iMage: GenAI
ශ්‍රී ලංකාවේ PSTA සම්බන්ධයෙන් වන දේශපාලන සාකච්ඡාව තුළ දැනට මතුව ඇති එක් තර්කයක් වන්නේ, 1979 අංක 48 දරන කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරගැනීමට නම්, ජාතික ජන බලවේගය යෝජනා කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) සංශෝධන සහිතව හෝ සම්මත කරගත යුතු බවයි. බැලූ බැල්මට මෙය තාර්කික ප්‍රවේශයක් සේ පෙනුන ද,(පීටීඒ අහෝසි කර ගැනීමට වැනි) එහි අන්තර්ගතය ගැඹුරින් විමසා බැලීමේදී පෙනී යන්නේ එය “ගැටලුවට විසඳුමක්” නොව “ගැටලුව තවදුරටත් ආයතනගත කිරීමක්” බවයි.
නීතිමය මිරිඟුව: PTA වෙනුවට PSTA
ආණ්ඩුව පවසන්නේ පැරණි PTA ඉවත් කිරීමට නම් ‘නව පනතක්’ අත්‍යවශ්‍ය බවයි. එහෙත්, අප විසින් විමසිය යුත්තේ පැරණි යක්ෂයා එළවා දැමීමට කැඳවන මෙම නව අමුත්තා කවුද යන්නයි. ශාස්ත්‍රීය හා දේශපාලනමය වශයෙන් මෙය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන කරුණක් නම්, යෝජිත PSTA කෙටුම්පත යනු PTA හි පවතින මර්දනකාරී ලක්ෂණවලට ‘නූතන තාක්ෂණික සහ නීතිමය ආවරණ’ සැපයූ, වඩාත් බියකරු යක්ෂ පරපුරක් බවයි.
පැරණි යක්ෂයාට වඩා නව යක්ෂ පරපුර භයානක වන්නේ ඇයි?
1. මර්දනයේ විෂය පථය පුළුල් කිරීම: PTA මගින් ඉලක්ක කළේ යම් සීමිත ක්‍රියාවන් සමුදායක් වුවද, නව පනත මගින් “ත්‍රස්තවාදය” යන්න කොතරම් පුළුල් ලෙස අර්ථ දක්වා ඇත්ද යත්, ඕනෑම සිවිල් විරෝධතාවක්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හෝ ආණ්ඩුව විවේචනයට ලක් කරමින් පළ කරන සමාජ මාධ්‍ය සටහනක් පවා මෙම නීතියට හසු කර ගත හැකි ලෙස බළධාරීන්ට නිර්වචනය කිරීමට පහසුකම් සළසයි.
2. ඩිජිටල් මර්දනය (Digital Authoritarianism) – E2EE: විශේෂයෙන්ම මෙහි අඩංගු දත්ත කේතනය කිරීම් (Encryption) බිඳ දැමීමේ සහ අධීක්ෂණය කිරීමේ බලතල මගින් පුරවැසියාගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය සම්පූර්ණයෙන්ම රාජ්‍ය නිරීක්ෂණයට නතු කරයි. මෙය පැරණි පනතේ නොතිබූ, නූතන තාක්ෂණය අවියක් කරගත් නව මර්දන ස්වරූපයකි. මෙය එක්තරා ආකාරයකට ‘පැනැප්ටිකෝන් ව්‍යුහය’ වැනි ආකෘතියක් දක්වා පරිවර්තනය විය හැකියි.
3. රඳවා තබා ගැනීමේ බලතල: පොලිස් රඳවා තබා ගැනීමේ බලතල සහ අධිකරණ අධීක්ෂණයේ පවතින දුර්වලතා හරහා පුද්ගල අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ දැඩි අවදානම එලෙසම පවතී. නව පනතේ 29 වැනි වගන්තිය මගින් මාස ගණනාවක් පුද්ගලයන් රඳවා තබා ගැනීමට විධායකයට බලය ලැබෙන අතර, 24 වැනි වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් අයෙකු අධිකරණ අධීක්ෂණයකින් තොරව පැය 24 ක් හමුදා භාරයේ තැබිය හැකිය. මෙම කාලය තුළ, 20 වැනි වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් දුරකථන සහ ලැප්ටොප්වල මුරපද බලහත්කාරයෙන් හෝ වධහිංසාව මගින් ලබා ගැනීමට ඇති ඉඩකඩ නිසා පුද්ගලිකත්වය දැඩි අනතුරකට ලක් වේ. 74 වැනි වගන්තිය මගින් මෙම පනත අනෙකුත් සියලුම නීති අභිබවා යන බව පවසන බැවින්, සාමාන්‍ය නීතියෙන් හිමිවන පෞද්ගලික ආරක්ෂාව මෙහිදී අහෝසි වී යයි.
4. රහස්‍ය තොරතුරු පිළිබඳ 78වන වගන්තිය: මෙම වගන්ති මගින් “රහස්‍ය තොරතුරු” යන්න ඉතා පුළුල් ලෙස අර්ථ දක්වා ඇති අතර, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි තොරතුරු හුවමාරුව දැඩි පාලනයකට ලක් කරයි. හමුදා හෝ පොලිස් කණ්ඩායම්වල ගමන් බිමන් (Movements) සහ ඔවුන්ගේ රාජකාරි ස්වභාවය. විශේෂත්වය වන්නේ, මහජන අවකාශය තුළ සිදුවන හමුදා මුරපොළවල් ක්‍රියාකාරීත්වයන්, ඔවුන්ගේ චර්යාවන් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කිරීම පවා මෙයට ඇතුළත් විය හැකිය. තවද, පෞද්ගලික ඩිජිටල් උපකරණවල මුරපද පවා ජාතික ආරක්ෂාවට අදාළ “රහස්‍ය තොරතුරු” ලෙස නම් කර ඒවා ලබා දීමට බල කළ හැකි බවයි.
තවද, යම් තොරතුරක් ත්‍රස්තවාදී ක්‍රියාවකට භාවිත කළ හැකි බව දැන දැනම හෝ එසේ විය හැකි බවට සැකයක් ඇතිව; එම තොරතුරු රැස් කිරීම හෝ වෙනත් අයෙකුට ලබා දීම බරපතල අපරාධයකි. එසේම, රජය රහසිගත යැයි සම්මත කර ඇති ආරක්ෂක තොරතුරු (විශේෂයෙන් හමුදා ක්‍රියාකාරකම් සහ ස්ථානගත කිරීම්) දැනුවත්ව රැස් කිරීම හෝ ප්‍රචාරය කිරීම මෙම පනත යටතේ තහනම් වේ. (මේ කිහිපයක් පමණි. තවදුරටත් කියවන්න)
මෙම නව පනත් කෙටුම්පත හරහා හදිසි නීතිමය තත්ත්වයකදී ක්‍රියාත්මක වන සීමාන්තික විධායක බලතල සාමාන්‍ය කාලසීමාවන් තුළදී පවා භාවිත කළ හැකි වන පරිදි නීතිගත කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව හුදෙක් ජනාධිපතිවරයාගේ හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුගේ අභිමතය පරිදි සංවිධාන තහනම් කිරීමට, පුද්ගල ගමන් බිමන් සීමා කිරීමට, ඇඳිරි නීතිය පැනවීම (65 වැනි වගන්තිය) සහ ඇතැම් ප්‍රදේශ ‘තහනම් කලාප’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට පූර්ණ බලය හිමිවේ. මෙහි ඇති වඩාත්ම බරපතළ තත්ත්වය වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හදිසි නීති පාලනය සඳහා පනවා ඇති ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂිත පටිපාටි අභිබවා යමින්, සිවිල් පාලන යාන්ත්‍රණය තුළ පවා ඒකාධිපති ස්වරූපයේ බලතල ක්‍රියාවට නැංවීමට මෙයින් අවස්ථාව සැලසීමයි. මෙම පනත් කෙටුම්පතේ ඇති තවත් බරපතළම තත්ත්වය වන්නේ එහි 74 වැනි වගන්තියයි. එමගින් පැහැදිලිවම සඳහන් වන්නේ මෙම පනතේ විධිවිධාන වෙනත් ඕනෑම ලිඛිත නීතියක් අභිබවා ක්‍රියාත්මක වන බවයි. එනම්, වෙනත් නීති සමඟ මෙම පනත ගැටෙන අවස්ථාවකදී මෙම පනතේ විධිවිධානවලට ප්‍රමුඛතාව හිමිවේ
මේ සම්බන්ධයෙන් මීට පෙර මා විසින් ලියා ඇති ලිපියක සදහන් විශේෂ උදාහරණයක් නැවත මෙහි සටහන් කරමි.
සමාජ මාධ්‍ය සමූහ (WhatsApp/Facebook Admin) උදාහරණයක් ගමු: ඔබ WhatsApp සමූහයක Admin ලෙස කටයුතු කරන විට, එම සමූහයේ සාමාජිකයෙකු විසින් රජය විසින් තහනම් කරන ලද සංවිධානයකට සහය දක්වන හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දැක්විය හැකි පණිවිඩයක් පළ කරන්නේ යැයි සිතන්න. ඔබ එම පණිවිඩය දැක එය පොලිසියට වාර්තා නොකළහොත්, තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත ඔබ වරදකරුවෙකු විය හැකිය. මෙහිදී ඔබට සිදු වන්නේ සමූහයේ සාමාජිකයා පාවා දීමට හෝ වසර හතක සිර දඬුවමකට මුහුණ දීමටයි.
දේශපාලන සදාචාරය සහ ජනවරම පිළිබඳ ගැටලුව
ජාතික ජන බලවේගය බලයට පැමිණියේ PTA, OSA වැනි මර්දනකාරී නීති ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ප්‍රවර්දනය කරන බවට ලබා දුන් පොරොන්දුව මතය. එහෙත්, පරණ පනත අහෝසි කිරීමට කොන්දේසියක් ලෙස නව මර්දනකාරී පනතක් (PSTA) ඉදිරිපත් කිරීම ජනවරමට කරන ලද ද්‍රෝහිකමකි. PSTA පනත් කොටුම්පත හරහා ඒ බව තේරුම් ගැනීම දැන් කාටත් පහසුය. “එක් මර්දනකාරී නීතියක් ඉවත් කිරීමට, තිබුණු නීතියට වඩා බරපතල තවත් මර්දනකාරී නීතියක් ආදේශ කිරීම ‘වෙනසක්’ නොව ‘බැටළු හම පොරවාගත් මර්දනීය පාලනයක සළකුණක්’ පමණි.”
එකම මාවත
දැනට පෙනෙන්නට ඇති ප්‍රජාතන්ත්‍රවාදී මාවත වන්නේ ව්‍යාජ තර්ක ඉදිරිපත් කිරීම වෙනුවට සෘජු ක්‍රියාමාර්ග ගැනීමයි:
පළමුව ම්ලේච්ඡ PTA පනත කිසිදු කොන්දේසියකින් තොරව වහාම අහෝසි කිරීමත්, දෙවනුව එය අහෝසි කිරීමට යැයි පවසමින් යෝජනා කර ඇති, ඊටත් වඩා භයානක අන්තර්ගතයන් සහිත PSTA කෙටුම්පත වහාම ඉවත් කර ගැනීමත්ය.
පවතින සාමාන්‍ය නීතිය හරහා අපරාධ පාලනය කිරීමට ප්‍රමාණවත් බලයක් තිබියදී, (අවශ්‍ය නම් එම නීතිමය බලය ජාත්‍යන්තර මානව හිමිකම් රාමුවලට පටහැනි නොවන ආකාරයෙන් තවත් ශක්තිමත් කිරීමත්ය) මෙවැනි ‘සුවිශේෂී’ (Extraordinary) නීති පවත්වාගෙන යාමේ එකම අරමුණ වන්නේ රාජ්‍ය ආරක්ෂාව නොව පාලකයන්ගේ දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමයි. එබැවින්, පැරණි යකා හෝ අලුත් යක්ෂ පරපුර අතර තේරීමක් කිරීමට පුරවැසියන් සූදානම් නැත. අප ඉල්ලා සිටින්නේ මර්දනයෙන් තොර, සැබෑ නිදහස සහිත සමාජයකි.