iMage:Vikalpa

‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය 2020 වසරේ දී විශේෂාංග, විවරණයන් මෙන්ම ගවේශනාත්මක වාර්තාවන් ඇතුලු ලිපි 550+කට වැඩි සංඛ්‍යාවක්, කාටූන්, වීඩියෝ මෙන්ම ඡායාරූප සිය ගණනක් පළ කර අති අතර, ඒ සදහා සියගණනක් ලැබුණු ප්‍රතිචාර සහ ඒවා වෙනත් මාධ්‍ය අවකාශයන් විසින් උපුටා දැක්වීම තුළින් සංවාදයට බදුන් වී ඇත. විශේෂයෙන් එම පළකිරීම් ෆේස්බුක් හී 16000+කට ආසන්න සාමාජිකයින් අතර ද, ටිවීටර්, යු ටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් ඇතුලු සමාජ මාධ්‍ය අවකාශයන් තුළ ඇතිකළ සංවාදයන් තුළ සැලකිය යුතු අදහස් ප්‍රමාණයක් හුවමාරු කරවීමට සමත් විය.

බොහෝ අවස්ථාවලදී එම අන්තර්ගතයන් සම්පාදනය කිරීමට සහ පෝෂණය කිරීමට විවිධ ක්ෂේත්‍රයන්ට අදාල පුද්ගලයින් සහ කණ්ඩායම්, සංවිධාන දායක විය. ඡායාරූප, වීඩියෝ, මෙන්ම පුරවැසි කතා, අදහස් මෙන්ම සමාජ දේශපාලනික අන්තර්ගතයන් අඩංගු ලිපිවල ස්වරූපය ගත් මෙය, අපගේ සමාජ, සංස්කෘතික සහ දේශපාලනික වියමන තීරණය වුනු ප්‍රධාන ගැටලු, ක්‍රියාවලි සහ සිදුවීම් මහත් උනන්දුවකින් විමසා බැලිනි.

කෙසේ නමුත් 2020 මුල් කාර්තුවේම ගෝලිය වසංගතයක් වූ කොරෝනා රෝගය නිසා ඇතිවූ ව්‍යාකූල තත්ත්වය මත ඇතැම් ක්‍රියාකාරීත්වයන්ගේ පසු බෑමෙන් විකල්ප වෙබ් අඩවියටද මිදීමට නොහැකි විය. එසේ වූ නමුත්, අන්තර්ජාල අවකාශයේ අපගේ මාධ්‍ය ක්‍රියාවළිය එසේම පවත්වාගෙන යාමට උත්සහා ගැණිනි. එසේම දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්කම්ද සිදු වූ විශේෂ වසරක් ලෙස 2020 නම්කල හැකිය. එහිදී පැවතුනු සිමාසහිත වූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන්, ඇතැම් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයන් නිසා දරුණු ඉරි තැලීම්වලට ලක්වීමද මේ අවස්ථාවේ සටහන් කළ යුතුමය. මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික හා සංස්කෘතික අයිතීන් ඉතා වේගයෙන් හැකිලෙන වසරක් තුළ ඒවා දෘෂ්ටිවාදීව සාකච්ඡා කරන, සංවාදකරන වේදිකාවක් බවට අර්බුද හමුවේ උවද, පවත්වාගෙන යාමට ‘විකල්ප වෙබ් අඩවිය’ උත්සහා ගෙන තිබේ.

කෙසේ නමුත් අන්තර්ජාල අවකාශය තුළ මෙන්ම, භූමියේ දී ද, විවිධ බාධාවන් එල්ලකරමින් සහ සියුම් ලෙස නිරීක්ෂණය කරමින් ඇති තත්ත්වයක් තුළ වුව ද අන්තර්ජාලය පදනම් කර ගත් නව මෙවලම්වලට ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියාකාරිත්වයන් සියුම් ලෙස පරීක්ෂාවකට ලක් කළ හැකි බව මෙයින් විදහා දැක්විණ.

එපමණක් ද නොවේ. සහජයෙන් ම ප්‍රජාතන්ත්‍ර විරෝධි පාලන තන්ත‍්‍රයන් නිරුවත් කිරීමට අන්තර්ජාලය සතු හැකියාව එන්න එන්න ම වර්ධනය වෙමින් පැවතීම ද ඒ අතර වර්තමානයේ සුවිශේෂය. මර්දනය පිළිබඳ අවධාරණය වැඩි වන තරමට කතා පුවත් එළිදරව් කිරීමට කෙරෙන බල කිරීම නොවැළැක්විය හැකි ලෙස වර්ධනය වෙයි. එම තත්ත්වයන් තුළ වුවද, නානාවිධ පුරවැසියන් විශාල සංඛ්‍යාවක කැප වීම ඔස්සේ විකල්ප වෙබ් අඩවිය වසර 11කට වඩා කාලයක් සුවිශේෂී ඉලක්ක ගත ක්ෂේත්‍රයන් තුළ මහජන සංවාදයට සහය වී ඇත. එම සංවාදයන් පෝෂණය කිරීමට ශක්තියක් සපයා ඇත. එසේ නොවන්නට සමහර විවාදාත්මක කාරණා වැලලී යන්නට තරම් ඉඩ තිබිණි. එසේත් නැතිනම් එතරම් ‘අදාළ නොවන’ තත්ත්වයකට පත් වන්නට ඉඩ තිබිණි.

මේ සියලු දෙයත් සමග, ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ෆ‍්‍රීඩම් හවුස් සංවිධානය 2020 දී ත් ‘අන්තර්ජාල නිදහස’ පිළිබඳව නිකුත් කර තිබූ Freedom of the Net 2020 නම් වාර්ෂික වාර්තාවේ දී, VIKALPA, GROUNDVIEWS, MAATRAM වෙබ් අඩවි ගැන මෙසේ සඳහන් කරයි:

”..විවිධ අන්තර්ගතයන් සාමාන්‍යයෙන් Online වේදිකාවන් මගින් ලබා ගත හැකිය. සමාජ මාධ්‍ය, සන්නිවේදන වේදිකා සහ බ්ලොග්, පහසු හා පුළුල් ලෙස ලබා ගත හැකි අතර, මාධ්‍ය භූ දර්ශනය විවිධාංගීකරණය කරමින් දේශීයව විවාදයට ඉඩහසර විවරකර දෙයි. තොරතුරු වාරණය කිරීමේ ඉතිහාසයක් සහ, වාර්තාකරණ කාල සීමාව තුළ අන්තර්ජාල වේදිකාවල ක්‍රියාත්මක වන මාධ්‍යවේදීන් ඉලක්ක කර සිදුවන බිය ගැන්වීම් සිදුවන අතරේ, ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවෙන් අන්තර්ජාලය හරහා විවිධ තොරතුරු ප්‍රභවයන් ලබා ගැනීමේ හැකියව ඇත.”

”ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් නොසලකා හරිනු ලබන පුරවැසියන් විසින් ජනනය කරන ලද අන්තර්ගතයන් Vikalpa, Groundviews සහ Maatram වැනි වෙබ් අඩවි මගින් එලිදැක්විම සිදුකරයි.”

(එම සම්පූර්ණ වාර්තාව සදහා පිවිසෙන්න)

කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාව තුළ අන්තර්ජාල අන්තර්ගතයන් අවහිරකිරීම්, නිරීක්ෂණයන්, ඉදිරියේදී ද තියුණු අන්දමින් වැඩි විය හැකි තත්ත්වයක් තුළ විකල්ප අඩවියට 2022 වසර අභියෝගාත්මක වසරක් විය හැකි ය.

අභියෝගයන් මෙසේ අඛණ්ඩව වර්ධනය වෙමින් පැවතිය ද, පුරවැසි මාධ්‍යක් ලෙස වෙබ් මාධ්‍යය සඳහා තවත් වටයකින් අපට හැකි පමණින් දායක වීම ඉදිරියේදීත් අඛණ්ඩව සිදු කිරීම අපගේ අරමුණයි. අනෙක් වැදගත් කරුණ වන, නිදහස් මතවාදවලින් තොර පාලනය, අධිපති පාලනය, අනීතික ලෙස සිදුකරන අත්අඩංගුවට ගැනීම්, ඊනියා සංවර්ධනය නමින් සිදුකරන පරිසර විනාශයන්, ආගමික අන්තවාදීන් විසින් සිදුකරන වෛරී ප්‍රකාශයන්, සුලුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් මර්දනය කිරීම්, සමාජ මාධ්‍ය අතුලු අන්තර්ජාල අවකාශ සියුම් ලෙස මර්දනයන්, මානව හිමිකම් පදනම් නොකර සිදුකිරීමට උත්සහා කරන නීති වෙනස් කිරීම් සහ අසීමිත දූෂණය නිසා ඛේදජනක ලෙස මග හැරෙන, යුද්ධයෙන් පසු ලංකාවේ ඉඩප්‍රස්ථා පිළිබඳව කෙරෙන මහජන විවාදයට අතිශය වැදගත් වන අන්තර්ගතයන් විකල්ප අඩවියෙහි ඇතුළත් කර ගැනීම ඒ තුළ ප්‍රමුඛ වෙයි.

එසේම පවතින අසීරුම මොහොතේ වුවද පීඩිත වින්දිතයන්ගේ යුක්තිය වෙනුවෙන්, සමාජ සාධාරණත්වය සහ පොදු යහපත වෙනුවෙන් සිය පුරවැසි මාධ්‍ය ක්‍රියාවලියේ සිට මහපොළවේ සිදුවෙන යහපත් මිනිස් ක්‍රියාවලින් සමග එකට, එක්ව සිට ගැනීමත් අපට අත්හල නොහැකි වගකීමක් ලෙස අපි සිතමු.

එබැවින් එළඹෙන 2021 නව වසර අපට සුභ විය හැකි වන්නේ, යුක්තිය සහ සාධාරණත්වය ඇවැසි මිනිසාට යුක්තිය සහ සාධාරණත්වය ඉටුවන මානව හිමිකම් පදනම් සමාජයක් වෙනුවෙන් වෙහෙස වුවහොත් පමණි. ඒ සදහා පවතින දේශපාලන සහ සමාජ තත්ත්වය තුළ වෙහෙසව වැඩකල යුතු බව දනිමු. ඒ සදහා පාඨකයන්ට මෙන්ම සියලු පුරවැසියන්ටද ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරමු.

මේ සියලු දෙයට ඔබගේ දායකත්වය ලබා දෙනු ඇතැයි ද, ඔබ සතු ශක්තීන් සහ අදහස් බෙදාහදා ගනු ඇතැයි ද පෙර කවර දාටත් වඩා අර්ථාන්විත ලෙස මෙම කටයුතුවලට දායක වනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු.

මේ සියලු අදහස් සමග, 2020 ‘විකල්ප’ වෙබ් අඩවිය හා බැදි අන්තර්ජාල වේදිකාවන් තුළට, පළ කරනු ලැබූ අන්තර්ගතයන් #YearInReview2020 ලෙස සාරාංශගත දිගහැරීමක් ඔබ හමුවේ තබමු. here

YearInReview2020 ගෙවුණු වසර දෙස හැරී බැලීමක්!