ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්ගේ සාහිත්‍ය කෘති ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා තබා ගැනීමේ සිදුවීම මුල සිටම විකාරරූපී නාටකයක් වූ අතර, දැන් එය රාජ්‍ය යාන්ත්‍රණයේ බරපතල සාපරාධී ස්වරූපය හෙළිදරව් කෙරෙන මාරාන්තික උපතෝකෝටිකයක් බවට පත්ව තිබේ.
මීට පෙර, ශ්‍රී ලංකා කලා මණ්ඩලයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI) යටතේ කළ විමසීමේදී ඔවුන් පැහැදිලිවම කියා සිටියේ දීපචෙල්වන්ගේ කෘති වාරණය කිරීමට හෝ රඳවා ගැනීමට තමන් කිසිදු නිර්දේශයක් ලබා දී නැති බවයි. එතැනින් නොනැවතී, ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අප්‍රේල් 20 දිනැති ලිපියේ ‘නිර්දේශිතයන්’ ලෙස සඳහන් කර තිබූ අනෙක් ප්‍රධාන ආයතනය වන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් / රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයෙන් ද තොරතුරු පනත යටතේ කරුණු විමසා සිටියෙමු.
දැන් ඒ සඳහාද නිල පිළිතුර ලැබී ඇත. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී අයි.සී.ජේ. ගුණරත්න මහතාගේ අත්සනින් නිකුත් වූ එම RTI වාර්තාවේ 9 වැනි ප්‍රශ්නයට දී ඇති පිළිතුරෙන් සමස්ත ආණ්ඩුවම නිරුවත් කෙරෙයි.
“රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය විසින් ශ්‍රී ලංකා රේගුව වෙත නිර්දේශ හෝ වාර්තා ඉදිරිපත් කොට නැත.”
කලා මණ්ඩලයත් නැත! සාහිත්‍ය අනුමණ්ඩලයත් නැත! එසේ නම් පොත් සිරකළේ කවුද?
මෙතැනදී මතු වන්නේ තනි ප්‍රශ්නයක් නොව, මුළු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම විත්ති කූඩුවට නංවන බරපතල ප්‍රශ්න මාලාවකි.
[මීට පෙර කලා මණ්ඩලය දුන් පිළිතුරු වලින් හෙළිවූ නිරුවත් බාවය පිළිබද ලිපිය සහ අදාළ රේගුවේ ලිපිය මෙතනින් කියවන්න]
රේගුව කියන්නේ සහසික බොරුවක්ද?
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය නිල ලිපියෙන් ලිඛිතව ප්‍රකාශ කරන්නේ කලා මණ්ඩලයේ සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ නිර්දේශ මත පොත් රඳවාගත් බවයි. නමුත් කලා මණ්ඩලයත්, සාහිත්‍ය අනුමණ්ඩලයත් RTI පනත හමුවේ නීතිමය වශයෙන් දිවුරා කියන්නේ තමන් එවැනි කිසිදු නිර්දේශයක් දී නැති බවයි. එසේ නම් රේගුව කළේ රාජ්‍ය ආයතනවල නම භාවිත කරමින් “හොර ලේඛන” හැදීමද?
නොපෙනෙන හස්තය ආරක්ෂක අමාත්‍යාංශයද?
සාහිත්‍ය අනුමණ්ඩලය සහ කලා මණ්ඩලය මෙයින් අත සෝදාගන්නේ නම්, රේගුව පිටුපස සිටිමින් සාහිත්‍ය කෘති වාරණය කළේ ආරක්ෂක අමාත්‍යාංශය පමණක්ද? එනම්, “පුනරුදයේ” සංස්කෘතික අමාත්‍යාංශය යනු ආරක්ෂක අංශවල අණපනත් ක්‍රියාත්මක කරන හුදු රූකඩයක් පමණක්ද?
“අදාළ නොවේ” නමැති සංස්කෘතික බංකොලොත්භාවය
අදාළ දෙමළ කෘති පරිශීලනය කළේද, නීතිමය උපදෙස් ගත්තේද යන්නට සාහිත්‍ය අනුමණ්ඩලයේ පණ්ඩිතයන් ලබා දී ඇති පිළිතුරද “අදාළ නොවේ” යන්නයි. රටේ ලේඛකයෙකුගේ ප්‍රකාශන අයිතිය රාජ්‍යය විසින් දඩයම් කරද්දී, රටේ සාහිත්‍ය අනුමණ්ඩලයට එය “අදාළ නොවන” ප්‍රශ්නයක් වීම තරම් තවත් බුද්ධිමය නිරුවතක් තිබේද?
උපතෝකෝටිකයේ දේශපාලන හදවත
මෙම RTI හෙළිදරව්ව මගින් තහවුරු වන්නේ වත්මන් මාලිමා ආණ්ඩුවේ දෘෂ්ටිවාදී සහ පරිපාලනමය බංකොලොත්භාවයේ අගමුලයි.
එක් පැත්තකින් වේදිකා මත “ප්‍රකාශන නිදහස” සහ “සංස්කෘතික පුනරුදය” ගැන විශාල ලෙස දේශනා කරනු ලබයි. නමුත් බිම් මට්ටමේදී, දෙමළ ලේඛකයෙකුගේ පොත්පත් වාරණය කිරීම සඳහා රාජ්‍ය ආයතන එකිනෙකා මත පන්දුව පාස් කරමින් සිටී. පොත් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් වගකීම භාර ගැනීමට කලා මණ්ඩලය සූදානම් නැත. සාහිත්‍ය අනුමණ්ඩලයත් සූදානම් නැත. එහෙත් පොත්පත් තවමත් පවතින්නේ රේගුවේ අත්අඩංගුවේය.
මෙය හුදෙක් පරිපාලනමය අතපසුවීමක් ලෙස සලකා බැහැර කළ නොහැක. මෙය ව්‍යුහයක් ලෙස රාජ්‍යය තුළ ක්‍රියාත්මක වන ‘නොපෙනෙන වාරණ දෘෂ්ටිවාදයේ’ භයානක ස්වරූපයයි. විශේෂයෙන් දෙමළ භාෂාවෙන් ලියන සාහිත්‍යකරුවන් ට මෙය සෘජුවම බලපාන මෙයින් තවදුරටත් තහවුරු වන අතර මෙයින් ගම්‍ය වන අනෙක් කරුන වන්නේ, දෙමළ ජනතාවගේ සාමූහික මතකය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහෝසි කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයන් නීති විරෝධී ලෙස හෝ ක්‍රියාත්මක වන බවයි.
එපමණක් ද නොව, පාලකයන් මාරු වුවද, රාජ්‍යයේ ඇති “සැකයේ සහ මර්දනයේ” පැරණි යාන්ත්‍රණය කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බවයි.
කලා මණ්ඩලයේ සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ මෙම RTI පිළිතුරු හමුවේ ආණ්ඩුව සහ රේගුව දැන් දැඩි ලෙස කොටුවී හමාරය. දැන් අසන්නට ඇත්තේ එකම ප්‍රශ්නයකි. “කලා මණ්ඩලය සහ සාහිත්‍ය අනුමණ්ඩලය නිර්දේශ දුන්නේ නැත්නම්, දීපචෙල්වන්ගේ පොත් රඳවා ගැනීමට රේගුවට නියෝග කළේ කවුද?”
මෙයට උත්තර බැඳීමට ආණ්ඩුවට සිදුවේ. මන්ද, තාක්ෂණික ලිපිගොනු අස්සේ අකුරු සිරකර තැබිය හැකි වුවද, RTI පනත හරහා එළියට ආ මෙම ‘සංස්කෘතික හොර අත්සන’ වසා ගැනීමට ආණ්ඩුවේ කිසිදු පුනරුද වෙස්මුහුණකට මින් ඉදිරියට පුළුවන්කමක් නැත!
[විශේෂ ස්තූතිය – නීතිඥ ධනුෂ්ක සිල්වා ට]
සම්පත් සමරකෝන් | Sampath Samarakoon