විකල්ප වෙබ් අඩවිය විසින් වසර 11ක් සපුරමින් ශ්‍රී ලංකාව තුළ පුරවැසි ජනමාධ්‍ය අවකාශයක් විසින් එදා මෙදා තුර ඉටු කරන ලද දැවැන්තම කාර්ය භාරයකට තම සාංකල්පිය මුලිකත්වය හා සංවිධාන දායකත්වය ලබාදෙමින් “වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක් සඳහා” සමාජ මාධ්‍යය ප‍්‍රජාව දිරි ගැන්වීමේ අරමුණින් ප්‍රථම වරට සිංහල ,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම  සිවිල් සංවිධාන, වෙබ් මාධ්‍ය අවකාශ, ක්‍රියාකාරී මාධ්‍ය සංවිධාන, ස්වේච්ජා තරුණ  ක්‍රියාකාරී සංවිධාන, මානව හිමිකම් , ළමා අයිතිවාසිකම්, කාන්තා හා ආන්තික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන ඇතුලු පාර්ශව 19 ක  දායකත්වයෙන් නිම කරන ලද “සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2019 ”   අතිසාර්ථක අයුරින් පසුගිය මාර්තු 19 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ, ජෙස්මින් ශාලාවේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එළිදැක්විය.

ඩිජිටල් සාක්ෂරතාවය සමඟ තොරතුරු සමාජයකට ප‍්‍රවේශ වීමේ අයිතිය තහවුරු කරමින්, විශේෂයන්ම මානව හිමිකම් මත පදනම් වූ උසස් මානව සමාජ ගතිකයන් ආරක්ෂා කරනු වස් සමාජ මාධ්‍යය පරිශිලකයින් වෙත යහපත් සමාජ මාධ්‍යය භාවිතය දිරි ගැන්වීම උදෙසා සකස් කරන ලද මග පෙන්වීම් මාලාවක්, සමාජ මාධ්‍යය සුරක්ෂිත අවකාශයක් බවට පත් කිරීමෙහිලා ආණ්ඩුව, සමාජ මාධ්‍යය වේදිකා, සිවිල් සමාජය සහ මාධ්‍ය සංවිධාන සතු වගකීම් මෙම සමාජ මාධ්‍යය ප්‍රකාශනය තුළ අන්තර් ගත කොට තිබේ.

“සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2019 ” අදහස් පළ කිරීමේ නිදහසෙහි පවත්නා අනුල්ලංඝනීය වැදගත්කම හඳුනා ගැනීමට දරන ප‍්‍රයත්නයකි.  ඒ අනුව සමාජ මාධ්‍යය  නිශේධනාත්මක ලෙස පරිශීලනය කිරීමේ ශක්‍යතා බැහැර කරමින් සමාජ සාධාරණත්වය මානව ගරුත්වය ඇතුලූ ආචාර ධර්මීය, ප‍්‍රගතිශීලී ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙන්ම මානව අයිතිවාසිකම් මත පදනම් වූ හා සමාජ වගකීමක් සහිත සමාජ මාධ්‍යය භාවිතය දිරි ගැන්වීම සඳහා  වන මෙම කාර්යභාරය වෙනුවෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (Center for Policy Alternatives) , නැගෙනහිර පළාත් ජනමාධ්‍ය සංසදය (Eastern Province Journalist  Forum), ග්‍රවුන්ඩ්විවුස් වෙබ් අඩවිය ( groundviews.org), #පරපුර (Hashtag Generation) , අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය (Internet Media Action), යාපන මාධ්‍ය සමාජය(Jaffna Press Club), ලංකා නිවුස් වෙබ් අඩවිය (Lanka News Web), නීතිය හා සමාජ භාරය (Law and Society Trust) , මාට්‍ර්ම් වෙබ් අඩවිය (maatram.org), ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය( MONLAR), නෙලුම්යාය පදනම ( Nelum Yaya Foundation), අවුට් බවුන්ඩ් ටුඩේ වෙබ් අඩවිය (outbound Today),  PEace- Protecting Environment & Children Everywhere ECPAT ශ්‍රී ලංකා සංවිධානය, Rights Now ප්‍රජාතන්ත්‍රවාදී සාමුහිකය (Rights Now Collective for Democracy), සර්වෝදය(Sarvodhya Shramadana Movement Sri Lanka), ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය(SriLaka Muslim Media Forum), ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය( Sri Lanka Working Journalists’ Association), ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (Transparency International, SriLanka) සහ විකල්ප වෙබ අඩවිය (vikalpa.org)  තම ඉදිරි  දායකත්වය හා කැපවීම ලබාදෙන බවට අත්සන් තබමින් එකඟත්වය පළ කරන ලදී.

 

 

“සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2019 ”  එළිදැක්වීමේ උළෙලේ ප්‍රධාන දේශනය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරනමුත්තු මහතා විසින් පැවැත්වූ අතර , විශේෂ අදහස් දැක්වීමක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින්  ග්‍රවුන්ඩ්විවුස් වෙබ් අඩවියේ ආරම්භක සංස්කාරක සංජන හත්තොටුව මහතා විසින් සිදුකරන ලදී.

 

“සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2019 ”  සඳහා තම දායකත්වය පළ කළ සියලු සංවිධාන විසින් එදින තම අදහස් දැක්වීම් කරන ලද අතර  විශේෂයෙන්ම දිවයින පුරා විසිරි සිටින,නාගරික මෙන්ම ග්‍රාමීය සමාජ මාධ්‍යය පරිශීලකයින් වෙත මෙම ප්‍රකාශනයේ අඩංගු කරුණු ඔස්සේ ක්‍රියාකාරි වගකිම් සහගත සමාජ මාධ්‍යය භාවිතයක් ඇතිකරගැනීම සඳහා වන ඉදිරි සැලසුම් හා අභියෝග වෙත ඔවුහු අවධානය යොමු කරන ලදී. පසුගිය කාලය පුරා සමාජ මාධ්‍යය ඔස්සේ අත්දකින්නට ලැබුණු අත්දැකීම් මත විශේෂයෙන්ම දේශීය භාෂා පදනම් කරගනිමින් කරන ලද මෙම ප්‍රයත්නය වෙත තම ප්‍රශංසාව පළ කළ අතර එහි පාර්ශවකරුවන් ලෙස ඒ කෙරේ තම උපරිම සහයෝගය ලබා දෙන බවද ප්‍රකාශ කළ සිටියහ.

“සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2019 ” එළිදැක්වීමේ උළෙලේ ප්‍රධාන  සාකච්ජා සභාව සමඟ එකතුවෙමින් ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා, ග්‍රවුන්ඩ්විවුස් වෙබ් අඩවියේ සංස්කාරක වික්‍රමතුංග මෙනවිය, ලංකා නිවුස් වෙබ් සංස්කාරක, LGBTQI අයිතීන් පිලිබඳ ක්‍රියාකාරිනි  හා නීතිඥ රධිකා   ගුණරත්න මෙනවිය,  සමාජ මාධ්‍යය ක්‍රියාකාරිනි සහ දකුණු ආසියානු කලාපිය  ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ත්‍යාගි රුවන්පතිරණ මහත්මිය සහ යාපන මාධ්‍ය සමාජයේ කැඳවුම්කරු දයාබරන් රත්නම් මහතා විසින් සමාජ මාධ්‍යය ප්‍රකාශනය ප්‍රත්තිපත්ති සම්පාදනයේදී, අනාගත අභියෝග හදුනා ගැනීමේදී, ඒවාට ආමන්ත්‍රණය කිරීමේදී පවතින ගැටලු හා විවිධ සමාජ සංදර්භයන් තුළ එයට ඇති කාරය භාරය පිලිබඳ පුළුල් ලෙස සාකච්ජා කරන ලදී. සාකච්ජාව මෙහෙය වන ලද්දේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පරියේෂක, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ කැඳවුම්කරු හා විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් විසිනි.

කෙසේවෙතත් “සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2019 ”  ජනගත කිරීමෙන් පසුව එය ක්‍රියාවට නැංවීමේ ඇති අභියෝගය හා මේ  ක්‍රියාදාමයේ ඇති ඉදිරි වගකීම සමස්ත අප සියල්ලම කෙරේ පැවරෙන අතර වගකීම් සහගත පුරවැසියන් ලෙස එය “යහපත් ලෝකයක් වෙනුවෙන් වන ” ප්‍රයත්නයක්  ලෙස අප ඉදිරියේ තැබේ.

ඒ නිසාම අදත් හෙටත් සියලු දෙනා වෙනුවෙන්  යුක්ති සහගත ලෝකයක් දකින්නට විකල්ප සමඟින් වසරක කාලයක් පුරා විවිධ බාධක හා අභියෝගයන් මැද අපේ වෙත සහාය පළ කළ හා එකී යහ සමාජය වෙනුවෙන් තම අප්‍රතිහත කැපවීම් නොපිරිහෙළා  එකතු කළ සියලු දෙනා   “සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2019 ” එළිදක්වන ලද මේ මොහොතේඅපි ආදරෙන් සිහිපත් කරමු.

සමාජ මාධ්‍යය ප්‍රකාශනය කියවීමට හා භාගත කිරීමට socialmedialanka.org වෙබ් අඩවිය වෙත  පිවිසෙන්න 

 

ටුවිටර් මත පළකිරීම් නැරඹීම සඳහා #EngageSMInSL හෑෂ් ටැග් එක වෙත පිවිසෙන්න

සමාජ මාධ්‍යය ප්‍රකාශනය සම්බන්ධව සමාජ මාධ්‍යය අවකාශය තුළ සිදුවූ කතිකාවන්හි දත්ත සාරාංශය ( විශේෂ ස්තූතිය-  සංජන හත්තොටුව)

සමාජ මාධ්‍යය ප්‍රකාශනය එළිදැක්වීමේ සම්පුර්ණ වීඩියෝව සඳහා පිවිසෙන්න

සම්පුර්ණ ජයාරූප එකතුව සඳහා පිවිසෙන්න 

 

“සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2019 ”  එළිදැක්වීමේ උළෙලේ සියලු තොරතුරු සඳහා  පිවිසෙන්න