍රදේශ පරීක්ෂා කළ විට වගා කළ පුද්ගලයන් සිදු කරන්නේ ඒ භූමිය වගා කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසට ඉල්ලීම් කර වාර්ෂික බලපත‍්‍ර ලබා ගැනීම යි. එච්.වී.ඒ. ෆාම් පෞද්ගලික සමාගම මඟින් ද සිදු කර ඇත්තේ මේ ක‍්‍රියාව ම ය. 1997 වසරේ දී පළමුව අක්කර 4 ක් සඳහා ද ඉන් පසු ව අක්කර 8 ක් හා අක්කර 25 ක් සඳහා ද නියමු ව්‍යාපෘතියක් සිදු කිරීමට ඉඩම් ලබා දෙන ලෙසට ඉල්ලීම් කර තිබේ. එය සැලකිල්ලට ගෙන වයඹ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉඩම් අක්කර හතරක් සඳහා පමණක් වාර්ෂික බලපත‍්‍ර යටතේ ඉඩම් ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.

එය ප‍්‍රයෝජනයට ගනිමින් එච්.වී.ඒ. ෆාම් ආයතනය මඟින් අක්කර 35 ක වනාන්තර භූමියක් වරින්වර අනවසරින් එළිපෙහෙළි කර ගස්ලබු, කෙසෙල්, දොඩම් හා අඹ වගා කර ඇත. වගා කටයුතු සඳහා ස්වාභාවික වනාන්තරය සම්පූර්ණයෙන් ම ඉවත් කර තිබේ. වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීම සිදු කරන්නේ ද ඒ ඉඩම ආසන්නයෙන් ගලා බසිනා රාල්මඩුව ඔයෙනි. මේ අනවසර වගා කටයුතු සඳහා තවත් හෙක්ටයාර 100 ක (අක්කර 250 ක් පමණ) ඉඩම් ප‍්‍රමාණයක් ලබා දෙන ලෙස වයඹ පළාත් පරිසර අධිකාරියෙන් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා 1998/03/24 වන දින අදාළ සමාගම විසින් ඉල්ලූම් කරනු ලැබ ඇත. ඒ අනුව වයඹ පළාත් පරිසර අධිකාරිය මඟින් 1990 අංක 12 දරන පළාත් පාරිසරික ප‍්‍රඥප්තිය යටතේ ප‍්‍රකාශයට පත් කරන ලද 1998 මාර්තු 27 දින අංක 1020/21 දරන විශේෂ ගැසට්
නිවේදනයට අනුව මේ ඉඩම් නිදහස් කිරීම සඳහා පාරිසරික බලපෑම් ඇගැයීම් (තක්සේරු) වාර්තාවක් සකස් කර අනුමැතිය ලබා ගන්නා ලෙසට ව්‍යාපෘති යෝජක සමාගමට දැනුම් දී තිබේ. ඒ අනුව 1999 ජූලි 28 වන දින වයඹ පළාත් පරිසර අධිකාරිය වෙත අනුමැතිය සඳහා අදාළ වාර්තාව ඉදිරිපත් කර ඇත. මේ වාර්තාවට අනුව ඉල්ලූම් කර ඇති ඉඩම් ප‍්‍රදේශ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පේ‍්‍රරක කලාපයට හා කලාඔයේ ජලපෝෂක ප‍්‍රදේශයට අයත් වන නිසා, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා නිර්දේශ ලබා දීම ප‍්‍රතික්ෂේප කැරිණි.

දිස්ත‍්‍රිත් ලේකම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වයඹ පළාත් පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඉඩම් පරිහරණ සැලැසුම් අංශය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රජයේ ආයතනවල නියෝජිතයන් ගේ එකමුතුවෙන් සමන්විත පුත්තලම දිස්ත‍්‍රික් ඉඩම් පරිහරණ කමිටුව අදාළ කරුණ සම්බන්ධයෙන් 2003.04.02 වන දින රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරු ව ඒකමතික ව තීරණය කර ඇත්තේ පාරිසරික ව හා පුරා විද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා මේ ප‍්‍රදේශය සංවර්ධන කටයුතු සඳහා නිදහස් නොකළ යුතු බව යි.

රජයේ ඉඩම් ආඥා පනතේ විධිවිධානයන්ට අනුව ද කෘෂිකාර්මික කටයුත්තක් සඳහා අක්කර 50 කට වඩා වැඩි ඉඩම් ප‍්‍රමාණයක් නිදහස් කිරීමට ප‍්‍රථම, ඊට අදාළ සියලූ ම ආයතනවල නිර්දේශ ලබාගැනීම අවශ්‍ය ව ඇත. මෙවන් නෛතික ප‍්‍රතිපාදන රාශියකට යටත්ව පවතින රජයේ කැළෑ ඉඩමක් පෞද්ගලික ආයතනයක් මඟින් බලහත්කාරයෙන් ලබා ගැනීම ලංකාවේ නීති පද්ධතිය හෑල්ලූවට ලක් කිරීමකි. එච්.වී.ඒ ෆාම් මඟින් දැනට අනවසරයෙන් වගා කර ඇති ඉඩම් කොටසේ ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා කැණීම් කිරීමේ දී අඩි 02 ක් පමණ උස කිරිගරුඩ බුද්ධ ප‍්‍රතිමාවක් හමු වී ඇත. මීට අමතර ව මේ ප‍්‍රදේශයෙන් ශෛලමය ගල් ආසනයක්, ඇතුළුව ගල් කණු බොහොමයක් මතු ව තිබේ. ඒවා සියල්ල ම එච්.වී.එ. ෆාම් වගා භූමියේ පිහිටි ගොඩනැඟිල්ල ඉදිරිපිට අනාරක්ෂිත ලෙස තබා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ගොඩනැඟිල්ල පිහිටි ප‍්‍රදේශය ඇතුළත් ව පුරා වස්තූන් හමු වූ අක්කර 2.5 ක් පමණ භූමි ප‍්‍රදේශය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. එවන් ප‍්‍රදේශයක් වගා කටයුතු සඳහා යොදා ගැනීම කෙතරම් සාධාරණ ද යන්න සිතා බැලිය යුතු ය.

හානි කර වගා ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය

එච්.වී.ඒ ෆාම් වගා ව්‍යාපෘති භූමිය අලි ගැවසුම් ප‍්‍රදේශයකි. ඒ වටා සම්පූර්ණ ප‍්‍රදේශය ම විල්පත්තුව හා සම්බන්ධ වනාන්තර පද්ධතියක් ලෙස පවතී. නිරන්තරයෙන් මේ ප‍්‍රදේශයට අලින් පැමිණෙන අතර, අලින් පලවා හැරීමට විශාල පරිශ‍්‍රමයක් දැරීමට ද මේ සමාගමට සිදු වී ඇත. අලින් මේ වගා භූමියට හානි සිදු කර ඇති ආකාරය ද අප ගේ නිරීක්ෂණවලට ලක් ව තිබේ. මේ තත්ත්වය සැලැකිල්ලට ගෙන 2003 වසරේ දී පුත්තලම දිස්ත‍්‍රික් ඉඩම් පරිහරණ කමිටුව විසින් මේ ස්ථානයෙන් මේ ව්‍යාපෘතිය ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව ඒකමතික ව තීරණය කළ ද අදාළ සමාගම මේ වගා ව්‍යාපෘතිය ඉවත් කර නොගැනීමට එරෙහිව සීමාසහිත පාරිසරික පදනම මගින් නඩුකරයක් ගොනු කරන ලදී. පසු ව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ අංක 35/2007 දරන නඩුවට අනුව අධිකරණ ක්ෂේත‍්‍රයේ නව පරිච්ෙඡ්දයක් විවර කරමින් හිටපු අග‍්‍රවිනිශ්චකාර සරත් එන් ද සිල්වා මහතා විසින් මේ අනවසර ව්‍යාපෘතිය ඉවත් කිරීම වෙනුවට විකල්ප ඉඩමක් ලබාදෙන ලෙසට නියෝග කැරිණි. ඒ නියෝගය උපයෝගී කර ගනිමින් එච්.වී.ඒ ෆාම් ආයතනය අද වන විට වීරක්කුලිචොලේ – එළුවන්කුලම් යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 225 ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙන් කර ගෙන තිබේ. එහෙත් ඒ නඩු තීන්දුවේ කිසිදු ස්ථානයක රක්ෂිතයකින් ඉඩම් ලබා දෙන ලෙසට සඳහන් ව නොමැති මුත්, ඉහළ දේශපාලන මැදිහත්වීම අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ගේ තීරණයක් ලෙස මේ ඉඩම් ලබාදීම සිදු කර තිබේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිට කරුවලගස් වැව දෙසට අලින් ගමන් කරන සාම්ප‍්‍රදායික ගමන් මාර්ගය විහිදී ඇත්තේ මේ ප‍්‍රදේශය හරහා ය. එය විදුලි වැටවල් යොදා අවහිර කිරීම හේතුවෙන් අලි – මිනිස් සහජීවනය බිද වැටීමක් මේ ප‍්‍රදේශයේ සිදු විය හැකි ය. මේ වගා භූමියේ මායිමෙන් ගලා යන රාල්මඩුව ඔය දැඩි නියං කාලවල දී පවා සිදී නොයන බැවින් එහි ජලය බීමට අලි මේ ප‍්‍රදේශයට පැමිණෙති. එහෙත් වගා භූමියෙන් අලින් ගේ ගමන් මාර්ගය අද වන විට අවහිර වී පැවැතීම විශාල බාධකයක් වී ඇත.

වන සංරක්ෂණ ආඥා පනත හා වයඹ පළාත් පරිසර ප‍්‍රඥප්තිය අභියෝගයට ලක් කිරීම

මේ ඉඩම් වෙන්කර දීම සම්පූර්ණයෙන් ම නීති විරෝධී ක‍්‍රියාවකි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මෙලෙස ලබාදීමේ හැකියාවක් නොමැත. 2009 අංක 56 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනත සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ම යෝජිත රක්ෂිතයට අයත් වීරක්කුලිචෝලේ – එළුවන්කුලම වනාන්තර ඉඩම් ලබා දීම කනගාටුවට කරුණකි.

මීට අමතර ව වයඹ පළාත් පරිසර ප‍්‍රඥප්තිය අභියෝගයට ලක් කරමින් හා මුල දී ඒකමතිකව ගත් තීන්දු අභියෝගයට ලක් කරමින් මේ හානි කර ව්‍යාපෘතිය සඳහා පාරිසරික අනුමැතිය ද ලබා දී තිබේ. මේ ප‍්‍රඥප්තිය යටතේ ප‍්‍රකාශයට පත් කරන ලද 1998 මාර්තු 27 දින අංක 1020/21 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි කැළෑ ඉඩමකල කැළෑ ආශි‍්‍රත නොවන සංවර්ධන කටයුත්තක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගැයීම් කි‍්‍රයාවලියට යටත් ව කටයුතු කර පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. ඒ සඳහා සකස් කළ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව දුර්වල හා නියමිත ප‍්‍රමාණාත්මක ඇගයීමකින් තොර වාර්තාවකි. එහෙත් මේ වාර්තාව පදනම් කරගෙන වයඹ පළාත් පරිසර අධිකාරිය
කෙසේ අවසර ලබා දුන්නේදැයි විශාල ගැටළුවක් මතු වේ. 2003 වසරේ දී රාජ්‍ය නිලධාරීන් සියල්ලගෙන් සැදුම්ලත් පුත්තලම දිස්ත‍්‍රික් ඉඩම් පරිහරණ කමිටුව විසින් ඒකමතික ව හානි කර ව්‍යාපෘතියක් යැයි තීරණය කළ මේ ව්‍යාපෘතියට 2011 වසරේ දී අවසර ලබා දුන්නේ කුමන පදනමක් මත ද යන්න අපට නොවැටහේ.

හානි කර වගා ව්‍යාපෘතියේ ව්‍යාජ මුහුණුවර

පරිසර හිතකාමී කාබනික ගොවිතැන නාමයෙන් ව්‍යාජ ව හඳුන්වන මේ වගා ව්‍යාපෘතිය සඳහා කිසිදු කාබනික සහතිකයක් ලබාගෙන නොමැත. කාබනික සහතිකකරණයේ ජාත්‍යන්තරව පිළිගත් :ෂබඑැරබ්එසදබ්ක ත්‍ැාැර්එසදබ දෙ ධරට්බසජ ්ටරසජමකඑමරු ඵදබමපැබඑ – ෂත්‍ධ්ඵ* ප‍්‍රමිතීන්ට අනුව වනාන්තරයක් එළි කර එහි කාබනික ගොවිතැන් ව්‍යාප්ත කිරීමේ හැකියාවක් නොමැති අතර ඒ සඳහා කාබනික සහතිකය ලබාගත නොහැකග අප මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීමේ දී අනාවරණය වූයේ මේ වගාවන් සඳහා රසායනික ද්‍රව්‍ය භාවිත කරන බවත් මෙහි පළතුරු අපනයනය කිරීම සිදු නොකරන බවත් යග තව ද කාබනික ගොවිතැනේ භාවිත වන නිවැරැුදි සටහන් තබාගැනීමේ ක‍්‍රමවේදයක් මෙහි සිදු නොවන බවත් තහවුරු වී ඇතග අප මෙය ඉතා වගකීමෙන් යුතු ව සඳහන් කර සිටින අතරල රාජ්‍ය ආයතන මුළා කරමින් මේ ව්‍යපෘතිය කාබනික ගොවිතැනේ නාමයෙන් ව්‍යාජ ලෙස පවත්වාගෙන යන බව ද මෙසේ සටහන් කරමුග

මේ සඳහා නීතිය ක‍්‍රියාත්මක කරනු වෙනුවට ඒ සඳහා අනුබල ලබාදීමෙන් හා අදාළ නිලධාරීන් මුනිවත රැුකීමෙන් සිදු වන්නේ පියවරින් පියවර රක්ෂිත වනාන්තර විනාශ කිරීමට සමාගම්වලට ඉඩකඩ ලබාදීමකිග පළමු අදියරේ දී ම මේ සඳහා නීතිය ක‍්‍රියාත්මක නොකිරීමේ ප‍්‍රතිඵලය වී ඇත්තේ අද වන විට වනාන්තර අක්කර 225 ක් වීරක්කුලිචෝලේ – එළුවන්කුලම් යෝජිත රක්ෂිතයට අහිමි වීම යග මෙය වනාන්තර අහිමි කිරීමක් පමණක් නො වල අලි ඇතුන් ගේ නිජබිමක් හා අලිමංකඩක් අහිමි කිරීමකිග මේ හානිකර ක‍්‍රියා පිටුදැකීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වයඹ පළාත් පරිසර අධිකාරිය තමන් සිදු කළ වැරැුදි නිවැරැුදි කර ගැනීමට ඍජු නිර්භීත තීරණයක් ගනු ඇතැ යි බලාපොරොත්තු වෙමුග එසේ නොවුණහොත් හෙට දින එච්ග වීග එ්ග ෆාම් මඟින් දැනට විදුලි වැටක් යොදා වෙන්කර ඇති ව්‍යාජ ලිපි ලේඛන සකස් කර අත්පත් කරගත් වනාන්තර අක්කර 75 ත්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්
ලබා දුන් වනාන්තර අක්කර 225 ත් වන සතුන්ට අහිමි කරමින් එළි පෙහෙළි කරනු ඇතග ඉන් පසු ව නීතිය ක‍්‍රියාත්මක කිරීමෙන් පලක් නොමැති බව අවධාරණයෙන් යුතු ව ලියා තබමු.

සජීව චාමිකර | Sajeewa Chamikara
පරිසර සංරක්ෂණ භාරය

නීතිඥ සංගමයේ ‘මහා පාවා දීම’ සහ අරගලයේ ඉදිරි ගමන !

[Photos Credit: twitter.com/PresRajapaksa]
අතිශය තීරණාත්මක මේ මොහොතේදී කිසිවකු නො සිතූ පරිදි ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය(Bar Association of Sri Lanka& විසින් අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා වූ අරගලය මුඵමනින් ම පවා දෙනු ලැබ තිබේ. ඒ, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ ය.

මෙම නිර්ලජ්ජිත පාවා දීම සිදු වූයේ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ඇතුඵ නියෝජිත පිරිසක් පසුගිය සදුදා දින (2013/01/14) ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ය.(එම ප්‍රවෘත්තිය මෙයින් නැරඹීය හැකිය.) ජනාධිපතිවරයා සමග නීතිඥ සංගමයේ නියෝජිත පිරිස සිදු කළ සාකච්ඡා අවස්ථාවන් රූපවාහිනි මාධ්‍යයෙන් පැහැදිලිව ම අපට දැක බලා ගැනීමට ද හැකි විණි.

එහිදී නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිස ජනාධිපති ඉදිරියේ හැසිරුණේ කුඩා දරුවකු වරදක් කොට පියා ඉදිරියේ සමාව ඉල්ලා වැඳ වැටෙන ආකාරට ය. පියා ජනාධිපතිවරයා ය. ‘වරදකාර’ දරුවා නීතිඥ සංගමයේ නියෝජිත පිරිස ය. වරදකාර දරුවා, පියාගේ ඉල්ලීමකින් තොරව ම පියා ඉදිරියේ පාපොච්චාරණයක් සිදු කරන්නට විණි. දරුවාගේ පාපොච්චරණයෙන් දක්වා සිටියේ වරද ඇත්තේ තමන් අත නොව වෙනත් ළමයින් කණ්ඩායමක් අත බව ය.(එකී ළමයින් කණ්ඩායම වූයේ පියාගේ ඒකාධිපති පාලනයෙන් අධිකරණය නිදහස් කිරීමේ දැවැන්ත අභියෝගයට මුහුණ දෙමින් සිටින නීතිඥ ප‍්‍රජාව ය.) අවසානයේදී පියා තම දරුවාට සමාව දුන්නේ යළිත් වරක් එවැනි වරදක් නො කිරීමට අනිත් ළමයින් කණ්ඩායම ද දැනුවත් කොට ඔවුන් යහමගට ගැනීමට කටයුතු කරන ලෙස දැඩිව තරවටු කරමිනි. දරුවා ද තම පියාට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා යටහත් පහත්ව හිස නමා අවසානයේදී සතුටින් විසිර ගියේ ය.

මෙය ‘තුට්ටු දෙකේ’ සිනමා පටයක එක් ජවනිකාවක පිටපතක් ලෙස පෙනී ගිය ද සැබැවින් ම නීතිඥ සංගමයේ නියෝජිතයන් ජනාධිපති ඉදිරියේ හැසිරුණේ එලෙසිනි.

දැන් මතු කළ යුතු අනිවාර්ය ප‍්‍රශ්නය වන්නේ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය මේ මොහොතේදී රග දක්වන භූමිකාව කුමක් ද යන්න ය. විධායකය සහ ව්‍යවස්ථාදායකයේ විෂම සන්ධානගත වීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය එළිපිට ම විනාශ කරන මෙවැනි ඛේදනීය අවස්ථාවක නීතිඥ සංගමයේ සභාපති විජයදාස රාජපක්ෂ ඇතුඵ නියෝජිතයන් සමස්ත නීතිඥ ප‍්‍රජාව ම පාවා දුන්නේ කාගේ අවශ්‍යතාව මත ද යන්න පැහැදිලි කර ගත යුතු ය.

මෙම හමුවේදී එක් නීතිඥ නියෝජිතයකු ජනාධිපති ඉදිරියේ ඉතා ම බැගෑපත්ව කරුණු දක්වන්නට වූයේ ජනතාවගේ ද පුඵල් සහභාගිත්වයෙන් නීතිඥ ප‍්‍රජාව ජනවාරි 10 දින සංවිධානය කළ දැවැන්ත විරෝධතා පා ගමන සහ ජනවාරි 11 දින උසාවිවල කලු කොඩි ඔසාවා දෝෂාභියෝගයට එරෙහිව පළ කළ විරෝධතාව නීතිඥ සංගමය විසින් ගනු ලැබූ තීරණයක් මත සිදු කෙරුණක් නොව එය හුදෙක් පෞද්ගලික උවමනාවන් පෙරදැරි කර ගෙන යම්කිසි කණ්ඩායමකගේ අවශ්‍යතාව මත සිදු කෙරුණක් බව ය. එකී ක‍්‍රියාවන්ගෙන් රජය අපහසුතාවයට ලක් වූ බව තමන් පිළිගන්නා බව ද එම නියෝජිතයා කිසිදු හිරිකිතයකින් තොරව ජනාධිපති ඉදිරියේ පාපොච්චාරණය කරන්නට විණි. මෙම නියෝජිතයාගේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් සභාපති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මුනිවත රැක්කේ ඔහු ද ඒ මතය පිළිගන්නා නිසාවෙන් බව නිගමනය කළ හැකි ය. එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් සභාපතිවරයාගේ විරෝධාතවක් පැවැතියේ නම් ඒ අවස්ථාවේදී ම අදාළ නියෝජිතයා නිවැරැුදි කොට ජනාධිපති ඉදිරියේ නිර්භීතව කරුණු කියා පෑමට සභාපතිවරයාට ඉඩ තිබිණි. එහෙත් ඔහු එවැන්නක් කළේ නැත.

අගවිනිසුරුවරියට එරෙහිව ගෙන එනු ලැබූ දෝෂාභියෝගයට විරෝධය පළ කරමින් පසුගියදා කොළඹ පැවැති දැවැන්ත විරෝධතා පා ගමන සහ උසාවිවල කලු කොඩි එසැවීම සංවිධානය කෙරුණේ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ තීරණ අනුව නොවන බව පැහැදිලි සත්‍යයෙකි. සමස්ත නීතිඥ ප‍්‍රජාවගේ ම ශක්තියෙන් ගොඩනැගුණු නීතිඥ එකමුතුවට අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කිරීමට සිදුව ඇත්තේ ද නීතිඥ සංගමය තම වගකීමෙන් කර ඇර සිටින නිසාවෙනි.

ආණ්ඩුවක් ඒකාධිපති වියරුවෙන් උන්මත්තකව හැසිරෙන විට අවම වශයෙන් අධිකරණයේ ස්වාධීනත්වය හෝ හැකි උපරිම මට්ටමෙන් ආරක්ෂා කිරීමේ අත්හැරිය නො හැකි වගකීමක් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය සතු වේ. ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය යනු එසේ මෙසේ එකක් නොව මුලු රටේ ම නීතිඥයන්ගේ සාමාජිකත්වයෙන් සැදුම් ලත් ආයතනයෙකි. එවැනි නීතිඥ සංගමයක මූලික කාර්යභාරය විය යුත්තේ සාමාජික ගාස්තු එකතු කිරීම, වාර්ෂිකව දිනපොත් මුද්‍රණය කිරීම, වාර්ෂික පැදුරු සාද පවැත්වීම හා සාමාජිකයන්ට වාහන බලපත‍්‍ර දීම, සාමාජිකයන්ගේ දුරකථන අංක හා ලිපිනයන් පවත්වා ගෙන යාම යනාදිය නො වේ. නීතිඥ සංගමය යනු හුදෙක් සුබසාධන සංගමයක් නො වේ. රටක නීතිඥ සංගමයක් ක‍්‍රියා කළ යුත්තේ නීතිඥයන්ගේ වෘත්තීමය ගරුත්වය මනාව සුරක්ෂිත කිරීමට මෙන්ම රටේ යුක්තිය හා සාධරණත්වය ඉටු කරන යන්ත‍්‍රණයේ ආරක්ෂයකු ලෙස අවශ්‍ය මොහොතේදී කටයුතු කිරීමට ද වේ.

නීතිඥයන්ගේ වෘත්තීමය ගරුත්වය සුරක්ෂිත කිරීම යනු කුමක් ද? අධිකරණයේ ස්වාධීනත්වයක් නැති රටක කවර නම් වෘත්තීමය ගරුත්වයක් නීතිඥයන්ගෙන් අපේක්ෂා කරන්නේ ද? මෙම දේශපාලන යථාර්ථය තේරුම් ගත යුතු ය. නිවැරැදි දේශපාලන භාවිතයකින් ආණ්ඩුවේ අත්තනෝමතික පාලනයෙන් අධිකරණය මුදවා ගැනීමට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ක‍්‍රියා කළ යුතු ය. මේ වන විට ඒකාධිපති විධායක ජනාධිපතිවරයා අධිකරණයේ ‘රාජපාක්ෂිකභාවය’ වෙනුවෙන් බොහෝ දේ සිදු කොට ඇත. උන්මත්තක වියරු පාලනයකින් අධිකරණය ඇතු`ඵ සමස්ත සමාජය ම බේරා ගැනීමට නම් ඇතැම් විට ජීවිත පවා පුද කිරීමට සිදු වෙනු ඇත. ජීවිත පුද කිරීම කෙසේ වෙතත් අඩුම තරමේ නීතිඥ ප‍්‍රජාව ඇතු`ඵ සමස්ත ජනතාව ම වීදි බැස්ස විය යුතු ය. ජනතා අරගලයකින් මෙහා දෙයක් දැන් ඉතිරිව නැත. අරගල කිරීම යනු නීති වෘත්තියට අකැප හෝ අගෞරව දෙයක් නොවන වග ද නීතිඥ සංගමය දැඩිව අවධාරණය කර ගත යුතු ය. අරගලයකින් තොරව ලබා ගත් නිදහසක් ද නැත.

එහෙත් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය මේ මොහොතේදී එසේ ක‍්‍රියා කරන්නේ ද ? නැත. කිසිසේත් ම නැත. හුදෙක් දෝෂාභියෝගයට එරෙහිව පසුගිය ජනවාරි 10 සහ 11 වැනි දින අධිකරණ කටයුතුවලින් නීතිඥ ප‍්‍රජාව වැළැකී සිටීමට ගත් තීරණයෙන් පමණක් ආණ්ඩුවේ ඒකාධිපති උන්මත්තක පාලනයෙන් අධිකරණයේ ස්වධීනත්වය සුරක්ෂිත කළ හැකි යැයි නීතිඥ සංගමය සිතා සිටින්නේ නම් එය හාස්‍යයට කරුණෙකි.

නීතිඥ සංගමය තවදුරටත් ඒකාධිපති ජනාධිපතිවරයා විශ්වාස කරමින් සිටිය යුතු නැතැයි අමුතුවෙන් කිව යුතු නැත. ජනවාරි 13 වැනි ඉරිදා දින ජනාධිපතිවරයා විසින් අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ අධිකාරී බලපත‍්‍රයට අස්සන් කරනු ලැබ තිබියදීත් ජනවාරි 14 වැනි සදුදා දින නීතිඥ සංගමයේ අදාළ නියෝජිතයන් ජනාධිපති හමු වී කටයුතු කළ ආකාරය සැක සහිත ය. මෙම හමුවට දින යොදා ගැනුණේ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට පෙරදි විය හැකි ය. එහෙත් ජනවාරි 14 වැනිදා විට නව අගවිනිසුරුවරයකු පත් කිරීමට ද ජනාධිපති නියමයෙන් තීරණය කොට තිබිණි. නීතිඥ සංගමයේ නියෝජිතයන් ජනාධිපති හමුවන්නේ එවැනි පරිසරයක් තුළ ය. එහෙත් ඔවුන් ජනාධිපති හමු වී ප‍්‍රකාශ කළේ කුමක් ද? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නව අගවිනිසුරුවරයකු පත් කරන්නේ නම් සමස්ත නීතිඥ ප‍්‍රජාව ම එක් දිනකට – දෙකකට නොව අඛණ්ඩව ම අධිකරණ කටයුතුවලින් ඉවත් වී විරෝධය පළ කිරීමට කටයුතු කරන බවට ජනාධිපති වෙත අනතුරු හැගවීද? නැත. එවැන්නක් සිදු වූයේ නැත. සිදු වූයේ ජනතාවගේ ද සහභාගිත්වයෙන් අරඹා ඇති නීතිඥ ප‍්‍රජාවගේ පුඵල් අරගලය ‘අමු අමුවේ’ ම පාවා දීම ය.

මෙම නීතිඥ සංගමයේ නියෝජිතයන් අතරෙන් කරුණු දැක් වූ බහුතරයක් ජනාධිපතිවරයාගේ ආනුභාවයෙන් රජයේ විවිධ තනතුරු හා වරප‍්‍රසාද විදිමින් සිටින පිරිසෙකි. මෙම තීරණාත්මක මොහොතේදී ආණ්ඩුව ආරක්ෂා කිරීම උදෙසා මෙම අරගලය කොන්දේසි විරහිතව ජනාධිපති ඉදිරියේ පාවා දෙන්නට එකී නීතිඥ නියෝජිතයන් ක‍්‍රියා කළේ එනිසාවෙනි. නීතිඥ සංගමයේ සභාපති ආණ්ඩුවේ තනතුරක් දරන්නේ නැති වුවත් ඔහුගේ හැසිරීම ද සැකයට තුඩු දෙන්නෙකි. කෙසේවෙතත් නීතිඥ සංගමයේ සභාපති විජයදාස රාජපක්ෂගේ ‘වැටකොඵ-පතෝල’ න්‍යායෙන් ආණ්ඩුවේ ඒකාධිපති වියරුවෙන් අධිරණය ආරක්ෂා කිරීමට කිසිිසේත් නො හැකි ය.

මෙම අවස්ථාවේදී වර්තමාන ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පරිබාහිර නීතිඥ එකමුතුවක අවශ්‍යතාව අපට වඩ වඩාත් දැනෙන්නේ එනිසාවෙනි. ආණ්ඩුවෙන් හා ඔවුන්ගේ බත්බැලයන් ලෙසින් කටයුතු කරන නීතිඥ සංගමයේ ම සිටින නීතිඥ සුලු නඩයකින් මෙකී නීතිඥ එකමුතුවට එරෙහිව විවිධ ‘මඩ’ ප‍්‍රචාර එල්ල වීම වැළැක්විය නො හැකි ය. එනිසා ඊට ද ඔරොත්තු දිය හැකි උපක‍්‍රමිකයන් භාවිතා කළ යුතු ය. අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා වූ මෙම දැවැන්ත අරගලය ජනතාවගේ සක‍්‍රීය දායකත්වය ද ලබා ගනිමින් පුඵල් පරාසයක් තුළ විහිදුවන්නට වැඩකරන ජනතාව නීතිඥ ප‍්‍රජාව සමග අත්වැල් බැඳ ගැනීම මේ මොහොතේදී අනිවාර්යය කරුණක් වී තිබේ.

ඒකාධිපති පාලනයකට එරෙහිව අරගල කිරීම යනු දේශපාලන කරුණෙකි. එනිසා ඒකාධිපති පාලනයෙන් අධිකරණය මුදවා ගැනීම යනු ද දේශපාලන කරුණෙකි. නීතිඥ ප‍්‍රජාව අවබෝධ කර ගත යුත්තේ එයයි. නිවැරැදි දේශපාලන භාවිතයක් මෙහිලා පෙන්නුම් කළ යුත්තේ එබැවිනි. එහි අදහස වන්නේ එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ වෙනත් පක්ෂයක හෝ පසුපස ගොස් මෙකී අරගලය ජයග‍්‍රහණය කර ගත හැකි ය යන්න නො වේ. හුදෙක් පක්ෂගත දෘෂ්ටියකට මෙම අරගලය කොටු නො කොට පුඵල් ප‍්‍රගතිශීලි ජනතා ව්‍යාපාරයක් ගොඩනංවමින් මෙම අරගලය ජයග‍්‍රාහීව ඉදිරියට ගෙන යා යුතු ය. එය මෙරටේ බදු ගෙවන සමස්ත ජනතාව මත ම පැවැරී ඇති දෙයෙකි !


සදුන් යාපා කරුණාරත්න | Sadun Yapa Karunarathna

මැරයින්ගේ බාධා සහ මහවැසි නොතකා විශාල ජනතාවක් දෝෂාභියෝගයට විරැද්ධව පාගමනට එක්වෙයි.[Video]


‘‘අද අලුත්කඩේට උදේපාන්දර ආවාහම අපි දැක්කේ මැරයො පොලු අරගෙන ආණ්ඩුවේ ආරක්ෂාව යටතේ සිවිල් ආරක්ෂක බලකාය සිවිල් විදිහට ඇදගෙන පහර දෙන්න බලාගෙන හිටියා. අපි ඒ වගේම දැක්කා ඒ හැමදෙනාටම රාජ්‍ය ආරක්ෂාව ලැබුනා.‘‘ යැයි ඊයේ(10) දෝෂාභියෝගයට විරැද්ධව පැවති විරෝධතා පාගමනේ දී අදහස් දැක්වූ නීතිඥ සංවිධාන එකමුතුවේ, නීතිඥ ජේ. සී වැලිඅමුණ මහතා ප්‍රකාශ කළේය.

නීතිඥ සංවිධාන එකතුව, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන මෙන්ම වෘත්තීයවේදීන් ඒක්ව රාජපක්ෂ ආණ්ඩුව විසින් අගවිනිසුරැවරියට විරැද්ධව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගයට විරැද්ධව පැවති විරෝධතා පාගමන මහ වැසි මෙන්ම මැරයින්ගේ බාධා කිරීම් හමුවේ විශල ජන සහභාගීත්වයකින් අද පැවැත් විය.

උදෑසන සිට මැරයින්ගේ බාධා කිරීම් සිදු වුවද අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ සිට විශාල ජනතාවක් හිල්ටන් හෝටලය අසල වටරවුම දක්වා පැමිණියේය. විරෝධතා පාගමනට ඉන් ඉදිරියට යාමට පොලීසිය විසින් අවහිර කිරීමෙන් පසු එම ස්ථානයේ රැස්වීමක් පවත්වා නැවතත්, අලුත් කඩේ උසාවි සංකීර්ණයට පැමිණ එම විරෝධතාවය අවසන් කලේ ය.

මේ එම විරෝධතාවයේ අවස්ථාවන් පිළිබදව ‘විකල්ප‘ තබන රෑපමය සටහනක්.

YouTube Preview Image

සම්පූර්ණ ඡායාරෑප සටහන

රිසානා, ඔබේ කතාව අවසන්…..හෙට අපි…?

ඊයේ(09) උදෑසන සෞදි අරාබියේ ඩවාඩමි නගරයේදී රිසානා නෆීක්ව හිස ගසා මරා දැමූ පුවත අප වෙත ලැබුණි. අවුරුදු හතක් තිස්සේ එහා මෙහා විසී කරමින් තිබුණු, ඇගේ ජිවිතය එසේ අවසන් විය. මීට දින කිහිපයකට පෙර අපේ ජනාධිපති, රිසානාට සමාව දෙන ලෙස ඉල්ලා සෞදි රජුට ලියුමක් යැවූ ප‍්‍රවෘත්තිය මාධ්‍යවල පළවිය. රිසානාව කොයි මොහොතේ හෝ හිස ගසා මරා දැමිය හැකි බැවින්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව වහා මැදිහත් වී ඇය බේරා ගැනිම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් කළ හැකි සියළු දේ කළ යුතුයැයි මතක් කරමින්, බී බී සී සංදේශයේ සහ වෙනත් වෙබ් අඩවිවල පළ වුණු පුවතකට ප‍්‍රතිචාර ලෙස මේ ජනාධිපතිගේ ලියුමේ කතාව පළ විය. මීට මාසයකට පමණ ඉහතදී ලොකු අකුරින් පත්තරවල මුල් පිටුවේ ශීර්ෂය ලෙස පළ වූ පුවතත් වූයේ, ‘‘රිසානාට ළඟදීම නිදහස’’ යන්නයි. ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඇය නිදහස් කර ගැනීම වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කරන බවත්, ඒවා සෑහෙන දුරට සාර්ථක වී ඇති බවත් කියමින් ඒ පුවත පළ විය. රිසානාට නිදහස ලබා ළඟදීම ශ‍්‍රී ලංකාවට එන්නට හැකි වෙනු ඇතැයි එයින් කියැවිණි. ඩිලාන් පෙරේරා ඇමතිවරයාත්, තවත් රජයේ මැති ඇමතිවරුනුත් මේ ගැන උනන්දුවෙන් වැඩ කරන බව සඳහන් වී තිබුණි.

කෙසේ හෝ, රිසානාව මරා දැමුණි. තමන් නොකළ මිනී මැරුමකට, තමන්ට නොතේරෙන අධිකරණ තීන්දුවකින් වරදකරු කොට, නානඳුන රටක, දන්නා හඳුනන කිසිවෙකුත් නැති හිරගෙදරක අවුරුදු හතක් පුරා රඳවා තබා ගෙන හිඳ අවසානයේ, ඇයව ම්ලේච්ඡ ලෙස, මරා දමනු ලැබුවාය. ඇගේ මරණය ආරංචි වූ විට, අපේ පාර්ලිමේන්තුවේ මැති සබය ඈ වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් පිරූ බව නිව්ස් ඇලර්ට් වලින් කියවිණි.

දැන් ඒ පරිච්ඡේය අවසන්ය. වරින් වර, මානව හිමිකම් සංවිධාන විසින්, රිසානා නිදහස් කරගන්න මොනවහරි කරන්නැයි කියමින් ඇති කරන කන් කරච්චලය දැන් නවතිනු ඇත. එක හිසරදයකින් නිදහස් වුණා කියා අපේ ආණ්ඩුවට හිතෙනවා විය හැකියි.

රිසානා සෞදි ආරාබියේ මෙහෙකාරකමට යන්නේ මහින්ද රාජපක්ෂ ශ‍්‍රී ලංකාවේ ජනාධිපති පදවියට පත් වූ අවුරුද්දේයි. තමාගේ රැකවරණයේ සිටි සිවු මස් වියැති බිළිඳෙකුව ඝාතනය කළා යැයි කියමින් ඇයට එරෙහිව එල්ල වූ චෝදනා වලින් වරදකරු කොට මරණ දඬුවමට නියම කරන්නේත් ඒ වසරේදීමයි. එතැන් පටන් අද දක්වා වසර හතක් පුරා ඇය ගත කළේ ඒ හිර ගෙදරයි. ඇයට එරෙහිව එල්ල වූ මිනී මැරැම් චෝදනාව සාවද්‍ය බවත්, නඩු ඇසීමේදී ඇයට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවත්, ඇගෙන් බලහත්කාරයෙන් ලබා ගත් පාපොච්චාරණයක් මත පදනම්ව තීන්දුව දුන් බවත්, අඩුම තරමින් ඇයට භාෂා පරිවර්තකයෙකුවවත් සපයා දී නොතිබුණු බවත් ඇය වෙනුවෙන් පසුව පෙනී සිටි මානව හිමිකම් සංවිධාන හෙළි දරවු කර තිබුණි. පළමු නඩු තීන්දුවෙන් පසු, අභියාචනයක් ඉදිරිපත් කරන්නට අවශ්‍ය නඩු ගාස්තු ඇය වෙත යවන්නටවත් ශ‍්‍රී ලංකා ආණ්ඩුව උනන්දු නොවූ බැවින්, ආසියානු මානව හිමිකම් කොමිසම ඇය වෙනුවෙන් ඒ මුදල එකතු කොට යැවූ බවත් දැන් කවුරුත් දන්නා කාරණයයි. කෙසේ හෝ මානව හිමිකම් සංවිධානවල බරපතල මැදිහත්වීම හමුවේ, ඇගේ මරණ දඬුවම ක‍්‍රියාත්මක වීම වසර ගණනාවකින් කල් ගියේය. නමුත්, මනුෂ්‍යත්වය පරදා, ම්ලේච්ඡත්වය ජය ගත්තේ, ඒ අහිංසක දැරිය තිරිසන් ලෙස මරා දැමීමෙනි. ඈ වෙනුවෙන්, ශ‍්‍රී ලංකාණ්ඩුවෙන් විශාල මැදිහත්වීමතක් සිදු නොවූ බව, ඒ හා ඈඳුණු මුළු ක‍්‍රියාවලිය දෙසම බලන විට පැහැදිලි වෙයි. එසේ මැදිහත්වීමක් කරන්නට තරම් වටිනා චරිතයක් නොවන නිසා වෙන්නට ඇති රිසානා.

රිසානා, ආරාබියේ මෙහෙකාර කමට යන්නේ වයස අවුරුදු 17දීයි. එනම් තවමත් ළමයෙක් ලෙස සිටියදීයි. විදේශ ගමන් බලපත‍්‍රයේ සාවද්‍ය ලෙස ඇගේ වයස වෙනස් කර තිබුණි. අන්ත අසරණ දුප්පත් පවුලක වැඩිමහල් දියණිය ලෙස උපන් රිසානා, තමන්ගේ සහෝදර සහෝදරියන් ජීවත් කරවන්නට කළ හැකි දෙයක් කරන්නට සෞදි ආරාබියේ වැඩකාරකමට ගියාය. ඈ ගියේ ඇයත් අදහන දෙවියන්ට වඳින මිනිසුන් සිටින රටකටයි. නමුත් ඒ දෙවියන් රිසානාට පිහිට වූයේ නැත. 2004 සුනාමියෙන් තමන් සන්තකයේ තිබූ සියලූ දේ විනාස වී ගිය පසු, කළ හැකි වෙන කිසිවක්ම නැති නිසා වැඩිමහල් දියණිය අරාබියේ සේවයට යැවූ බව රිසානාගේ අසරණ පියා ඇගේ සෞදි හාම්පුතුන් වෙත යැවූ අයාචනාත්මක ලිපියේ සඳහන් වී තිබුණි.

දැන් සියල්ල අවසන්ය. අඩුම තරමින් තමන්ට තම දියණියගේ මිනියවත් ගෙනැවිත් දෙන්නැයි රිසානාගේ අම්මා ඉල්ලා සිටින බව පත්තරවල පළ වී ඇත. අද තඩි පොල් අකුරෙන් ශීර්ෂ පාට යොදන්නට අපේ මාධ්‍යවලට ප‍්‍රවෘත්තියක් ලැබී ඇත. ‘‘පවුල බේරා ගන්නට රට ගිය දියණියගේ සිහිනය බොඳ විය – රිසානා ගෙල සිඳ මරා දමයි’’ ඒ අද ලංකාදීප පුවත්පතේ ශීර්ෂයයි. රිසානාගේ මුතූර්හි අතු පැලත්, ඇගේ කුඩා කළ පින්තූරයතුක්, අසරණ අම්මා තාත්තාගේ ඡායාරූපත් සමග ඒ පුවත පළ කර ඇත. රිසානාගේ මව උහුලා ගත නොහැකී වේදනාවෙන් වැළපෙන ආකාරය හැඟීම්බරව ලියා ඇත. අනෙක් පත්තරවලත්, ‘‘බෙල්ල කපා රිසානාව මරයි’’, ‘‘අහිංසක තරුණියගේ සිහින සැබෑ නොවුණි‘‘ වැනි පුහු, අප‍්‍රිය වදන් රොතු වලින් ලියන පිළුණු ප‍්‍රවෘත්ති පළ කර ඇතිවාට සැක නැත. මැද පිටු පුරා රිසානාගේ ළමා කාලය ගෙවුණු හැටිත්, ඇය ගමේ කාගේත් සිත් ගත් දරුවෙක්ව සිටි හැටිත්, ඇගේ පවුලේ දුප්පත්කමේ තරමත් ගැන භාවාතිශය ලියුම් පළවෙනු ඇත. රිසානා බෙල්ල කපා මරා දමන ආකාරයේ වීඩියෝ දර්ශනත්, ලේ විලක ඇගේ හිස සුන් සිරුර වැටී ඇති ආකාරය පෙන්නන ලොමු දැහැ ගැන්වෙන ඡයාරූපත් නැති බැවින් මාධ්‍යකරුවන්ට විශාල අඩුවක් දැනෙනවා විය යුතුය. ඇහැට පේන්නට ලොකුවට දාන්නට ඉමේජර්ස් නැති නිසා රිසානාගේ පුවත ඉක්මනට වාෂ්ප වී යනු ඇත.

මේ එකදු මාධ්‍යක්වත් මේ ඛේදනීය පුවත පිටුපස ඇති කතන්දරය කතා නොකරනු ඇත. රිසානා බේරා ගන්නට මේ තරම් කාලයත් පුරා ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් සැබෑ ලෙසම කළේ මොනවාද?, කළ හැකිව තිබුණේ මොනවාද? රටට වැඩිම විදේශ විනිමය උපයා දෙන මැද පෙරදිග සේවයට යන අසරණ දුප්පතුන් වෙනුවෙන් ආණ්ඩුව කරන්නේ මොනවාද? මේ දේවල් කතා කරන්නට සංයමයක්, උවමනාවක් මාධ්‍යයට ඇති බවක් පේන්නේ නැත.

ආරාබියේ සේවයට ගිය ශ‍්‍රී ලාංකිකයින්ට විඳින්නට සිදු වූ ම්ලේච්ඡ හිංසනයන් ගැන පහුගිය කාලයේ බෙහෙවින්ම කතා බහට ලක්විය. රිසානා, තවත් එවැනි එක් කතාන්දරයක් පමණි.

හෙට අනිද්දාටත් අරාබියේ හාම්පුතුන්ගෙන් ඇණ ගසාගෙන, ම්ලේච්ඡ ලිංගික අතවරවලට ගොදුරු වීගෙන, ශරීරය පුළුස්සාගෙන, අත පය අවලංගුව, මානසික ලෙඩුන්ව මෙරටට පැමිණෙන අය ගැන තඩි පොල් අකුරින් පත්තරවල පලවෙනු ඇත. ඔවුන්ගේ තුවාලවල සමීප ඡායාරූපත්, ගෙවල් දොරවල්වල ඡායාරූපත් සමග හැඟීම්බර ලිපි මැද පිටුවේ යනු ඇත. පුදුමයක්…..සමහරවිට ඇමති කෙනෙක් රිසානාගේ පවුලට පුංචි ගේ කෑල්ලක් හදා දී ඇති පුවත තව සති දෙක තුනකින් ලොකුවට පලවෙනු ඇත.

‘‘ඒ අයගෙ කරුමෙ තමා’’, ‘‘ලබා උපන් හැටි තමා’’, ‘‘පෙර පව් වෙන්ඩ ඇති’’ කියමින් වරක් දෙකක් හූල්ලා අපි අපේ කෙටි යුතුකම ඉටු කර, අපේ වැඩක් බලා ගමු….

රිසානා, නුඹේ ජිවිතය අපට කියා ගිය කතාව අතිශය ඛේදනීය එකක්. කුඩා කළ පටන්ම අන්ත අසරණ ජිවිතයක් ගෙවා යාන්තං ගැටවර වියට එළඹෙද්දි, පවුලේ බර කරට ගන්නට ඉටාගෙන තවමත් ගෝත‍්‍රික ම්ලේච්ඡත්වය ප‍්‍රසිද්ධ භාවිතයේ තිබෙන, රටක, හිත් පිත් නැති හාම්පුතුන් ළඟ සේවයට ගියා. අන්ත අසාධාරණ නඩු තින්දුවකින්, වරදකරු වී වසර හතක් පුරා අඳුරු හිර ගෙදරක සිර වී හිඳ, අවසානයේ කෘර මරණයකට මුහුණ දුන්නා.

ලෝකය අයිති බලවතුන්ටයි. බලරහිත වුන්ව ජිවත් කරවීම හෝ මරා දැමීම තියෙන්නේ ඔවුන් අතේයි. එක රැයකින් දාස් ගානකට වෙඩි තබා මරා දාන්නට අණ දෙන්නට හැකි රට කරවන මහා බලැත්තන්ට ඔබ වැනි කුඩා ජීවිතයක් බේරා ගන්නට බැරි වීම පුදුමයක්…….

රිසානා නංගි, ඔබේ ජිවිතය අවසන්. ඔබේ වේදනාවත් අවසන්. හෙට අපි අහන්නේ කාගේ වේදනාබර කතාවද?

සංහිඳියාවේ සිට දෝෂාභියෝගය දක්වා: පුරවැසියාගේ සිට යටත්වැසියා දක්වා?


2012 වසරට අප අවතීර්ණ වෙද්දී විලාසිතා වචනය වුණේ සංහිඳියාව හෙවත්, අපේ පුරවැසියන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් වබෝධ කරගත් එහි සංකේත නාමය වූ, එල්.එල්.ආර්.සී.[LLRC] යන්නයි. ඒ වන විට මේ කියන ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන්’ වාර්තාව ජනාධිපතිවරයා අතට පත්ව පාර්ලිමේන්තුව වෙත යොමු කර තිබුණි. ඒ වූ කලී, ජනාධිපතිවරයා විසින්ම පත්කොට තිබූ කොමිසමක් වීම නිසා එහි නිර්දේශයන් සම්පූර්ණයෙන් පිළිගෙන ඒවා ක‍්‍රියාත්මක කිරීමට ඔහු පියවර ගනිතැ යි බලාපොරොත්තුවක් තිබුණි. විශේෂයෙන්, යුද්ධයේ අවසාන අදියර පිළිබඳ සියලූ සැකසාංකා, ප‍්‍රශ්න කිරීම් සහ චෝදනාවන්ට මේ කොමිසමෙන් පිළිතුරු ලැබෙනු ඇතැ යි මුලදී ලෝකයාට කීවේත්, ඔහු සහ ඔහුගේ ආණ්ඩුවයි.

අනතුරුව, ශ‍්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයකට කියැවිය හැකි වන සේ සිංහලට සහ දෙමළට පරිවර්තනය කිරීම සඳහා මේ කොමිසමේ ඉංග‍්‍රීසි වාර්තාව මහ බැංකුවට යවන ලදි. ඔව්, මහ බැංකුවට. මාස නවයක් සහ දහයක පමණ කාලයකින් පසු දැන් එය එම භාෂාවන්ගෙන් කියැවිය හැකිලූ. කෙසේ වෙතත්, මාස ගණන් ගතවෙද්දී, ඇමරිකාව සහ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා ක‍්‍රියාත්මක වූ ජාත්‍යන්තර ප‍්‍රජාව, ශී‍්‍ර ලංකාවට රිදෙන යෝජනාවක් 2012 මාර්තු මාසයේ දී සම්මත කරගන්නා ලදි. ඒ යෝජනාවෙන් ඉල්ලා සිටියේ, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම කඩිනම් කරන ලෙසත්, වගවීම පිළිබඳව, එනම්, යෝජනාවේම සඳහන් පරිදි කොමිසම මගින් ප‍්‍රමාණවත් පරිදි ආමන්ත‍්‍රණය කොට නැති වගවිම පිළිබඳව අනාගතයේ දී ගැනීමට අපේක්ෂා කරන පියවර කුමක් ද යන්න ගැන මානව හිමිකම් කවුන්සිලයට වාර්තා කරන ලෙසත්, කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේ අදියරේ දී එක්සත් ජාතීන්ගේ අදාළ ආයතනවල සහාය ලබාගන්නා ලෙසත් ය. එසේ ලබාගන්නා සහාය යටතේ ඇති කෙරෙන ප‍්‍රගතිය ගැන අවුරුද්දකින් පසු මානව හිමිකම් කවුන්සිලයට වාර්තා කිරීමේ වගකීම, මානව හිමිකම් මහකොමසාරිස්වරිය වෙත පවරන ලදි. දේශපාලන විසඳුමක් පිළිබඳව ලංකා ආණ්ඩුවෙන් දෙන ලද පොරොන්දු කඩ කිරීම ගැන අපේක්ෂා භංගත්වයට පමණක් නොව, පරිහාසයට සහ කෝපයටත් පත්ව සිටි ඉන්දියාව, මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් 24 න් එකක් විය.

ආණ්ඩුව මුලින් බැලූවේ, අශික්ෂිත ආකාරයෙන්, ඇමතිවරුන්, නිලධාරීන් සහ හෙංචයියන් බුරුතු පිටින් ජිනීවා නුවරට යවා යෝජනාව පරාජය කිරීමට යි. එය අසාර්ථක වීමෙන් පසු, ඔවුන් බලාපොරොත්තු වූ තරමේ අධම මාදිලියේ දේශහිතෛෂී රැල්ලක් රට ඇතුළෙන් ගොඩනැගීමටත් ආණ්ඩුව අපොහොසත් විය. පසු ගිය නොවැම්බර් මාසයේ, ශ‍්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ ‘විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව’ ඉදිරිපත් කෙරෙන විට, එල්.එල්.ආර්.සී. නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා වන ‘මානව හිමිකම් පිළිබඳ ක‍්‍රියාන්විත සැලස්මක්’ ලංකා ආණ්ඩුව සකස් කොට තිබුණි. එය තවමත් පවතින්නේ, ‘කෙරෙමින් තිබෙන’ ව්‍යාපෘතියක් වශයෙනි.

මේ අර්ථයෙන් ගත් විට, 2012 මාර්තු මාසයේ ජිනීවා සිදුවීම ආණ්ඩුවට අබග්ගයක්ම විය. ප‍්‍රථම වරට ආණ්ඩුව සැබවින්ම පරාජයකට මුහුණදුන්නේ ඒ අවස්ථාවේ ය. ඒ අනුව, ලංකාවේ යුද්ධය ගෙන ගිය ආකාරය, ජාත්‍යන්තර බහුපාර්ශ්වීය සංවිධානයක න්‍යාය පත‍්‍රයට ප‍්‍රථම වතාවට ඇතුල් විය. තමන් කරන ඕනෑම දෙයක් ඉන්දියාව අනුමත කරති යි විශ්වාස කළ හැකි කාලය අවසන් විය. කොටින්ම, ජිනීවා නුවරින් දියත් කෙරුණු ආණ්ඩුවේ සමස්ත ක‍්‍රියාන්විතය රටේ විදේශ ප‍්‍රතිපත්තියේ නින්දනීය පරාජයක්ම වූ බවට පොදුවේ පිළිගැනුණි. ජිනීවා නුවර සිටි අපේ නිත්‍ය නියෝජිතවරියව එතැනින් පන්නනු ලැබ හවානා නුවර බලා ගියේ බලධාරීන්ට දොස් කියමිනි. මේ සමස්ත සිදුවීම මාධ්‍යය තුළ කර්කශ විවේචනයට ලක්විය. රටේ ස්වෛරීත්වය උල්ලංඝනය වීම පිළිබඳ ඇති වූ ඒ විකාර සන්නියෙන් අත්වූ එක් යහපතක් වුණේ, ජාත්‍යන්තර සම්බන්ධතා කලාව වටහා ගැනීමේ ආරම්භක ලකුණු ආණ්ඩුව වෙතින් දෘශ්‍යමාන වීමයි. එහෙත් මේ වැටහීම කොපමණ කල් කොපමණ දුරට පවතී ද, එය පරාජයේ සහ අපේක්ෂා භංගත්වයේ හුදු වේදනාව පළවීමක් පමණක් ද යන්න නිශ්චිත නැත.

දැන් 2012 අවසානයේ, LLRC වාර්තාව අමතක කෙරුණේ කෙසේ ද යන්න ගැන ලිපි පළවෙයි. කිසිම ආකාරයකින් එකම හේතුව නොවුණත්, ඊට ප‍්‍රධාන හේතුව වුණේ, LLRC වාර්තාව මගින් පැහැදිළි කොට තිබූ ආණ්ඩුකරණයේ අර්බුදය, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේ නින්දිත ව්‍යාජය සමග දැන් ඉහළ තලයකට තල්ලූ වී තිබීමයි. ඒ අනුව, දෝෂාභියෝගය 2013 විලාසිතා වචනය වෙයි: මේ මස දෙවැනි භාගය වන විට ‘ව්‍යවස්ථා අර්බුදය’ යන යෙදුම ඊළඟ තැනට පැමිණිය හැක. එය නිසැකවම, 2013 මාර්තු මාසයේ ජිනීවා නුවර දී රැව්දෙනු ඇත. ඊළඟ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ද එය බලපානු සිකුරු යි.

මේ සියල්ලෙන් මතු කෙරෙන මූලික කාරණය වන්නේ, මේ පිරිහීම කෙසේ සිදුවීද යන්නයි. සංහිඳියාව හෝ ආණ්ඩුකරණය පිළිබඳ ඕනෑම කෝදුවකින් මැන බලන විට ඔබට එක දෙයක් පෙනී යනු ඇත: ශක්තිමත් යැයි පිටතින් පෙනෙන මුත් බරපතල සේ අනාරක්ෂිත බලයක් තහවුරු කර ගැනීම සඳහා පාලකයන් විසින් මැරවර කම ප‍්‍රයෝජනයට ගන්නා තරමත්, එය ජේ.ආර්.ජයවර්ධන සහ ආර්.පේ‍්‍රමදාස වැන්නන් තුළ පවා ලජ්ජාවක් ඇති කරන තරමට දුරදිග ගොස් ඇති බවත් එවිට ඔබට පෙනෙනු ඇත. එදා මෙන්ම තවමත් අපට ගැලවීමක් ඇත්තේ, ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක දේශපාලන සංස්කෘතිය, ක‍්‍රියාවලීන් සහ ආයතනික පද්ධතිය මහ දවල් විනාශ කිරීමට එරෙහිව වෙනස් මතයක් දරණ ඉතා සුළුතරයකගේ නිර්භය ප‍්‍රයත්නයන් තුළ ය. ඒ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ‘පලූදු’ සහිත වූ බව සැබවි. එහෙත්, කිසි දවසක එය මෙතරම් ‘පල්ලට’ වැටුණේ නැත.

උදාහරණයක් වශයෙන් ජාතික සංහිඳියාව ගන්න. යාපනේ තරුණයන් සහ ශිෂ්‍යයන් සාහසික අන්දමින් අත්අඩංගුවට ගැනීම්, දිගටම කෙරීගෙන යන උතුරු නැගෙනහිර ඉඩම් අත්පත් කරගැනීම්, යුද සංචාරයේ සේවාවක් වශයෙන් නන්දිකාදල් කලපුවේ ‘එජ්’ හෝටලය ජනාධිපතිවරයා විසින්ම විවෘත කිරීම වැනි සිදුවීම් ඒ ජාතික සංහිඳියාව සමග පෑහෙන්නේ කෙසේ ද? හමුදාවට බඳවා ගත් දෙමළ තරුණියන්ගේ ඉරණම කුමක් ද? තමන් පත්වන තත්ත්වය ඔවුන් දැන සිටියේ ද, නොඑසේ නම් ඔවුන්ව ‘රැවටීමකට’ ලක්කෙළේ ද?

කෙපාපලිපු කඳවුරේ සිටි අවසාන සරණාගතයන් කෝ? කෙපාපලිපු තිබුණේ කොහේ ද? දැන් තිබෙන්නේ කොහේ ද? නැගෙනහිර පළාතේ ‘මාබල් බේ’ නැමැති මුහුදු වෙරළේ, වර්ණභේදවාදී දකුණු අප‍්‍රිකාවේ මෙන්, වැදගතුන්ට සහ හමුදාවන්ට එක පසෙකත්, සාමාන්‍ය ජනයාට සහ පළාත්වාසීන්ට තවත් පසෙකත් වෙරළ තීරය සහ මහමුහුද වැටවල් ගසා වෙන් කර තිබීම, පශ්චාත්=යුද්ධ ශ‍්‍රී ලංකාව තුළ අප තේරුම්ගන්නේ කෙසේද? 1950 ඇමරිකාවේ දකුණුදිග සුදු ජාතික ස්වෝත්තමවාදීන්ගේ රැස්වීමකට සමානත්වයක් උසුලන, ‘මුස්ලිම් තර්ජනයට’ එරෙහිව සිංහල බෞද්ධයන්ව කැඳවූ නාවින්න රජමහා විහාරයේ බොදුබල සේනාව, ‘චින්තනයේ’ කිරිපැණි වාගාලංකාරය සහ සංහිඳියාව සමග සමපාත වන්නේ කෙසේ ද? රේස්කාර් සඳහා නොගැසූ බද්දෙන්, අවතැන් වූ සරණාගතයන් කී දෙනෙකු පදිංචි කළ හැකිව තිබුණි ද? උතුරු නැගෙනහිර මිනිසුන් ජීවිත පරදුවට තබමින් රටින් පැනගොස් ‘ක‍්‍රිස්ට්මස් අයිලන්ඞ්’ කඳවුරු තුළ ගාල් වන්නේ ඇයි? ඔවුන් එසේ යන්නේ ආර්ථික හේතූන් මත නම්, ආර්ථික සංවර්ධනය රටේ ප‍්‍රමුඛ ස්ථානය ගන්නා මෙවැනි අවස්ථාවක ඔවුන් පලායන්නේ ඇයි?

ආණ්ඩුකරණයත් ඊට දෙවැනි නැත. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්නේ කවුද? ස්වභාවික යුක්ති ධර්මය යනු, පශ්චාත්=යුද්ධ ශ‍්‍රී ලංකාවේ පාලකයාගේ හිතුමයට ඉඩ දෙනු වස් සමාජයට අහිමි කළ යුතු සුඛෝපභෝගී දෙයක් ද? මීට කලකට පෙර මේ ලියුම්කරු පෙන්වා දී ඇති පරිදිත්, ආණ්ඩුකරණය පිළිබඳ සිය අව්‍යාජ හැඟීම ජනාධිපතිවරයා විසින්ම පළකොට ඇතැ යි වාර්තා වන පරිදිත්, ඒ වනාහී, ‘අපේ මිනිහා බේරගන්න ඕනේ’ ප‍්‍රතිපත්තියකි. හෙංචයියන් වන තාක් කාල් නිදැල්ලේ වැරදි කිරීමට පිළිවන. ආයතන සහ ශිෂ්ට සම්පන්න පරිපාටි දූෂ්‍ය කරන්න. පුරවැසියන්ගේ නොව, යටත්වැසියන්ගේ ජනප‍්‍රිය සංස්කෘතියක් නඩත්තු කරන්න, පෝෂණය කරන්න.

අගවිනිසුරුවරිය කෙලින් සිටින තාක් ඇයට දෝෂාභියෝගයෙන් ගැලවීමක් නැත. ශිෂ්ට සම්පන්න ආණ්ඩුකරණයට සහ නීතියේ ආධිපත්‍යයට මේ පාලකයන් පහර දීමට සහ 18 වැනි සංශෝධනය පනවා ගැනීමට පෙර සහ පසුව කිසි විටෙක දක්නට නොතිබුණු ආකාරයේ නීති ප‍්‍රජාවේ පිබිදීමක් අධිකරණයේ ආරක්ෂාව වෙනුවෙන් මතුවෙමින් තිබේ. ආණ්ඩුවේ හිතුවක්කාරී පළිගැනීම් තුළින් නිර්මාණය කොට ඇත්තේ වීර ස්ත‍්‍රියක් සහ ප‍්‍රාණත්‍යාගී ස්ත‍්‍රියකි. ආණ්ඩුවට අඩුම වශයෙන් තමන්ගේ දුර්වලත්වය සහ නොමේරු කම වසං කරගෙන ආපස්සට පය තැබීමට පුලූවන් කමක් දැන් නැත.

මේ සියල්ල අප වෙතටම පෙරලා එයි. තිබෙන තත්ත්වය යහපත් වීමට පෙර, තත්ත්වය වඩාත් අයහපත් වීමට නියමිත බව සෑම පැත්තකින්ම පෙනෙන්ට තිබේ. සංහිඳියාව පිළිබඳ බලාපොරොත්තු විනාශ කිරීමෙන් මෙන්ම, දෝෂාභියෝගයෙන් උත්පාදනය කරන්නේ එවැනි තත්ත්වයකි. එය, ආණ්ඩුකරණයේ බරපතල අර්බුදය කියාපෑමකි.

උතුරේ තත්ත්වය හොඳ අතට හැරී ඇති බවක් පෙනෙන්ට තිබුණත්, බරපතල නපුරක් පිළිබඳ හැඟීමකින් තමන් විඳවන බව, යාපනේ අසරණයෙක් මට කීවේය. රූපකාත්මක භාෂාවෙන් කියතොත්, ඔහු අවතැන් වූවෙකි.

පුරවැසි භාවය පිළිබඳ ආකල්පයක එල්බ සිටින අපට උරුම දෛවය ද, මේ?

රංගනය වන්නේ නාට්‍යය යි: නිකංම නැරඹීම නොව, එහි කොටසක් වීම ය.

ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු[Dr. Pakiyasothy Saravanamuttu]

‘අධිරාජ්‍යවාදී බලවේග’ ඉදිරියේ අපේ ‘ජනතාවාදී’ පාලකයෝ


අපේ පාලකයන් තමන්ව හඳුන්වා ගන්නේ ජනතාවාදී පාලකයන් වශයෙනි. අධිකරණයේ ස්වාධීනත්වයට විරුද්ධව වේවා, වෙනත් ඕනෑම බලවේගයකට විරුද්ධව වේවා, තමන්ගේ ස්ථාවරය සනාථ කිරීම සඳහා මේ පාලකයෝ තමන්ගේ තෝම්ඹුවට ‘ජනතාවාදී’ සහතිකය අලවා ගනිති.

ඊළඟට, තමන්ට එරෙහි වන ඕනෑම ප‍්‍රපංචයක් හැඳින්වීමට ඔවුන් පාවිච්චි කරන පොදු වචනය වන්නේ ‘අධිරාජ්‍යවාදී’ යන්නයි. එම වචනය කියූ පමණින් ඉතා නරක චිත‍්‍රයක් අපේ සිතේ මැවී යයි. බොහෝ විට මේ ගනයට වැටෙන්නේ බටහිර දියුණු රටවල් ය. එහෙත්, ඊට අමතරව, මානව හිමිකම් වැනි වෙනත් ඕනෑම ක්ෂේත‍්‍රයක ජාත්‍යන්තර සංවිධානයක් ද ඊට අයත් විය හැකිය. කොටින්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා, ඇතැම් අවස්ථාවල ‘අධිරාජ්‍යවාදී’ යැයි අපේ පාලකයෝ කියති. මේ වන විට ලංකාවේ අගවිනිසුරුවරියත්, අපේ පාලකයන්ට අනුව, ‘අධිරාජ්‍යවාදයේ බළල් අතකි.’

අද අප පාවිච්චි කරන මෙවැනි බොහෝ යෙදුම් අපේ පැරණි මාක්ස්වාදී ව්‍යාපාරවලින් දායාද කෙරුණු ඒවා ය. එදා ඒවාට නිශ්චිත අදහසක් පමණක් නොව, ඒ අදහස තුළ පැහැදිළිව ග‍්‍රහණය කරගත හැකි යථාවාදී අරුතක් ද තිබුණි. මේ අරුත අද වන විට ජාත්‍යන්තර තලයේ මූලික වෙනසකට ලක්ව ඇතිවා පමණක් නොව, මෙම අරුත වහරන දේශීය වාමාංශික ව්‍යාපාර ද අද වන විට බරපතල රූප පරිණාමයකට පත්ව ඇත්තේය. උදාහරණයක් වශයෙන්, ජාත්‍යන්තර තලයේ ‘අධිරාජ්‍යවාදය’ තුළ, එහි සියලූ දුර්විපාක මධ්‍යයේ, ඉස්සරට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ මානව හිමිකම් අන්තර්ගතය ශක්තිමත්ව තිබීම දැකිය හැකිය. අනිත් අතට බලන කල, දේශීය තලයේ සමාජවාදී ව්‍යාපාරය තුළ ඉස්සර තිබූ ජනහිතකාමී හරය මුළුමණින් කනපිට පෙරැලී ඇති සැටි ද දැකගත හැකිය. එන්. එම්. පෙරේරා වැන්නන් වෙනුවට අද අපට ඉන්නේ තිස්ස විතාරණ වැනි පතෝල නායකයන්ය. සරත් මුත්තෙට්ටුවගම වෙනුවට ඉන්නේ වාසුදේව නානායක්කාර වැනි නැට්ටුවන් ය.

අධිරාජ්‍යවාදය යනුවෙන් හැඳින්වෙන ප‍්‍රපංචය, කොල්ලකෑම ආත්මය කොට පවතින්නකි. එය, දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතිකමය වශයෙන් සිදුවන කොල්ලයකි. බලවතාගේ මේ කොල්ලයට ලක්වන්නේ දුබලයා ය. ඉතිං, පරිවාරයේ රටක කර්තව්‍යය වන්නේ, අර අධිරාජ්‍යවාදී බලවතාගෙන් තමන්ගේ දුබල රට සහ ජනතාව ආරක්ෂා කර ගැනීම විනා අධිරාජ්‍යවාදයේ කොටි හමක් ගෙයි තියාගෙන ඊට තැලීම නොවේ.

එහෙත් අද අපේ පාලකයන්ගේ ගමන් මග එවැන්නක් ද? ඊට පිළිතුරක් සොයා ගැනීම සඳහා, මේ ‘අධිරාජ්‍යවාදී’ බලවතුන් අපෙන් ඉල්ලා සිටින දේවල් සහ අපේ පාලකයන් ඒ ඉල්ලීම්වලට දක්වන ප‍්‍රතිචාරයන් කවරේ දැ යි විමසා බැලීම වටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෑම අවුරුදු හතරකට වරක් ‘වකවානු විමර්ශනයක්’ කරයි. වකවානු විමර්ශනයක් යනු, රටක මානව හිමිකම් ක්ෂේත‍්‍රය පිළිබඳව කෙරෙන අධ්‍යයනයකි. ලංකාවට අදාළ මේ අධ්‍යයනයේ අවසාන වාර්තාව ආවේ 2012 නොවැම්බර් මාසයේ ය. ලංකාව පිළිපැදිය යුතු බවට නිර්දේශ 210 ක් ඒ වාර්තාව මගින් ඉදිරිපත් කෙරුණි. ඒවා අතරින් ලංකා ආණ්ඩුව පිළිගත්තේ නිර්දේශ 110 ක් පමණි. එනම්, නිර්දේශ 100 ක්ම ලංකා ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කෙළේය. දැන්, ලාංකිකයන් වශයෙන් අපට හැෙඟන්නේ, අපේ නායකයන් විසින් එසේ ප‍්‍රතික්ෂේප කරන ලද්දේ අපේ රටටත්, ජනතාවටත් හානිකර නිර්දේශ විය යුතු බවයි. ඒ මොනවා ද?

1. රාජ්‍යය සහ අධිකරණය අතර පැවතිය යුතු සහයෝගීතාව සහතික කෙරෙන නීති සම්පාදනය කිරීම.
ආණ්ඩුව සහ අධිකරණය අතර වර්තමානයේ හටගෙන ඇති අර්බුදය අපි දනිමු. මේ අංශ දෙක අතර පැවතිය යුතු සහයෝගීතාව ලංකා ඉතිහාසයේ පහළම මට්ටමට මේ වන විට වැටී තිබේ. එහෙත්, අර කියන ‘අධිරාජ්‍යවාදී’ රටවල් ඒ සහයෝගීතාව ආරක්ෂා කෙරෙන නීති සම්පාදනය කරන්නැ යි අපට නිර්දේශ කරන විට අපේ නායකයෝ එය ප‍්‍රතික්ෂේප කරති.

2. සුදු වෑන්වලින් කෙරෙන පැහැරගෙන යාම් නතර කෙරෙන බව සහතික කරනු වස්, ‘බලහත්කාර පැහැරගෙන යාමෙන් සියළු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතියට’ අත්සන් කිරීම.

අවශ්‍ය වන විටක, තමන්ගේ විරුද්ධවාදීන්ව සුදු වෑන් රථ යවා උස්සාගෙන යාමට තමන්ට ඇති ‘‘අයිතිය’’ පාවා දීමට නොකැමැති අපේ පාලකයෝ එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළහ. එනම්, බලහත්කාරයෙන් පුද්ගලයන් පැහැරගෙන යාමේ අවශ්‍යතාවක් ඇති බව අපේ පාලකයෝ සිතති.

3. ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කරනු වස්, ඊට පුද්ගලයන් පත්කිරීමේ නෛතික ප‍්‍රමිතීන් ඇති කිරීම.
කෙසේ නම් එසේ කරන්න ද? එවිට, පාලකයාට කත්අදින පුද්ගලයන්ගෙන් ලංකාවේ මානව හිමිකම් කොමිසම පිරවිය නොහැකි වනු ඇත. ඉතිං, අපේ නායකයෝ ඒ නිර්දේශයත් ප‍්‍රතික්ෂේප කළහ.

4. ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ මුළුමණින් ක‍්‍රියාවට නැගීම.
මේ කියන කොමිසම පත්කෙළේ වෙන කිසිවෙකු නොව. ජනාධිපතිවරයාම ය. එහි අරමුණ, අතීතයේ අප අත්විඳි කටුක පාඩම්වලින් අනාගතයට ආදර්ශයක් ගනු පිණිස යැයි කියැවුණි. දැන් අර කියන ‘අධිරාජ්‍යවාදීන්’ ඉල්ලා සිටින්නේ, ඒ කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙස යි. එහෙත් අපේ නායකයෝ බැහැ කියති.

5. වධ හිංසා සහ වෙනත් කෲර සහ අමානුෂික දඩුවම් හෝ සැලකීම්වලින් රටවැසියන් ආරක්ෂා කෙරෙන බවට වගබලා ගන්නා ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කිරීම.

වධ හිංසාව සහ කෲර සැලකිලිවලට ලක්වන්නේ සාමාන්‍ය ජනතාව ය. ජනතාවට එසේ සැළකීම පාලනයකට අත්‍යාවශ්‍ය නිසාදෝ, අපේ පාලකයෝ එම ‘ජනතාවාදී’ නිර්දේශයත් ප‍්‍රතික්ෂේප කළහ.

6. ස්ත‍්‍රීන්ට එරෙහි කෙනිහිලිකම් උපුටා දැමීම සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය රටේ නීතිය තුළට අන්තර්ග‍්‍රහණය කර ගැනීම.
මේ රටේ එක පුරවැසි කොට්ඨාශයක්, තමන් ගැහැනුන් වීම නිසා අත්විඳින ගැහැටින් නිදහස් කර ගැනීම රාජ්‍යයක වගකීම වශයෙන් පවතිද්දී, අපේ පාලකයෝ පුරුෂවාදී දෘෂ්ටියක සිට එවැන්නක් අවශ්‍ය නැතැ යි කියති.

7. සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කෙරෙන නීති සම්පාදනය කිරීම.
රටේ බරපතල අපරාධයක් හෝ වෙනත් එවැනි කාරණයක දී සාක්ෂිකරුවන් වශයෙන් ඉදිරිපත් වන අයවළුන්ට නිසි ආරක්ෂාව නැතොත්, කෙනෙක් සාක්ෂි දීමට ඉදිරිපත් වන්නේ නැත. එයින් සිදුවන්නේ, බොහෝ අපරාධකරුවන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ ලැබීමයි. එවැනි නීතියක් තිබුණි නම්, මීගමුවේ ජෙරාඞ් පෙරේරා වැනි අහිංසක මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගත හැකිව තිබුණා පමණක් නොව, පසුගිය කාලයේ උතුරේ කරන ලද බොහෝ මිනිස් ඝාතනවලට සම්බන්ධ අපරාධකරුවන් ද, බොරුවට නොව හැබෑවටම, නීතිය ඉදිරියට පැමිණවිය හැකිව තිබුණි.

මේ සඳහන් කෙළේ, උතුරු නැගෙනහිර ජීවත් වන අපේ සහෝදර ජනතාව මුහුණදෙන ප‍්‍රශ්න සම්බන්ධයෙන් අර කියන ලෝක බලවතුන් ඉල්ලා සිටි විශේෂ නිර්දේශ නොව. දකුණේ සිංහල=බෞද්ධයාවත් ආරක්ෂා කෙරෙන නිර්දේශයන් ය. ඒවා පවා අද ප‍්‍රතික්ෂේප කොට ඇත්තේ, සිංහල=බෞද්ධයාව ආරක්ෂා කිරීමට වරම් ලැබ සිටින්නේ යැයි කියන පාලක පංතියක් විසින්ම ය.

ගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]

කාලෝ ෆොන්සේකා ඊසොප් නොවන්නේ කෙසේද යත්..

January 2, 2013 by  
Filed under සිංහල, Colombo, Culture

ඊසොප් වහලෙකි. උපදේශ කතාකාරයෙකි. හැම කතාවකදීම ඔහු ස්වාමියාට වඩා බුද්ධිමත් ය. බරසාර ය. ඒ හේතුව නිසාම, ස්වාමියා විසින් ඔහුව වහල් භාවයෙන් නිදහස් කරන ලදි. එය සිදුවුණේ මෙලෙස ලූ:

මේ ස්වාමියා දවසක් කටගොන්නක් බීගෙන, මුළු සාගරයම වුවත් තමාට පානය කොට අවසන් කළ හැකි බවට කයිවාරු ගැසීය. යම් හෙයකින් තමා ඊට අපොහොසත් වුණොත්, තමාගේ සියළු සේසත ජනයාට දන්දෙන බවටත් ඔහු සපථ කෙළේය. පසු දා උදේ වෙරි සිඳුනු පසු, තමාගේ අභියෝගයේ භයානක කම තේරුම්ගත් ස්වාමියා, කරකියාගත හැකි දෙයක් නැතිව, ඊසොප්ගෙන් උපදෙස් පැතීය. ‘බිය නොවන්න ස්වාමීනි’ යි කියමින් හාම්පුතාව අස්වාසාලූ ඊසොප්, පසු දා උදේ මුහුදු වෙරළේ රැුස්ව සිටි මහජනතාව අතරට ගොස්, තම හාම්පුතා සාගරය පානය කොට අවසන් කිරීමට සූදානම් බව දන්වා සිටියේය. එහෙත්, ඊට කලින් පිළිපැදිය යුතු කොන්දේසියක් තිබේ. එනම්, සාගරයට අයත් නැති, එහෙත් සාගරයට ගලන හැම ගංගා ඇලදොලක්ම ඊට කලින් නතර කළ යුතුව ඇත්තේය. ජනතාව ඒ වගකීම ඉටු කළ සැණින් තම හාම්පුතා විත් සාගරය හිස් කරනු ඇතැ යි ඔහු දැනුම් දුන්නේය.

මීට දශක හතරකට පෙර කාලෝ ෆොන්සේකා, දෙවියන්ට අභියෝග කරමින් ගිනි පෑගීමේ සංදර්ශනයේ පෙරමුණේ සිටින විට අපේ වීරයා ඔහු විය. උඩක සිට පහළට අතහරින වස්තුවක බර අනුව එය පහළට එන වේගය තීරණය නොවන බව තර්කානුකූලව ඔහු පහදා දෙන විට අපි ඔහුගේ භක්තිවන්ත ශ‍්‍රාවකයෝ වීමු. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ කවි සංකල්පනා සිංහලට පරිවර්තනය කොට, ‘විමුක්ති බණ’ නමින් ඔහු දේශපාලන වේදිකාවේ රසවත්ව ගායනා කරන විට අපි වසඟ වීමු. ආගම පිළිබඳ ඔහුගේ සබුද්ධිමත් චින්තා අප වැනි හේතුවාදීන්ට එදා ආශ්වාදයක්ම විය.

එසේ තිබිය දී, කාලෝ ෆොන්සේකා වේදිකාවෙන් බැස යා යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙර ය. පුද්ගල ශ්‍රේෂ්ඨත්වයක් මරණ මංචකය දක්වා දෛනිකව නඩත්තු කරගත යුතු බවට ගලේ කෙටූ නියමයක් නැත. විශේෂයෙන්, එහි ප‍්‍රතිඅන්තයට වැටීමේ අංශුමාත‍්‍ර හෝ අවදානමක් ඇතොත් කළ යුත්තේ හැකි ඉක්මණින් සමුගැනීමයි. එඞ්වඞ් සයිඞ් නැමැති අපේ කාලයේ ධීමතකුගේ වචනයෙන් කියන්නේ නම්, ප‍්‍රාඥයා ‘‘සමාජයෙන් ඉද්දර සිටින පිටස්තරයෙකු විය යුතුය.’’ හෙවත්, දේශපාලනික ආයතනිකත්වයට බැහැරින් සිටින ස්වයං=විප‍්‍රවාසියෙකු විය යුතුය.

ආගම පිළිබඳ කාලෝ ෆොන්සේකාගේ රැුඩිකල් මතිමතාන්තර පසු ගිය කාලය තිස්සේ විටින් විට, විවිධ අවසරයන් යටතේ ‘සංශෝධනවාදී’ වන විට, ඒබ‍්‍රහම් ටී. කොවූර්ගේ කාලය සමග කාලෝ ෆොන්සේකාගේ වර්තමානය සසඳන්නට අපට පෙළඹැවීමක් ඇතිවුණි. සමාජයක සාමූහික මෝහය බිහිසුණු බලවේගයක් වශයෙන් හිස ඔසවද්දී ඊට එරෙහිව පෙනී සිටීම, නිද්‍රාගත සහ නෝන්ජල් සමාජ මෝහයක් අභියෝගයට ලක්කිරීම සඳහා ගිනි පෑගීමට වඩා දිරියක් සහ අවංකත්වයක් අවශ්‍ය කරන්නකි. එම පරීක්ෂණයට මුහුණදීමට කොවූර් වැනි ශ්‍රේෂ්ඨයෙකු නැති සමාජයක කාලෝ ෆොන්සේකා අසමත් වන බව වටින්ගොඩින් හෙලි වන විට අප තුළ ඇති වුණේ කණගාටුවකි.

කාලෝ ෆොන්සේකා ද, ඊසොප් මෙන් දැන් උපදේශ කතා ශානරයට අතගසා ඇත. පසු ගිය දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙඞ් අඩවියට අධිකරණයේ ප‍්‍රශ්නය ගැන ලියන ඔහු, සුපුරුදු වෛද්‍ය විද්‍යානුකුල සාදෘෂ්‍යයකින් ඊට ප‍්‍රවිෂ්ඨ වෙයි. එය සැකෙවින් මෙසේය: ප‍්‍රතිකාර මාදිලියක්, සාමාන්‍යයෙන් පුද්ගල බද්ධ ය: එනම්, පුද්ගල අගතියට හසු විය හැකි ය. වෛද්‍යවරයාගේ සහ රෝගියාගේ පෞරුෂත්වය, ආකල්ප, විශ්වාස සහ මනෝභාවය ද, වෛද්‍යවරයා රෝගියාට කියා ඇති දේවල් සහ වෛද්‍යවරුන් පිළිබඳව රෝගියා තුළ ඇති පූර්වගාමී දැනුම ද, රෝගියා අතීතයේ ලබා ඇති ප‍්‍රතිඵල සහ ඒ අනුසාරයෙන් මත්තට අපේක්ෂා කළ හැකි ප‍්‍රතිඵල ආදිය ද ඉන් සමහරක් බව ඔහු පෙන්වා දෙයි. මේ කියන කිසි අගතියකට යටත් නොවී යම් ඖෂධයක නිසග කාර්යක්ෂමතාව මැන බැලීම සඳහා යොදාගන්නා ක‍්‍රමවේදය ඔහු හඳුන්වන්නේ, ‘‘සසම්භාවී, ප්ලැසිබෝ=පාලිත, ද්විත්වාන්ධ සායනික පරීක්ෂණය’’ යනුවෙනි.

(පැහැදිළි කිරීමක්: ‘සසම්භාවී’ යන්නෙන් අදහස් වන්නේ ‘එහෙන් මෙහෙන්’ වැනි අදහසකි. එනම්, කල්තියා පිළියෙල කරගත් නියමයකින් තොරව යන්නයි. උදාහරණයක් වශයෙන්, යම් පරීක්ෂණයකට භාජනය කිරීම සඳහා මිනිසුන් දහදෙනෙකු අවශ්‍ය කරයි නම්, ඔවුන් කවුරුන්දැ යි පරීක්ෂකයා කල්තියා නොදැන සිටිය යුතුය. තෝරාගැනීම කළ යුත්තේ අහම්බ නියාමය මතයි. ‘ප්ලැසිබෝ’ යනු, නිශ්චිත බෙහෙතකින් තොරව, වෙනත් හේතුන් නිසා, රෝගයක් ඉබේ සුව වීමට ඇති ඉඩකඩ යි. ‘ද්විත්වාන්ධ’ යනු, දෙවරක් අන්ධ යන්නයි. එනම්, වෛද්‍යවරයා සහ රෝගියා යන දෙන්නාම, දෙන ලද ඖෂධය පිළිබඳ පූර්ව දැනුමෙන් ‘අන්ධයන්’ විය යුතු බවයි. එනම්, ‘‘කලිනුත් ඔය වගේ බෙහෙතක් ගත්තා, ඒත් හරි ගියේ නැහැ’’ වැනි අදහසක් නොතිබිය යුතුය. මේ සියල්ල අවශ්‍ය කරන්නේ, අර කියන ඖෂධය තුළ ඇති සැබෑ කාර්යක්ෂමතාව, වෙනත් බලපෑම්වලින් තොරව, විශේෂයෙන් වෛද්‍යවරයාගේ සහ රෝගියාගේ අතීත අත්දැකීම් හෝ මනෝභාවයන්ගේ බලපෑම්වලින් තොරව, නිර්ණය කර ගැනීම සඳහාය)

වර්තමාන අධිකරණයේ ප‍්‍රශ්නයට ඔහු දැන් පුරුද්දන්නේ මේ කියන ඖෂධීය සාදෘෂ්‍යයයි. කාර්යක්ෂමතාව තිතට තිබිය යුතු, පරීක්ෂණයට ලක්කෙරෙන ඉහත සඳහන් ඖෂධය වනාහී, යුක්තිය යි. එය අගතියෙන් තොරවීම සඳහා, අගවිනිසුරුවරියගේ සැමියාගේ නඩුව අසා අහවර වනතෙක්, අගවිනිසුරුවරිය සිය ධුරයෙන් නිවාඩු ගත යුතු බවට, කාලෝ ෆොන්සේකා ඇයට ‘උපදෙස්’ දෙයි.

මේ සාදෘෂ්‍යයේ වෛද්‍යවරයා කවුද, රෝගියා කවුද? ඊට දෙයාකාරයක පිළිතුරක් තිබේ. පළමුවැන්නට අනුව, දෝෂාභියෝගය සම්බන්ධයෙන් වෛද්‍යවරයා වන්නේ, ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂයයි. මන්ද යත්, බෙහෙත දෙන්නේ ඔවුන් බැවිනි. රෝගියා වන්නේ ශිරානී බණ්ඩාරනායකයි. ඒ අර්ථයෙන්, දෙපාර්ශ්වයම ‘අන්ධ’ නැත. තමන් දීමට යන බෙහෙත කුමක් දැ යි වෛද්‍යවරයා දනී. තමන්ට ගිල්ලන්ට යන බෙහෙත කුමක් දැ යි රෝගියාත් දනී.

දෙවැන්නට අනුව, දෝෂාභියෝගයේ එක චෝදනාවක් සම්බන්ධයෙන්, එනම්, කාලෝ ෆොන්සේකා මහත් ලෝලයෙන් එල්ලෙන චෝදනාව සම්බන්ධයෙන්, අගවිනිසුරුවරියගේ සැමියාගේ නඩුව රෝගියා වන අතර, වෛද්‍යවරයා වන්නේ අගවිනිසුරුවරියයි. සියළු අගතීන්ගෙන් තොරව යුක්තිය පසිඳලිය යුතු නිසා, අගවිනිසුරුවරිය විනිශ්චයාසනයෙන් බැස ගෙදර සිටිය යුතු බව උගත් මහාචාර්යවරයා කියා සිටින්නේ මේ දෙවැනි කාරණය සම්බන්ධයෙනි.

දැන් බුද්ධිමත් පාඨකයා තුළ ප‍්‍රශ්නාවලියක් මතුවිය හැකිය. යුක්තිය පරීක්ෂාවට ලක්කිරීමේ සමස්ත ප‍්‍රශ්නයම මතුවන්නේ, දෝෂාභියෝගය මගිනි. මුලින්ම දෙන ලද ‘බෙහෙත’ එයයි. සිදුවීම් වශයෙන් සඳහන් කළොත්, දිවිනැගුම තීන්දුව, අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට පහර දීම, වෛරී ප‍්‍රචාරණය, හිස් කඩදාසියක 117 දෙනෙකු අත්සන් තැබීම, කැකිල්ලේ නඩු විභාගය සහ පැය විසිහතරේ තීන්දුව, ඒ කියන ‘බෙහෙත’ තුළ තිබූ පුද්ගල පක්ෂපාතීත්වයන් සහ අගතීන් ය. එතැන, ‘සසම්භාවී’ බවක්වත්, ‘ප්ලැසිබෝ=පාලනයක්වත්’, ‘ද්විත්වාන්ධ’ බවක්වත් තිබුණේ නැත. මේ දක්වා ඒ පිළිබඳ කිසි විවේචනයක් උගත් මහාචාර්යවරයාගේ කටින් පිටවෙනු අප අසා නැත.

අගවිනිසුරුවරියගේ සැමියාගේ ප‍්‍රශ්නය, ඒ දෝෂාභියෝගය ‘ඔප්පු’ කිරීම සඳහා වෛද්‍යවරයා උපයෝගී කරගන්නා එක් සාධකයක් පමණි. එය පවා අගතිගාමී ය. වරද සිදු වූ අවස්ථාවේ (උගත් මහාචාර්යවරයාගේ දැන ගැනීම සඳහා ජනාධිපතිවරයාගේම වචනයෙන් කියන්නේ නම්* ‘ෂේප්’ කොට, පසු අවස්ථාවක නඩු දැමීම, ‘සසම්භාවී’ වන්නේ කෙසේද? මහාචාර්යවරයා අගවිනිසුරුවරියගෙන් දැන් ඉල්ලා සිටින්නේ, වරක් ජනාධිපතිවරයා විසින්ම එසේ ‘ෂේප්’ කරන ලද ඒ ‘අවශේෂ සාධකය’ පිළිබඳව අගතියෙන් තොරව යුක්තිය පසිඳලීම සඳහා ඇය ගෙදර සිටිය යුතු බවයි.

යුක්තිය, සියලූ පක්ෂපාතීත්වයන්ගෙන් විනිර්මුක්ත විය යුතු බවට මහාචාර්යවරයා ගෙනෙන කුතර්කය සහ ඒ අනුව යෝජනා කරන විසඳුම, ඉහත සඳහන් සියළු අගතීන් ගැන නොසළකා, අපි මොහොතකට පිළිගමු. එවිට උපන්‍යාස දෙකක් උපදී. එකක් වන්නේ, අගවිනිසුරුවරියගේ සැමියාගේ නඩුව තව අවුරුදු ගානක් ඉදිරියට ඇදුනත් ඒ තාක් කල් ඇයට නඩු ඇසීමට නොහැකි බවයි. එය, විධායකයේ, එනම්, කාලෝ ෆොන්සේකාගේ වර්තමාන හාම්පුතාගේ අභිමතාර්ථය වෙනත් ආකාරයකින් සාධනය කරන්නක් ය. දෙවැනි උපන්‍යාසය වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඕනෑම විනිශ්චයකරුවෙකු නඩු ඇසීමෙන් වළක්වා ගෙදර යවා ගැනීමේ අවශ්‍යතාවක් පාලකයාට ඇතොත්, එම විනිසුරුවරයාගේ/වරියගේ ඥාතියෙකුට එරෙහිව මහේස්ත‍්‍රාත් උසාවියක නඩුවක් පැවරීම පමණක් සෑහෙන්නේය. මේ පහසු ක‍්‍රමය යටතේ, දෝෂාභියෝගයක අවශ්‍යතාව ද නැති වන්නේය.

සැමියාගේ නඩුවට සාධාරණයක් ඉටු කිරීම සඳහා බිරිඳව ගෙදර තැබීමෙන් හාම්පුතාගේ (ජනාධිපතිවරයාගේ) අභිලාෂ සාධනය කෙරෙන මහාචාර්යවරයාගේ බෙහෙත් වට්ටෝරුව අපූරුයි නේද? පුද්ගල පක්ෂපාතීත්වය පිළිබඳ අවදානම නොදරන්නැ යි ගජමිතුරු වේශයෙන් අගවිනිසුරුවරියගෙන් ඔහු මෙසේ ඉල්ලා සිටින්නේ, එම පුද්ගල පක්ෂපාතීත්වයෙන්ම තමාව ද ගැටගසා ඇති රජයේ තනතුරු දෙකක්ම දරමින් සිටිය දී වීම මොන තරම් අශීලාචාර ද/

හාම්පුතා වෙනුවෙන් කළ සේවය සඳහා ඊසොප් නැමති වහලා නිදහස දිනාගත්තේය. නූතන හාම්පුතුන් වෙනුවෙන් කඹුරන වහල්ලූ ආත්ම ගෞරවයත් වළලා ගනිති.

ගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]

වඩා යහපත් සුභ අලුත් අවුරැද්දක්…

Next Page »

1 2 3 116