ඔන්න හදලා දුන්නා, දැන් ඉතිං අපි කියන විදියට නිදහසේ හිටපල්ලා
June 19, 2013 by Karapoththa
Filed under Colombo, Democracy, Development, Economy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance
[Image Credit: exploresrilanka.lk]
ඇතුල් වෙන තැන ලොකු බැරියර් එකක්. පොලීසියේ මහත්තුරු තුන් දෙනෙකුත් හිටියා. අපේ මොකෝ, අපි ආවෙ ටිකක් සැහැල්ලූවෙන් ඉන්නනේ, කියලා අපි එයාලව පහුකරා.
බය හිතෙන තරං පිළිවෙලට හදා ඇති ඒ ලස්සන පරිශ‍්‍රයට අපි ඇතුල් වුණේ උද්දාමයෙන්. දෙපැත්තේ ලස්සන හුරුබුහුටි ගස් වවලා. ව්‍යායාමෙට හැල්මෙ ඇවිදින අයට රෝස පාට ගල් අල්ලපු වෙනම පේව්මන්ට් එකක්. චිල්රන්ස් ප්ලේ ඒරියා එකේ පාර පුරා චිත‍්‍ර ඇඳලා. අමුතු ලස්සනක්. පාර දෙපැත්තේ වාඩි වෙන්න හදපු ගෝලාකාර සිමෙන්ති කුට්ටි. ඒවා පතුලෙ ලයිට්. තැන දැකලා පොඩි එකාට ඉහිලූම් නැති වුණා. ඒකා ඇඟයි හිතයි මුදා හැරියා. දුවන්න ගත්තා.
කොහෙන්දෝ කන් කීරී ගස්සන විසිල් පාරක් වැදුණා.
’‘තණකොළ පාගන්න එපා….අයින් වෙන්ඩ…අයින් වෙන්ඩ ’’ …ඈතින් සෙකුරිටි කෙනෙක් අපේ දිහාට කෑ ගහනවා…මම පොඩි එකා කොහෙද බැලූවා. ඒකගෙ එක කකුලක් රෝස පාට ගල් අල්ලපු පේව්මන්ට් එකේ, අනිත් කකුල තණකොළ බිස්සෙ.
’‘පොඩි ළමයින්ට කියන්න තණකොළ පාගන්ඩ එපා කියලා’’ සෙකුරිටි අපිට සැර දැම්මා.
තව ටික වෙලාවකින් එක පාරටම තවත් විසිල් පාරක් වැදුණා. ඒ වෙන සෙකුරිටි කෙනෙක්. ඈතින් හිටපු වෙන ළමයි ටිකකට. පාරෙ අයිනෙ තියෙන ගලක් උඩ පොඩි එකෙක් නැගලා. ‘‘ගල් උඩ නගින්ඩ බෑ….ගල් උඩ නගින්ඩ බෑ…’’
අපි ටිකක් තක්කු මුක්කු වෙලා හිටියෙ. තැන වැරදිලා ආවදවත් කියලා. එහෙන් මෙහෙන් විසිල් පාරවල් එක දිගටම වදිනවා…‘‘කපල්ස්වලට මෙහේ එන්න බෑ….අර පැත්තෙ විතරයි….මේ පැත්ත තියෙන්නෙ එක්සයිස් කරන අයට’’ තව ටික වෙලාවකින් අපේ පොඩි එකාට ගැහැණු සෙකුරිටි කෙනෙක්ගෙන් දරුණු විසිල් පාරක්. ‘‘ඔය ගල් අහුලන්න එපා…වතුරට ගල් විසි කරන්න තහනං’’
මට තවත් ඉවසගන්ඩ බැරිම තැන කෙළින්ම සෙකුරිටි කෙනෙක් ගාවට ගියා.
‘‘මෙතන මොනවද කරන්න පුළුවන් කියලා කියන්නකෝ’’
‘‘ව්‍යායාමෙට ඇවිදින අයට මේ පේව්මන්ට් එකේ ඇවිදින්න පුළුවන්. පොඩි ළමයින්ට පාරේ බයිසිකල් පදින්න පුළුවන්. ඔය පාරෙ ඇඳලා තියෙන චිත‍්‍ර උඩ බුදියගෙන ෆොටෝ ගන්ඩ පුළුවන්. කකුල් පාර පැත්තට දාලා මේ සිමෙන්ති බෝල උඩ වාඩි වෙන්ඩ පුළුවන්…අනිත් පැත්තට වාඩි වෙන්ඩ දෙන්නෑ, මොකද එතකොට තණ කොළ පෑගෙන නිසා, ගස්වලට හේත්තු වෙලා ඉන්ඩ බෑ, පොඩි ළමයින්ට ගස් නගින්ඩ බෑ, ඔය ලස්සනට තියලා තියෙන කලූ ගල් උඩ වාඩි වෙන්ඩ බෑ,……බෑ….තහනං’’
‘‘ඇයි තණකොළ පාගන්ඩ බැරි?(මට විතරක් ඇසෙන ගාණට) බිම් බෝම්බ වළලලා තියෙනවද?’’
‘‘මේක හදලා තියෙන්නෙ පිඩලි අල්ලලා. හමුදාවයි නේවි එකයි හරි පරිස්සමට මේවා ඇල්ලූවේ. ඕක පාගන්ඩ දුන්නොත් පිඩලි ගැලවිලා යනවා. අනික එක්සයිස් කරන මහත්තුරු මේ ගස් අල්ලගෙන කණකොළ ගොඬේ උඩ පනිනවා…සමහර ගෑනු ළමයි ගස්වලට හේත්තු වෙලා ටෙලිෆෝන් වලින් කතා කරකර කකුල් වලින් පස් හාරනවා…එතකොටත් පිඩලි ගැලවෙන්ඩ පුළුවන්….ගැලවුණොත් හමුදාවයි නේවි එකයි තමයි ආයිත් අල්ලන්ඩ ඕනෙ.’’
‘‘මෙතන සෙකුරිටි මහත්තුරු කී දෙනෙක් ඩියුටි ඉන්නවද?’’
ඔහු කියූ හැටියට ඒ පරිශ‍්‍රයේ ආරක්ෂක නිලධාරීන් 22 ක් මුරට සිටිති. ඔවුන් නාගරික සංවර්ධන අධිකාරියෙන් පත් කළ ආරක්ෂක නිලධාරීහු වෙති. මිනිසුන්ට නිදහසේ ගත කරන්නට, දරුවන්ට සෙල්ලම් කරන්නට හැදූ තැනකට ඒ සා විශාල ආරක්ෂක නිලධාරීන් පිරිසක් මොනවටදැයි මට සිතුණ නමුත්, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මේ සුවච කීකරු සේවකයාගෙන් මම එය නෑසුවෙමි. අනික එතැන ඇති නීතී රීති වල තරමට ඒ තරං ආරක්ෂක නිලධාරීන් පිරිසක් නැතිවත් බැරිය. මිනිසුන්ට නිදහසේ ඉන්නට ඉඩ හැර, හැම මොහොතකම ඔවුන් දෙස ඇහැ ගසාගෙන සිටිය යුතුමය. වෙලාවට විසිල් පාර ගැසිය යුතුය.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ(එය කියවෙන්නේ ඒ අසල පිහිටුවා ඇති ඵලකයකය.) පාර්ලිමේන්තු මං සන්ධියේ වෝටර්ස් එජ් අසල ඉදිකර ඇති, තාමත් නොයෙක් අංග එකතු වෙමින් පවතින මේ ව්‍යායාම් සහ උද්‍යාන පරිශ‍්‍රය, අපේ රට තව අවුරුදු කීපයකින් පත්වීමට නියමිත් තත්ත්වය අත්හදා බලන තැනක් වැනිය. සියල්ල බැලූ බැල්මට ඉතා කදිමට නිමවා ඇත. පිළිවෙල උරිමයය. නඩත්තුව ඉස්තරම්ය. සියලූ ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු යුද හමුදාව සහ නාවික හමුදාව විසින් මෙහෙය වේ. දහ අතේ ආරක්ෂක නිලධාරීහු වෙති. ‘‘ජනතා අයිතියට පවරා අතැයි’’ මිනිසුන්ට කියා එන එන එකා දෙස ඇහැ ගහගෙන ඉන්නට ආරක්ෂක නිලධාරීන් යොදවා ඇත. අතාර්කික නීති රැසකි. නිදහස, සැහැල්ලූව රස විඳීම මිනිසුන්ට ඕනෑ හැටියට කරන්නට බැරිය. කකුල තියන්නේ කොතනද, පස්ස තියන්නේ කොතනද, අත කොච්චරක් දික් කළ යුතුද, කී වාරයක් උඩ පැනිය යුතුද,…..මේ ආදී වශයෙන් සියලූ දේ තීරණය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයෙනි. මිනිසුන්ට ඇත්තේ, (ඇත්තෙන්ම දැන් මිනිසුන් කරන්නේද එයයි) අමාත්‍යාංශයෙන් හදා දෙන සැහැල්ලූවේ පැකේජය පාවිච්චි කර, පොටෝ අරගෙන ගෙදර යාමය.
වරෙක මම මිත‍්‍රයෙකු සමග නිදහස් චතුරස‍්‍රයේ කණුවක් යට වාඩි වී, කුමක් හෝ වැඩක් කරන්නට ලැප් ටොප් එක දිග ඇරගත්තෙමි. ඈතින් පුටුවක වාඩි වී සිටි ගැටවර සිකුරිටි පරල වී අප අසලට විදගෙන ආවේය. ඔහු සිටියේ මහත් උදහසිනි. ‘‘ලැප්ස් තියාගෙන වැඩ කරන්ඩ දෙන්න බෑ’’ මාත් මිතුරාත් ඒ තහනමට හේතුව කුමක්දැයි දිගින් දිගටම ඔහුගෙන් විමසද්දී ඔහු කීවේ එය ආරක්ෂක අමාත්‍යාංශයෙන් තමන්ට දී ඇති උපදෙසක් බවයි. ඕනෑනම් තණකොළ පිට්ටනියට ගොස් වැඩ කරන්නැයි ඔහු අපට කීවේය. අව්වේ ලැප්ටොප් එකක් තියාගෙන වඩ කළ නොහැකි නිසා මෙතනට ආවා යැයි අප කී වීට ඔහු කීවේ, ආරක්ෂක හේතු මත කිසිසේත්ම ඊට ඉඩ දිය නොහැකි බවයි. අපේ රටේ ආරක්ෂක නීති රීතිවල විකල් ස්වභාවයට වඩා මගේ ඉහමොල රත් වූයේ, පීඩිත පන්තියේ අප වැනිම පුරවැසියෙකු වන මේ ගැටවර සෙකුරිටි, ඒ අභූත නීති රීති ක‍්‍රියාත්මක කරන්නට තමන්ට ලබා දී ඇති සොච්චම් බලය කරට ගෙන මයිල් පුප්පාගෙන දාන පාට් එකටයි. මේ අපේ රටේ පොදු ජනතාවගේ ඛේදවාචකයයි.
ආරක්ෂක ලේකම්වරයාගේ ව්‍යාපෘතිය යටතේ, මාදිවෙල ඉදිකර ඇති ව්‍යායාම් පරිශ‍්‍රය ද සුන්දර තැනකි. පස් යටකර හැමතැනකම කොන්ක‍්‍රීට් ගල් කෑලි අල්ලා ඇති නමුත් එතැනට ගිය විට සැහැල්ලූ හැඟීමක් ඇතිවේ. නමුත් ටික වේලාවකින් සෙකුරිටිලා එහෙන් මෙහෙන් එබෙන විට, ඒ හැඟීම අතුරුදහන් වේ. දිනක් රාත‍්‍රී 10. 30 ට පමණ අප මිතුරන් දෙදෙනෙකුත් සමග එතැන පසුකර එන විට, දියවන්නාව අසබඩ සඳ එළිය යට පාළුවට ඇති ගල් බංකු දැක, මඳකට වාඩි වී හිඳ යමුයි සිතා එහි ගියෙමු. අප, පරිසරයේ නිහඬබවට ගරු කරමින් බොහොම සෙමින් කතා කරමින් සල්ලාපයෙන් හිඳිද්දී, රයිපලයකුත් එල්ලා ගත් පොලිස් නිලධාරියෙක් ආවේය. අපි කවුද මෙතන මේ ? මොනවා කරනවාදැයි ඇසූ ඔහු, අපට දැන්මම පිට වී යන්නැයි කීවේය. ‘‘මෙතන හදලා තියෙන්නෙ ව්‍යායාම් කරන්න…නිකරුණේ ගැවසෙන්න බෑ….අනික දැන් වෙලාව 10 පහුවෙලා’’. ‘‘අපි ව්‍යායාම් මං තීරුවේ දුව දුව කතා කළොත් ඉන්න දෙනවාද ’’ යි මගේ වාචාල මිතුරා ඇසූ විට අපි ඔහුවත් ඇදගෙන වාහනයට ගොඩ වූයේ, ආරක්ෂක අමාත්‍යාංශයේ උදහසට ලක් වීමේ ආදීනව ඕනෑවටත් වඩා හොඳින් දන්නා නිසයි.
දියවන්නාව අබියස සිදුවෙන දේ අපේ රට අද පසුකරමින් සිටින, අධ්‍යාත්මය කුණු වුණු සමාජ සංස්කෘතික මොහොත ඉතා නිවැරදිව පිළිබිඹු කරනවා නේදැයි මට සිතේ. රටක් ලෙස අප පසුකර ආ ඉතිහාසය උද්දච්ච ලෙස අමතක කරමින්, ඒ පිළිබඳ සියලූ සලකුණු බුල්ඩෝසර් කර, ඇස් බැන්දුං සංවර්ධනයත්, ජනාධිපති පවුලටත්, මැති ඇමතිවරුන්ටත්, ඒ අයගේ චක්ගෝලයින්ටත් මිස වෙන කාටවත් ඇඟට නොදැනෙන සෞභාග්‍යයකුත් මවා පා ඇත. අහිංසකයින්ගේ ආරාමය චප්ප කර දැමූ තැන ඇත්තේ විසිතුරු මල් අලෙවි කරන කුටිය. පාර්ලිමේන්තුවට හැරෙන පාර ආරම්භ වන තැන මංසන්ධියේ ඉදිකර තිබූ ඝාතනයට ලක් වූ නාලන්ද එල්ලාවල මහතාගේ පිළිරුව අද එතැන නැත. එයට කුමක් වුණාදැයි මා දන්නේ නැත. අද එතැන ඇත්තේ, ජාතික ඇඳුම ඇඳ සාටකය දමා ගත් අභිමානවත් පිරිමියෙක් සහ ඔසරිය ඇඳ මුතු පොට දැමූ ගැහැණියක් සහ ඔවුන් දෙදෙනාගේ පාමුලින් ගොවි, ගෙවිලියන්, පැරණි වෙදෙක්යැයි සිතිය හැකි වියපත් අයෙක්, පොතක් අතින් ගත් ළමයෙක් ආදී වශයෙන් වන පිරිසක් පිළිඹිබු කරන පිළිරුවකි. (එහි අර්ථය එතරම් පැහැදිලි නැත. ඒ බණ්ඩාරනායක සහ පංච මහා බලවේගය යැයි එකවරටම සිතුණත්, එවැන්නන් කිසිසේත් විය නොහැකි බව පසුව සිහිපත් විය.) එය සුදෝ සුදුය.
හැමදෙයක්ම පාලනය වෙන්නේ හමුදාව අතිනි. ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණයෙනි.
(මළවුන් වෙනුවෙන් ඉදිකළ සෙහොන් සහ ස්මාරක කඩා බිඳ දමන්නේත්, හමුදාව. හැමදේම පාලනය කරන්නේත් ,උතුරේ පමණක් නොවේ, හමුදාවය)
මේ සියල්ල දෙස බලා සිටින, හිරි වට්ටවන ලද, පොදු ජනතාවට එකම තැන වට ගණං දුවන්නට නිදහස් පරිශ‍්‍රයක් ලබා දී ඇත. රාත‍්‍රියට පණ ගන්වන විස්මිත වතුර මලට වශී නොවී සිටිය නොහැකිය. දියවන්නාවේ පාවෙන බෝට්ටුවේ අවහන්හල දිහා බලා ඉඳ ගෙදර ගිහින් පාන් කෑල්ලක් කෑවත් සැපය. රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් කියන විදියට සැහැල්ලූව විඳගන්නවානං සෙකුරිටිලාගේ විසිල් වලින් සහ පොලිසීයේ කුරුමාණම්වලින් කරදරයක් නැත. ඔලූවලටට පොලූ වලින් ගසා හීලෑ කළ ජනතාව රුදුරු ආඥාදායකත්වයක් අහෝ සැපයි කියමින් සොඳුරු ලෙස විඳගනිමින් සිටිති.
දියවන්නාව අසබඩ අද පෙනෙන පින්තූරය විශාලනය කර බැලූවොත්, නුදුරේදී හදා නිමවන ශ‍්‍රී ලංකාව දැකගත හැකිවෙනු ඇත.
නදී කම්මැල්ලවීර | Nadee Kammallaweera
ළමුන්ට අතවර කරන්නේ අන්තර්ජාලයද?
June 19, 2013 by Sampath Samarakoon
Filed under Colombo, Culture, Democracy, Education, Features, Media, Media and Communications
පසුගිය ජූනි 11වන දා අපූරැ පුවතක් වෙබ් අඩවියක පළවී තිබිණි. එම පුවතේ ශීර්ෂය ලෙස සදහන් ව තිබුණෙ ‘අන්තර්ජාලය නිසා අද රටටම ජංජාලයක්‘ යන්න යි. එම පුවතින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධාරී පොලිස් පරීක්ෂක කේ. ඒ. එස්. සේනානායක උපුටා දක්වමින් කියැවුනේ ‘අන්තර්ජාලය අද රටටම ජංජාලයක් වෙලා අතවරයට ලක්වන දරුවන්ගෙන් 82%ක් අන්තර්ජාලයේ ෆේස්බුක් හෝ ජංගම දුරකථන නිසා බව පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. මේ හරහා මිතුරුකම් ඇති කර ගන්න අය ඇසුරු කළ සුළු කලකදී ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගන්නවා. මේ දරුවන්ට ප්‍රේමය පිළිබද අවබෝධයක් නැහැ. මාස කිහිපයකට පස්සේ ඔවුන් ඉතා විශ්වාස අය බවට පත් වෙනවා. එසේ වීම නිසා නිදහස ලැබූ අවස්ථාවන්හිදී ලිංගික ඇසුරට එක් වෙනවා.‘ යනුවෙනි.
දැන් මෙම ප්‍රකාශයේ හැගවුම තුළින් සිය ලිං මැඩි චින්තනය මනාවට ප්‍රදර්ශණය කරමින් දරැවන් අතවරයට ලක්වීමත්, ඔවුන් ලිංගික ඇසුරට එක් වීමත් අන්තර්ජාලය නිසා සිදුවන්නක් බව පැහැදිලි කිරීමට උත්සහ ගනියි. ඒත් සමග ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි මාරයෙක් ලෙස හදුන්වා දීමට ද උත්සහ කරයි. නමුත් එම නිළධාරියා ‘ප්‍රේමය පිලිබද අවබෝධයක් නැහැ‘ යනුවෙන් පවසයි. එය සත්‍යක් වන්නට පුලුවන. නමුත් අප ඔහුගෙන් ඇසිය යුත්තේ එයට වැරදි අන්තර්ජාලය ද, ෆේස්බුක් එක ද කියා ය. අනෙක් පසින් දහස් ගණනක් මරා දමන තෙක් කකුල් උඩ තියාගෙන රෑපවාහිනියේ මළ මිනී ගණන් කර අත්පුඩි ගැසූ සමාජයකට ‘ප්‍රේමය‘ ගැන අදහසක් තිබිය නොහැකි බව ඔහුට වැටහෙන්නේ නැත.
මෙම නිළධාරියා පමණක් නොව ලංකාවේ බොහෝ කුහක සදාචාරවාදීන් තවමත් සිතා සිටින්නේ අන්තර්ජාලය නිසා අපේ දරැවන් නරක් වෙන බවය. එබැවින් එයට පිවිසීම හැකි තරම් වැලැක්විය යුතුය. පුලුවන් නම් එය තහනම් කළ යුතුය. එක් පැත්තකින් ඔවුන් සිතන්නේ අන්තර්ජාලය තිබෙන්නේ ‘කුනුහුරුප‘ කරන්නට කියා ය. අනෙක් පැත්තෙන් ලංකාවේ ඇතැම් වෘත්තීය සමිති නායකයන්, පැරණි වම්මුන් මෙන් ඔවුන් සිතන්නේ ෆේස් බුක් එක තිබෙන්නේ හැකි තරම් බොරැ නම්වලින් පෙනී සිටිමින් ගැහැණුන්ව දැලේ දමා ගැනීමට කියා ය. එයට වඩා දෙයක් එයට කලහැකි මෙන්ම කෙරෙමින් තිබෙන වබ බොහෝ ජනයාට වැටහෙන්නේ නැත.
නමුත් ප්‍රශ්ණය තිබෙන්නේ තමන්ගේ ඔලුව ඇතුලේ කියා තත්පරයකටවත් ඔවුන් සිතන්නේ නැත. මෙම නිළධාරියා පවසන ලෙස ළමුන් අතවරයට ලක්වීම යන කරැනු ගතහොත්, එයට ප්‍රධානතම කරැණු අතර එකක් ලෙස ලිංගික අධ්‍යාපනය පිලිබද ගැටලුව සැලකිය හැකිය. අපේ සමාජයේ අඩුම තරමේ ලිංගික අධ්‍යාපනය පිළිබදව බොහෝ පාසල්වල උගන්වන්නේ නැති තරම්ය. යෝනිය, ශිෂ්ණය, ගර්භාෂය වැනි මිනිස් ශරීරයේ කොටස්වල ඡායාරෑප. වචන පවා විද්‍යාව පොතේ තිබුනොත් අහක බලාගෙන එම පිටු පෙරලමින් වෙනත් පාඩම් කියා දෙන ගුරැවරැ අදටත් සමාජයේ ඕනෑ තරම් සිටිති. එතැන් පටන් ඒ දරැවන් සමාජ ගතවන තුරැත් ලිංගික අධ්‍යාපනය ගැන මෙලෝ හසරක් විදිමත්ව දන්නේ නැත. ඔවුන් ඒවා ඉගෙන ගන්නේ එවැනිම ලිංගිකත්වය පිළිබද කුහක අදහස් ඇති සමාජයෙන් ය. ලිංගික අධ්‍යාපනය ගැන යමක් හෝ ඉගෙන ගන්නේ එම කුහක සමාජයෙන්ම වීම නිසාම ඔවුන් දන්නේ එක්කෝ එය කුහක අර්ථයෙනි. නැතිනම් විකෘති අර්ථයෙනි. එයට වඩා දෙයක් ඔවුන්ට ලැබෙන්නේ ද දන්නේ ද නැති තරම්ය. ලිංගික අධ්‍යාපනය පිළිබද කිසිදු දෙයක් ලාංකීය සාම්ප්‍රදායික නිවසින් ද නොලැබෙන තරම්ය. ඇතැම්විට නිවසින් ලැබෙන්නේද ලිංගිකත්වය පිළිබදව, ආදරය පිළිබදව ඒක “නරක වැඩක්‘ වගේ අදහසක්ය.
එබැවින් මුල සිටම ලිංගිකත්වය, ආදරය වැනි මිනිස් ක්‍රියාවන් පිළිබදල කිසිදු අධ්‍යාපනයක් නොලැබූ දරැවන් සිටින සමාජයක 82%ක් දරැවන් අතවරයට ලක්වීම සිදුවන්නේ අන්තර්ජාලය හා ෆේස්බුක්වලින් යැයි කීම වැනි කියමනක දුගීබව තවදුරටත් සරළව තේරැම් ගැනීමට තවත් ආසන්න උදාහරණ කිහිපයක් සැපයීම සෑහේය. රාජපක්ෂ ආණ්ඩුවේ සුනිල් සරැවා නැමති ප්‍රාදේශීය දේශපාලකයා අඩුම තරමේ පරිඝනකය, අන්තර්ජාලය ගැන මෙලෝ හසරක් දන්නේ නැති තරම් බව ලියුම්කරැ විසින් ඔහු පිළිබද සොයා බැලීමේදී අවබෝධ විය. එහෙත් ඔහුගේ සිය විකෘත් ලිංගික උමතුව කොතෙක් ද යත් ගැහැණු දරැවන් 100ක් දූෂණය කර උත්සවයක් තබා එය සාඩම්බරයෙන් සැමරෑ බව ඇතැම් මාධ්‍යය ද මෙයට ටික කලකට පෙර වාර්තා කලේ ය. එසේ වු විය එයට වැරදි අන්තර්ජාලයද? එසේත් නැතිනම් එම දේශපාලකයාගේ විකෘති මනෝභාවයද? අනෙක, පසුගිය දා මහනුවරදී හිමිනමක් හරකෙක් වෙනුවෙන් පෙට්‍රල් සිරැරට හලා ගෙන ගිණි තබා ගත්තේය. ඉන් පසු මහනුවර ප්‍රදේශයේ ඇතැම් ඉන්ධන හල්වලින් බෝතල්වලට සහ කෑන්වලට පෙට්‍රල් දීම නවතා දමා ඇති බවත් වාර්තා විය. දැන් ඒ හිමි ගීනි තබා ගැනීමට වැරදි පෙට්‍රල් ද? නැති නම් ඉන්දන හල් හිමියා ද? එසේත් නැතිනම් බෞද්ධ දර්ශනය පිලිබිද කිසිදු අදහසක් නැති භික්ෂුව ද?
එහෙවු රටක නූතන තාක්ෂණික මෙවලම් නිසා දරැවන් නරක් වෙනවා යැයි අදහස් කරමින් එය ප්‍රතික්ෂේප කරමින් සිටීමට වඩා ළමා ආරක්ෂක අධිකාරියට වටින්, ඔවුන්ට ඒ පිළිබද නිසි අධ්‍යාපනයක්, වැටහීමක් ලබා දීමට කටයුතු කිරීම නොවේ ද? එසේ වුවහොත් අනාගතයේදී සුනිල් ලා වැනි නරැමයින් බිහිවීම අඩුම තරමින් අවම කර ගත හැකිය.
අනෙක් පසින් පිරිමි සහ ගැහැණූ ශරීරවල හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා හට ගන්නා ප්‍රතිචාරයන් පාලනය කිරීමට ළමා ආරක්ෂක අධිකාරියටවත්, මහින්ද චින්තනයටවත් කළ නොහැකිය. නමුත් ඒ මගින් ඇතිවන ලිංගික උත්තේජනයන් පිළිබදවල එම උත්තේජනයන්වල විද්‍යාත්මක තත්ත්වයන් සහ හැගීම් පිළිබදව විදිමත් අධ්‍යාපනයක් ලබා දිය හැකිය. ශිෂ්ඨ සමාජයක් නම් ඉදිරියට යා හැක්කේ එවිටය. වාරණයන්, තර්ජනයන්, දඩුවම් කිරීම මගින් නූතන සමාජයේ අලුත් මිනිසෙක් ගොඩනගා ගත නොහැකිය. නූතන තාක්ෂණයල දැණුම පසෙකට දමා ඇවිළිය හැකි වෙනත් දේවල් ඉදිරියට දමා ගනෙ ආශ්චර්ය කරා නොව ආපසු ගෝත්‍රික තත්ත්වයකට නම් ගමන් කළ හැකිය.
නමුත් අද වන විට අන්තර්ජාලයට බැන වදිමින් එය තහනම් කරන්නේ කෙසේ දැයි කැසකවමින් සිටින පාලකයින් සිටින සමාජයක ශිෂ්ඨ ලෙස අධ්‍යාපනය, දැනුම, නව තාක්ෂණය වැනි දේ පිළිබදව සුබවාදී අන්දමින් බලමින් ක්‍රියාකරනවා දැකිය නොහැකි ය. එසේම මෙවැනි බලය පිළිබද අධික ආශාවෙන් පෙළෙන පාලකයින් විසින් සියලු දේ හසුරැවන තත්ත්වයක් තුළ එවැන්නක් සිදුවීමට ඇති අවස්ථාවන් ද ඉතා විරලය.
අන්තර්ජාලයට ‘වැරදි‘ කීමේ රාජපක්ෂ වාසිය
අන්තර්ජාලය සම්බන්ධයෙන් එම පොලීස් නිළධාරියාගේ දුගී ප්‍රකාශයෙන් වඩා උද්දාමයට පත් වන්නේ වර්තමාන රාජපක්ෂ ආණ්ඩුවයි. ඒ අන් කිසිවක් නිසා නොව පසුගිය කාලය පුරාම වර්තමාන පාලනයට අන්තර්ජාලය ‘වදයක්‘ වී ඇති බව ඔවුන් විසින් ම ඔප්පු කරමින් ඇති බැවිනි.(ඒ පිළිබව ආසන්නතම උදාහරණයක් පසුගියදා ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රකාශ කර ඇත. ඒ පිළිබදව වෙනම ලිපියකින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි)
වෙබ් අඩවි ගණනාවක් වාරණය කරමින් සහ තමන්ගේ කීකරැ කුක්කන් බවට පත් කිරගැනීම පිණිස වෙබ් අඩවි ලියා පදිංචිකරමින්(කිසිදු නීතිමය පදනමකට යටත් නොකර) විවිධ උත්සහයන් ගත්තේ ය.(තවමත් ගනිමින් සිටී) නමුත් ඒ කිසිවක් සිතූ ලෙස අවසන් කර ගැනීමට රාජපක්ෂ පාලනයට නොහැකි වූයේ අන්තර්ජාල මාධ්‍ය භාවිතාවටම අනන්්‍ය, සුවිශේෂ වූ ගුණයන් නිසාය. නමුත් ඒ මුග්ධ උත්සහයන් තවමත් අත්හැර නොමැති බව ඇතැම් නිළධාරීන් විසින් පසුගිය දා කරනු ලැබු එක් ප්‍රකාශයකින් පැහැදි ලි විය. එම ප්‍රකාශයෙන් කියැවුනේ ‘අපේ බෞද්ධයා‘ ගැන ලෝකය පුරා වැරදි මත යවනවා. වෙබ් අඩවි හරහා මේ දේවල් සිදුවෙනවා.‘‘ යනුවෙනි. එයින් පැහැදිලි වන්නේ රාජපක්ෂලාගේ හුරතලුන් නොවුනු වෙබ් අඩවි විසින් රාජපක්ෂලාගේ සුදු රෙදි වලින් වසා ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයන් ලෝකයට වාර්තා කිරීම නිසා කිපී ඇති තරමයි. එයට එරෙහිව ජනයා පෙළ ගැස්වීමට භාවිතා කරන ලද නවතම මෙවලම ‘අපේ බෞද්ධ‘ කමයි. මක් නිසා ද මේ වනවිට ලංකාවේ දී ‘බෞද්ධ‘ කම අන්තවාදී ලෙස මාර්කට් කරමින් අති නිසා එහි වඩා බලයක් ඇතැයි ඔවුන් සිතා සිටිනවා වන්නට පුලුවන. එය හරකාගේ සිට ක්‍රිකට් ක්‍රීඩාව දක්වා වර්ධනය වීමෙන් සමාජයේ යම් කොටසක් ද එහි වඩා බලයක් ඇතැයි සිතනවා වන්නට පුලුවන. නමුත් එය ආපසු කැරකී තමන් වෙතම පැණිනෙන බව ඔවුන්ට වැටහෙනවිට කෝච්චිය ගොස් හමාරය.
දැන් සියල්ල හරිය.
එක් පසකින් ‘අපේ බෞද්ධයාට‘ විරැද්ධව අන්තර්ජාලය තුල වෙබ් අඩවි ක්‍රියාකරනවා, යනුවෙන් මෙන්ම, සමාජ ජාල වෙබ් අඩවි ජාතික ආරක්ෂාවට තර්ජනයක්(මේ පිළිබදව වෙනවම විග්‍රහයක් පසුව ඉදිරිපත් කරමු) කියා ආරක්ෂක ලේකම්වරයා පවසද්දී, අනෙක් පසින් ළමුන් අතවරයට පත් වන්නේ, අන්තර්ජාලය සහ ෆේස් බුක් මගින් කියා ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් නිළධාරීයෙක් දත්තමය වශයෙන් ගෙන හැර පවසයි. දැන් අපේ ළමයිනුත්, දිවිහිමියෙන් ගිණිතබා ගෙන රැකගත් අපේ බෞද්ධකමත්, විනාශ කරන්නේ අන්තර්ජාලය යැයි රාජපක්ෂ වන්දනීය ජනයාට සිතෙනු ඇත.(නැත, රාජපක්ෂලාට සිතී ඇති දෙය ජනයා අනිවාර්යෙන් සිතිය යුතුය. එය එසේ වන්නේ, ජනයා වෙනුවෙන් සිතන්නේ ඔවුන් බැවිනි.) ඒ අවිචාරවත් සිතිවිල්ල සිය දේශපාලනික බලය තව තවත් තහවරැ කරගැනීම සදහා හොදම උපකරණය යැයි සිතා තව තවත් අන්තර්ජාල වාරණයන් ‘ජනයාගේ කැමැත්ත මත‘ යන ඊනියා යෙදුම භාවිතා කරමින් රාජපක්ෂ පාලනය විසින් ඉදිරියටත් සිදු කළ හැකිය. දැන් අතගසමින් සිටින ෆේස්බුක් වැනි සමාජ ජාල ද, මේ තර්කයම යොදා ගනිමින් වාරණය කිරීම සදහා ද ඔවුන් පසුබට නොවනු ඇති. මක් නිසා ද යත් මෙලෙස ප්‍රකාශණයේ නිදහස උපායමාර්ගිකව හකුලමින් තිබෙන ආණ්ඩු විශේෂයෙන් ඔවුන්ගේ බලය තහවරැ කරගැනීම සදහා ඇති එක් ප්‍රධාන හතුරෙක් ලෙස සලකනුයේ වෙබ් අඩවි සහ අන්තර්ජාල සමාජ ජාලයන් ය. එය එසේ වන්නේ එම ආණ්ඩුවල දූෂීත, ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයන් ලෝකය පුරා බෙදා හැරීමට බොහෝ අන්තර් ජාල මාධ්‍යන් පසුබට නොවීමය. ඒ තුලින් එම පාලනයන් කිසියම් දෙදරීමකට ලක්වීමට ඇති ඉඩ විශාල වශයෙන් බව පසුගිය කාලයේ ලෝකයේ ඇතැම් පාලකයන් ඇද වැටුනු ආකාරයෙන් මනාවට පැහැදිලි ය.
එම නිසා, ‘අපේ බෞද්ධකම“ ‘ජාතිය‘ ‘දේශප්‍රේමය‘ ‘අපේ ළමයි‘ යනුවෙන් අයිසින් තැවරෑ අවිචාරවත් අදහස් සමාජ ගත කරමින් යථාර්තය සගවා තමන්ගේ පවුල් දේශපාලනය තර කර ගැනීමට කෙතරම් උත්සහ කළත්, පෙර පැවසූ ලෝක තත්ත්වය ලංකාවටත් එකසේ අදාලය. මක් නිසාද යත් ලෝකය තිබෙන්නේ ලංකාව තුල කියා ඇතැම් අය සිතා සිටියත්, යතාර්තය නම්, ලංකාව තිබෙන්නේ ලෝකය තුල බැවිනි.
ශී‍්‍ර ලංකාව අපරාධකාරයන්ගේ කෙම්බිමක්
June 18, 2013 by Karapoththa
Filed under Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance
ශ‍්‍රී ලංකාව අද වන විට ‘සාමයේ පූර්ණ ප‍්‍රතිලාභ’ භුක්ති විඳින්නේ යැයි, කොතලාවල ආරක්ෂක කටයුතු පිළිබඳ ‘විශ්ව විද්‍යාලයේ’ දී කතාවක් පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ පැවසීම, ඕනෑම දිනක මේ රටේ පුවත්පතක ශීර්ෂ පාඨයක් ගෙන බැලූවොත් බොරුවක් වන්නේය.
නීතිය හා සාමයේ පූර්ණ ගරාවැටීම
පැහැදිළිවම, ඉහළ පෙළේ ‘ත‍්‍රස්තවාදී’ සිදුවීම් ගැනවත්, ‘සිවිල්-හමුදා’ ක‍්‍රියාකාරකම් වේශයෙන් උතුරු නැගෙනහිර පෙදෙස්වල කෙරෙන උග‍්‍ර හමුදා ආක‍්‍රමණිකත්වය ගැනවත් මම මෙහිදී කතා නොකරමි. මේ වනාහී, දකුණේ තත්වය හෙවත් ‘සාමාන්‍ය’ නීතිය බලපැවැත්වීමට අදාළව කෙරෙන සළකා බැලීමක් පමණි. උදාහරණයක් වශයෙන්, සිය දියණියගේ විවා මංගල්‍යය සඳහා වන රුපියල් මිලියන ගණනක මුදලක් රැගෙන යමින් සිටි ව්‍යපාරිකයාගේ පවුලේ සාමාජිකයන්ව පසු ගිය සෙනසුරාදා ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් කොල්ලකනු ලැබීම, ආරක්ෂක ලේකම්වරයාගේ හිත සනහන ඉහත කී මායාව සමග පෑහෙන්නේ නැති බව පෙන්වා දිය හැක. පැහැදිළිවම එම සිද්ධියෙන් ක්ෂතියට පත්විණැ යි සිතිය හැකි එම ව්‍යාපාරිකයා ඉන් වැඩි දවසක් නොගොස් හෘදයාබාධයකින් මියගියේය. මෙවැනි සිදුවීම් අසාමාන්‍ය නැත. නිතරම පාහේ දෛනික ප‍්‍රවෘත්ති වාර්තාවන්ට ඒවා ඇතුළත් වෙයි.
හැබෑ ප‍්‍රශ්නය වන්නේ, එවැනි සිදුවීම් ඇති වීමම නොව, ඒවා විසඳීමට පොලීසිය මුළුමණින්ම අසමත් වීමයි. එදා යුද්ධය පැවති ඉතා දරුණු වකවානුවේ පවා රටේ සාමාන්‍ය නීතිය ක‍්‍රියාත්මක වීම, උසස්ම මට්ටමේ නොපැවැත්වුණත්, අද තරම් නීතිය හා සාමයේ පිරිහීමක් කිසි දවසක මෙරටේ දකින්ට ලැබී නැති බව කිව යුතුය. වඩාත් උත්ප‍්‍රාසාත්මක වන්නේ, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නීතියෙන් ගැලවී මෙවැනි අපරාධවල යෙදෙන තත්වයක් වැඩියත්ම දකින්ට ලැබෙන්නේ, යුද්ධයෙන් පසුව වීමයි.
නීතියට අතපෙවිය නොහැකි බලගතු පොලිස්කාරයෝ
කොන්ත‍්‍රාත්තුවක් මත ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ බිහිසුණු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන වාස් ගුණවර්ධනව පසුගිය දා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය, දේශපාලනික බලපුලූවන්කාර පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් හුදෙක් ලාභය සඳහාම අපරාධ ක‍්‍රියාකාරකම්වල යෙදෙන සාමාන්‍ය රටාවේ එක් නිමිති අවස්ථාවක් පමණි. මොහු අතීතයේදීත්, කුරිරු වධබන්ධන සහ ඝාතනවලට පෙළඹවීම් සහ ඒවා වහංගු කිරීම් සම්බන්ධයෙන් විවිධ චෝදනා ලැබූවෙකි. එහෙත් බලගතු තැන්වලින් ලද අනුග‍්‍රහය නිසා කිසි විටෙක ඔහුව නීතිය ඉදිරියට ගෙනාවේ නැත. තමා මිනීමරුවෙකු බවත්, තමාට එදිරිවන ඕනෑම කෙනෙකු ගැන වගබලා ගැනීමට, නිදහස් වීමෙන් පසු තමන් පසුබට නොවන බවත්, මේ සිද්ධියට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරියාට ඔහු විසින්ම තර්ජනය කොට සිටීම, මේ නිලධාරියා කොතෙක් නීතියේ රැහැනෙන් විනිර්මුක්ත පුද්ගලයෙකු දැ යි පෙන්වන කදිම නිදසුනකි. කෙසේ වෙතත්, මේ සිද්ධිය පවා, ඒ ගැන දැනට ඇති මහජන උනන්දුව මැකී යන විට, ඉබේම පැත්තකට වීසි වී යනු ඇතැ යි බොහෝ දෙනා නරුම ආකාරයකින් හෝ සැක කිරීම, ඇත්තෙන්ම අස්වාභාවික නැත.
ඒ නිසා, යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාව, ආරක්ෂක ලේකම්වරයා පෙන්වන්ට තැත් කරන ආකාරයේ සාමකාමී පාරාදීස දීපයකට වඩා, ඉතා දරුණු ආකාරයේ දේශපාලක-සාපරාධීත්වයේ කෙම්බිමකට සමීප වෙයි. මේ නිසා, පොලීසිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තබා ගැනෙන්නේ ‘ජාතික ආරක්ෂක මුලෝපායක’ අංගයක් වශයෙනැ යි එම කතාවේ දීම රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා පැවසීම, මොන විදිහකින්වත් කෙනෙකුට ඒත්තු යන තර්කයක් නොවේ.
ඔහුගේ මෙම ස්ථාවරය, මේ කොලමේ මීට පෙර පෙන්වා දී ඇති පරිදි, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශවලටත් කෙලින්ම පටහැනිව පවතී. එම නිර්දේශ යෝජනා කෙරුණේ වාර්තාවේ පිටු පිරැවීමට නොවේ. හමුදා ව්‍යුහය තුළ තවදුරටත් නොරැඳී සිවිල් අධිකාරියක තත්වයට පොලිස් දෙපාර්තමේන්තුව පත්විය යුතුව ඇතැ යි එම කොමසාරිස්වරුන් යෝජනා කෙළේ ඉතා යහපත් හේතු පෙරදැරිවයි. පොලීසියට ආරෝපණය වී ඇති හමුදා ප‍්‍රතිරූපයෙන් අත්මිදී මහජන ප‍්‍රසාදය දිනා ගැනීම, පොලිසිය තුළ සිවිල් අධිකාරිය යළි ස්ථාපිත කිරීම සහ පොලිසියේ අභ්‍යන්තර විනය පාලනය ප‍්‍රතිසංවිධානය කිරීම වැනි හේතු ඊට පෙරදැරි වූ බවට සැකයක් නැත.
ලොමු දැහැගන්වන දණ්ඩමුක්තිය
පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේ විනය පාලනයක් කොහෙත්ම පාහේ නැති කම, ශ‍්‍රී ලංකාවේ නීතිය හා සාමය පිරිහීම කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වීමට බලපෑ එක් හේතුවකි. 2008 පෙබරවාරි මාසයේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්ටන් එම සභාව හමුවේ, ශ‍්‍රී ලංකා පරිපාලන වාර්තාවක තොරතුරු ඉදිරිපත් කරමින් මේ කරුණු පෙන්වා දුනි:
‘‘දෙපාර්තමේන්තු ඇතුළේ කෙරෙන විනය පරීක්ෂණ මුළුමණින්ම පාහේ ක‍්‍රියාත්මක වන්නේ පහළ ශ්‍රේණිවල නිලධාරීන්ට එරෙහිවයි. පොලීසියේ පහළ නිලධාරීන් විසින් කරනු ලබන වධබන්ධන සහ ඝාතන සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්, විනයානුකූලව හෝ අපරාධ තලයක දී, වගවීමට බැඳෙන්නේ නැත. එය, දෙපාර්තමේන්තු අභ්‍යන්තර පරීක්ෂණ ක‍්‍රියාවලීන්ට මෙන්ම, බාහිර අධිකරණමය ක‍්‍රියාවලීන්ට ද බලපාන සත්‍යයක් වන්නේය. 2001 දී පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ල කරන ලද දෝෂදර්ශන සම්බන්ධයෙන් සියයට 86 ක්ම වැරදිකරුවන් කොට ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන්ව ය. පොලිස් අධිකාරීවරුන්, සියයට 0.04 ක් පමණි.’’
මේ විශේෂ නියෝජිතයා 2005 දී එම වාර්තාව ලියන අවස්ථාවේ තිබුණු ලංකාවේ තත්වය අද වන විට ඊට වඩා සිය ගුණයකින් උග‍්‍ර වී ඇත. පොලිස් දෙපාර්තමේන්තුව එක පැත්තකින් දේශපාලනීකරණය වීමත්, තවත් පැත්තකින් හමුදාකරණය වීමත් නිසා රටේ ජනයාට ඇති කෙරෙන අහිතකර බලපෑම කොතෙක් ද යත්, අද වන විට, සාමාන්‍ය මිනිසාට පමණක් නොව, ආර්ථික වශයෙන් බලවත් පුද්ගලයන්ට පවා පොලීසියේ මැරවර බලයෙන් නිදහස්ව ජීවත් වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත. ඊටත් වඩා, දණ්ඩමුක්තිය හෙවත් නීතියෙන් ගැලවී නිදහසේ අපරාධ කිරීමට කෙනෙකුට ඇති හැකියාව නිසා මේ තත්වය තවත් දරුණු කෙරේ. යකඩ පොලූ මුගුරු සහ බයිසිකල් චේන් අතැතිව මහ දවල් කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩාවැදී පහර දුන් කිසි මැරයෙකු මේ දක්වා පොලීසියෙන් අත්අඩංගුවට ගෙන නොතිබීමෙන් පෙනී යන්නේ එයයි. මතුවට ද ඒ සිද්ධිය ගැන සාධාරණ පරීක්ෂණ පැවැත්වෙතැ යි විශ්වාස කළ නොහේ. වඩාත් බියකරු ප‍්‍රවණතාව වන්නේ එයයි. එම සන්දර්භය තුළ, ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලීසිය කෙරෙහි ඉටු කරතැ යි කියන අධීක්ෂණ කාර්ය භාරයේ සාර්ථකත්වයක් ගැන ලේකම්වරයා කෙසේ නම් වහසි බස් කියන්න ද?
නිහඩව සිටීමේ විනාශකාරී ප‍්‍රතිවිපාක
වසර කිහිපයකට පෙර ව්‍යවස්ථානුකූලව පත්කරන ලද ‘ජාතික පොලිස් කොමිසම’ මගින් පොලිස් දෙපාර්තමේන්තුව විනයගත කිරීමට තැත් කළ අවස්ථාවේ, පොලීසිය (විශ‍්‍රාමික සහ සේවයේ නියුතු බලධාරින්) මෙන්ම, බලය හොබවන දේශපාලඥයෝ ද ඊට බලවත් සේ විරෝධය පෑහ. අනතුරුව, ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් එම කොමිසමට සාමාජිකයන් පත්කිරීම හරහා එම කොමිසම සතුව එතෙක් පැවති සුපිළිපන් භාවයේ ශ්ලේෂ මාත‍්‍රයක්වත් ඉතිරි නොවන තැනට කටයුතු කෙරිණ. අවසානයේ දී, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමත් සමග, පොලිස් දෙපාර්තමේන්තුව ගැන කෙරෙන මහජන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම කොමිසමට එතෙක් පැවති බලය සරුවපිත්තල ආභරණයක් පමණක් බවට පත්කෙරුණි. පාතාල කල්ලි සහ හමුදා අපරාධකරුවන් සමග අත්වැල් බැඳගෙන සාපරාධී ක‍්‍රියාවන්හි නිරත වන, දේශපාලනික වශයෙන් බලවත් සහ අන්ත දූෂිත පොලිස් නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට මොනම බලයක්වත් අද පවතින ‘ජාතික පොලිස් කොමිසමට’ නැත.
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පෙලෙන මායාවට ප‍්‍රතිපක්ෂව වර්තමානයේ සැබෑ තත්වය වන්නේ, සරළ වැදගත්කමේ සිට බරපතල වැදගත්කමකින් යුත් සිදුවීම් දක්වා ක‍්‍රියාත්මක විය යුතුව ඇති රටේ නීතිය හා සාමය පොදුවේ වල්වැදී ඇති බවයි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට, මේ පාලකයන් විසින් නිර්දය අන්දමින් ‘ජාතික පොලිස් කොමිසමේ’ තටු කපා දමද්දී නිහඩව සිටි රටකට, මෙවැනි වන්දියක් ගෙවන්නට සිදුවීම ස්වභාවිකයි. ගතවන සෑම මොහොතක් පාසාම, ඒ විනාශකාරී ප‍්‍රතිවිපාකවලින් විඳවීමට, අප ඕනෑම කෙනෙකුට සිදුවිය හැකිය. සැබවින්ම, අද පවතින යථාර්ථය වන්නේ එයයි.
කිෂාලි පින්තු ජයවර්ධන |
_________________________________________________________________________________________
2013 ජුනි 16 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ Sri Lanka: A haven for Criminals
ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්
පළමුව අතුරුදහන් කොට නැවත නැවතත් ජීවත් කරවන එක්නැලිගොඩ
June 17, 2013 by Gamini Viyangoda
Filed under Colombo, Democracy, Features, Human Rights, Human Security, Media, Media and Communications, Politics and Governance
සුරංගනා කතාවක ව්‍යාජත්වය අභිබවා විමතියක් උපදින්නේ සහ එම විමතිය හරහා රස ජනනය කැරැවීමක් සිදු වන්නේ, සුරංගනා කතාව ගොඩනැංවෙන සිදුවීම් අතර පවතින අන්තර් තර්කනයක් පාදක කර ගනිමිනි. එහෙත්, එම සුරංගනා කතාවම නූතන මාධ්‍ය ලෝකය තුළ පහසුවෙන් අලෙවි කළ හැකි ‘ප‍්‍රවෘත්තියක්’ කිරීමට, අර කියන සිදුවීම් අතර තිබිය යුතු අන්තර් තර්කනය එයින් ඉවත් කළ යුතුය. එම අන්තර් තර්කනය නැති වන තරමට, අර විදිහේ සිදුවීමක් පාදක කරගන්නා ‘ප‍්‍රවෘත්තියක’ වටිනාකම දෙගුණ තෙගුණ වෙයි. ඉස්සර එසේ නොවේ. ප‍්‍රවෘත්ති අගයක් ඇති සුරංගනා කතාවක පවා යම් තර්කනයක් තිබුණි.
සඳ මත මිනිස් ජීවීන් වාසය කරති යි බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥයෙකු ‘සොයාගත්’ බවට, ඇමරිකාවේ ‘නිව්යෝර්ක් සන්’ පුවත්පත 1835 පළ කළ ආන්දෝලනාත්මක ප‍්‍රවෘත්තිය ඊට නිදසුනකි. මේ ප‍්‍රවෘත්තිය ‘සත්‍යයක්’ කිරීමට කරුණු කිහිපයක් අවශ්‍ය කෙළේය. ‘අපේක්ෂාව’ ඉන් පළමුවැන්නයි. පෘථුවියේ හැරුණු කොට, තවත් තැන්වල මිනිස් ජීවීන් ඇති බවට මිනිසුන් තුළ වන අපේක්ෂාව, සාමූහික තනිකම හඟින පොදු මිනිස් විඥානයකට සැපයෙන විමතිමය පැන් පොදක් විය. ඒ අපේක්ෂා සන්තර්පණය සඳහා ඊළඟට ‘විශේෂඥ’ මතයක් එදා අවශ්‍ය කෙළේය. බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥ ශ‍්‍රීමත් ජෝන් හෙර්ෂෙල්ගේ නමින් එය ප‍්‍රකාශයට පත්වීම හරහා, ඊට අවශ්‍ය කරන විද්‍යාත්මක බර එම ප‍්‍රවෘත්තියට සැපයුණි. මෙම ප‍්‍රවෘත්තියේ පැවති විශේෂත්වය වුණේ, තමාගේ නමින් මෙවැනි මතයක් ලෝකයේ වෙනත් තැනක පළවී ඇති බවක්, බොහෝ කලක් යන තෙක්මත් ශ‍්‍රීමත් ජෝන් හෙර්ෂෙල් පවා නොදැන සිටීමයි. එනම්, එය මුළුමණින් මාධ්‍ය විසින්ම තිරපිටපත රචනා කොට, අධ්‍යක්ෂණය කරන ලද ‘ස්වාධීන’ නිෂ්පාදනයක් වූ බවයි. එදා සන්නිවේදන ක්ෂේත‍්‍රයේ පැවති නොදියුණුව තුළ එය අස්වාභාවික නොවුණි.
ලංකාවේ දේශපාලඥයෙකුට යුරෝපයේ දී එක්නැලිගොඩව හමු වීමේ සිද්ධිය තුළ යම් තර්කයක් තිබිය යුතු යැයි, එය වාර්තා කරන මාධ්‍යවේදියාවත් ඔහුගේ ග‍්‍රාහකයාවත් (පාඨකයා/පේ‍්‍රක්ෂකයා) බරසාරව බලාපොරොත්තු වන්නේ නැත. ප‍්‍රවෘත්තිය නිකුත් වන්නේ දේශපාලඥයෙකුගේ කටින් නම් එය හොඳටම සෑහේ. අද වන විට දෛනිකව ලංකාවේ ප‍්‍රවෘත්ති ‘නිෂ්පාදනය’ කරන්නේ දේශපාලඥයා ය. මාධ්‍යකරුවා එය විකුණා ලාභ ලබයි. ‘සත්‍යය’ එහි දී වැදගත් නැත. ශිෂ්ටත්වය අදාළ නැත.
අතුරුදහන් වීම, ලංකාවේ සුදුවෑන් දේශපාලනය තුළ පරමයකි. පරමයක් යනු, නොවෙනස් වන සහ ආපසු හැරවිය නොහැකි සත්‍යයකි. උදාහරණයක් වශයෙන්, මරණය පරමයකි. ඒ අරුතින් ගත් විට, ලංකාවේ දේශපාලනය තුළ සිදු කෙරෙන අතුරුදහන් කැරැවීමේ ප‍්‍රපංචය කාටත් තේරෙන භාෂාවකින් මෙසේ ලියා දැක්විය හැක: ‘ඉස්සුවොත් ඉස්සුවාම ය. ආපසු පැමිණීමක් නැත.’
අනිත් අතට, වර්තමාන පාලනය යනු කණපිට දේශපාලනයක් මතම යැපෙන්නකි. එනම්, සම්මත අර්ථයේ සියල්ල කණපිට හැරවීම එම දේශපාලනයේ ආත්මය වන බවයි. උදාහරණයක් වශයෙන්, මර්වින් සිල්වාට අයත් අමාත්‍යාංශය හඳුන්වන්නේ, ‘මහජන සම්බන්ධතා’ යනුවෙනි. ජනතාව සමග සහෘද ආශ‍්‍රයකට වැඩියෙන්ම ගැලපෙන තැනැත්තා මර්වින් සිල්වා යැයි ජනාධිපතිවරයා විසින්ම තීරණය කිරීම, ‘බුද්ධිමත් ජනතාව’ යැයි මෙතෙක් කල් උඩදැමූ හුරතල් සංකල්පයට දුන් කණේ පහරකි. රට කරවන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ගෞතම බුදුන් වහන්සේට ඈතින් නෑකම් කියති යි කලාකරුවෙකු කියන විට, කලාවේ ‘ප‍්‍රබන්ධය’ අපට එකපැහැර අවබෝධ වෙයි. මේ සියල්ල ඉෂ්ට සිද්ධ කෙරෙන්නේ අන්තර්-තර්කනයකින් නොව, කණපිට තර්කනයකිනි.
එක්නැලිගොඩ ‘අතුරුදහන් විය’. අද ? මුහුදු ගිය ධිවරයෙකු හෙට ආපසු ගෙදර නාවොත් ඔහු අතුරුදහන් වූ අයෙකු වශයෙන් සැළකේ. එහෙත්, ඔහු මියගොස් ඇති බවක් එයින් අනිවාර්යයෙන් අදහස් නොකෙරේ. උදාහරණයක් වශයෙන්, උපාලි විජේවර්ධන මීට දශක කිහිපයකට පෙර අහසේ දී අතුරුදහන් විය. පළමුව ඔහුගේ ආපසු පැමිණීම පතා බෝධි පුජා පැවැත්වු ජනතාව, අවසානයේ දී ඔහුගේ ඊළඟ භවයට අනුමෝදන් විය හැකි පින් පැමිණවීම් කළහ. එසේ තිබිය දී, මෑතක පළවූ එක් පුවත්පත් වාර්තාවකට අනුව, ඔහු කොහේදෝ රටක සිරගෙයක කල් ගෙවන්නේ ලූ. මේ විදිහටම, අර මුහුදු ගිය ධීවරයා ද ඔස්ටේ‍්‍රලියාවට ගොස් වෙනත් පෙලවහක් කරගෙන ඉන්නවා වන්නටත් බැරි නැත. ‘අතුරුදහන් වීම’ තුළ එකී අනියත භාවය හැම විටකම තිබේ. තවත් විදිහකින් කිවහොත්, අතුරුදහන් වීම ‘පරම’ නැත.
එහෙත් ‘අතුරුදහන් කැරැවීම’ එසේ නොවේ. එය පරමයකි. දැන්, ඉහත සඳහන් කළ කණපිට දේශපාලනයේ හැටියට, මේ ‘අතුරුදහන් කැරැවීම’ තුළ ඇති ඒ පරමත්වය පවා දූෂණය කළ යුතුව ඇත. අතුරුදහන් කැරැවීම, අතුරුදයන් වීමක් බවට පරිවර්තනය කළ හැක්කේ එසේ ය. ඒ සඳහා දක්ෂ දූෂකයන් අවශ්‍ය කෙරේ. මීට කලකට ඉහත දී, එක්නැලිගොඩ විදේශ රටක ජීවත් වන බව, එවකට ජනාධිපති උපදේශකයෙකු වශයෙන් සිටි මොහාන් පීරිස් ජාත්‍යන්තර සම්මේලනයක් අමතමින් ලෝකයා ඉදිරියේ ‘හෙළිදරව්’ කෙළේය. ඒ මොහොතේ පටන්, ලෝකයා ඉදිරියේ එක්නැලිගොඩ ‘ජීවත් විය.’ ඊට කලකට පසු, එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ ‘දෙයියෝ තමයි’ යනුවෙන් ලංකාවේ අධිකරණයක් ඉදිරියේ ඔහුම කියා සිටියේය. මෙසේ සීමිත කාලයකට එක්නැලිගොඩට පණ දී, අනතුරුව දෙවියන් පමණක් දන්නා පරලොවකට ඔහුව පිටමං කළ මොහාන් පීරිස් අද අපේ අධිකරණයේ මුල් පුටුව හොබවයි.
එතැන් සිට ප‍්‍රගීත් එක්නැලිගොඩ නැවත වතාවක් නොපවතින පරමයක් බවට පත්විය. කාලය ඉක්ම ගියේය. දැන්, මෙතෙක් නමින් හැඳින නොසිටි අප‍්‍රකට දේශපාලඥයෙක් නැවතත් අර පරමය දූෂණය කිරීම සඳහා ඔසවා තැබෙයි. තට්ටෙ ගාගෙන ජීවමානව සිටි එක්නැලිගොඩව ඔහුට යුරෝපයේ දී හමු වී තිබේ. ඒ, මීට හය මාසයකට කලිනි. එහෙත්, කල් යල් බලා, හෙවත් සතර පෙරනිමිති බලා, ඔහු අපට එය හෙළිකර සිටින්නේ දැන් ය. මේ පුද්ගලයා හරහා අපේ පාලකයන්, නැවතත් එක්නැලිගොඩව ජීවමාන කොට, ඔහුගේ අතුරුදහන් කැරැවීම කණපිට හරවා තිබේ. මේ අළුත් ‘ශුභාරංචිය’ හරහා එක්නැලිගොඩගේ නොපැවැත්මේ පරමය නැවතත් සාහසිකව දූෂණය කිරීම තුළින්, අප‍්‍රකට ප‍්‍රාදේශීය දේශපාලඥයෙකු, ප‍්‍රකට නාමධාරියෙකු වෙමින්, ජාතික දේශපාලන තලයට පිවිසෙයි.
මේ දේශපාලඥයාට අනුව, ඔහුගේ මේ හෙළිදරව්ව දැන ගත් සැණින්, සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපතිවරයාව හමු වී සිය සැමියා ගැන සොයා බැලිය යුතුව තිබූණේ ලූ. නැවතත් අප එළැඹෙන්නේ අර කී කණපිට දේශපාලනයේ ඉසව්වට යි.
එක්නැලිගොඩ යනු, ලංකාව පමණක් නොව, මුළු ලෝකයාම ‘රවටමින්’ ස්වේච්ඡාවෙන් අතුරුදහන් වී සිටින්නෙකි. ඒ අර්ථයෙන් ඔහු ‘අපරාධකරුවෙකි’. එවැනි අපරාධකරුවෙකු දුටු සැණින්, නීතිගරුක පුරවැසියෙකුගේ, විශේෂයෙන් රටක නීති සම්පාදනයේ යෙදෙන මහජන නියෝජිතයෙකුගේ වගකීම විය යුතුව තිබුණේ, ප‍්‍රංශයේ හෝ වෙනත් රටක ඔහු දුටු තැනට නුදුරු පොලිස් ස්ථානයකට ඒ බව දැනුම් දීමයි. ලංකාවේ දී නීති ගරුකත්වය අවමයෙන්ම අපේක්ෂා කළ හැකි වරප‍්‍රසාදිත මිනිස් කොට්ටාසය දේශපාලඥයන් වන නිසා, එවැන්නක් ගැන ඔහුට හීනෙන්වත් සිතෙන්නට නැතුව ඇති.
ලංකාවට පැමිණීමෙන් පසුව පවා ඔහුට ඒ ගැන හදිසියක් නොවුණි. අවුරුදු භාගයක්ම, මේ ‘අපරාධකරුවා’ අල්ලා නොගෙන කාලය කාදැමුණි. කමක් නැහැ, දැන් එම අපරාධකරුවා ඉන්නා තැනක් ගැන හෝඩුවාවක් අපේ පොලීසියට තිබේ. ඒ හෝඩුවාව සපයන මේ සාක්ෂිකරුවා ගෙන්වා වහා පරීක්ෂණ ආරම්භ කිරීම පොලීසියේ වගකීමක් විය යුතුව තිබිය දී, සන්ධ්‍යා එක්නැලිගොඩ කුමක් සඳහා නම්, ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කරන්න ද?
[Image Credit:http://passionparade.blogspot.com/]
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda
අපේ යොවුන් නාට්‍ය උළෙල ඇත්තටම තරුණද?
June 17, 2013 by Vikalpa
Filed under Arts and Theatre, Colombo, Culture, Features, Media and Communications
පසුගිය අවුරුදු කිහිපය පුරා මම අපේ රටේ යොවුන් නාට්‍ය උළෙල සමීපව ඇසුරු කළෙමි. මේ උළෙල තුළ ඉතා විශාල ශක්‍යතාවක් ගැබ් වී ඇති බව මගේ හැඟීමයි. නමුත් අද එයින් විශද වන්නේ ඒ සැබෑ ශක්‍යතාවෙන් අඩක් පමණකියි මට සිතේ. අනාගතයේදී මෙය තවදුරටත් හීන වී යාමට ඉඩ ඇතැයි මා තුළ සාංකාවක් ඇත.
මා මේ ලිපිය ලියන්නේ, යොවුන් නාට්‍ය උළෙල අනාගතයේදී එකම තැන පල් වන උත්සවයක් බවට පත්වීමට බලපෑ හැකි යැයි මා හඟින හේතු කිහිපයක් ඉස්මතු කර පෙන්වීමේ අරමුණෙනි. මගේ මේ ලිපියේ විවේචනයක් ඇති නමුත්, මා එය කරන්නේ ද්වේෂ සහගතව හෝ කිසිවෙකුත් අපහසුතාවයට පත් කිරීමේ හෝ අදහසින් නොවේ. මේ උළෙල අවංක, අව්‍යාජ ඇගයුමකට ලක්කිරීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා අවකාශය පාදා ගැනීම මෙය ලිවීමේ ආසන්නතම අරමුණයි. එහි අවසාන ඉලක්කය, ශ‍්‍රී ලංකාවේ උද්යෝගිමත්ම සංස්කෘතික උළෙල බවට පත්වීමේ හැකියාව ඇති යොවුන් නාට්‍ය උළෙලේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමයි.
යොවුන් නාට්‍ය උළෙලක් යනු කුමක්ද?
යොවුන් නාට්‍ය උළෙලේ සැබෑ විභවය අවබෝධ කරගැනීමට නම් යමෙක් පළමුව ර්‍ණයොවුන් නාට්‍ය” යන සංකල්පය පිළිබඳව මඳක් විමසා බැලිය යුතුයි.
යොවුන් නාට්‍ය උළෙල යනු රාජ්‍ය නාට්‍ය උළෙල නොවේ. මේ දෙකේ අරමුණ සහ ගුණාංග පටලවා ගැනීමෙන් අප කරන්නේ උළෙලවල් දෙකෙහිම ශත්‍යතාව සහ අනන්‍යතාව සොරා ගැනීමයි. රාජ්‍ය නාට්‍ය උළෙල තුළින් රටේ හොඳම නාට්‍ය බිහි කළ යුතුයි. නමුත් යොවුන් නාට්‍ය උළෙලින් බිහිවන්නේ රටේ හොඳම නාට්‍ය නොවිය හැකියි. (ඇත්තෙන්ම එසේ විය යුතුද නැත) ඒ වෙනුවට යොවුන් නාට්‍ය උළෙලකින් සිදුවිය යුත්තේ මේ රටේ වේදිකාවේ අනාගතය දෙසට ක්ෂණික ආලේක ධාරාවක් එල්ල කිරීමයි.
යොවුන් නාට්‍ය උළෙල, මේ රටේ නැගී එන අංකුර කලාකරුවන්ට, තමන් තුළ පහළ වන නිර්මාණාවේශය, පෙර නොවූ විරූ, උද්වේගකර, නව්‍ය ආකරයන්ගෙන් එළි දැක්වීමට අවකාශය සලසන වේදිකාවක් විය යුතුයි. එය අවදානම් ගැනීමේ, උමතු අදහස් අත්හදාබැලීමේ අවකාශයක් විය යුතුයි. ඒවා ඇතැම් විට ප‍්‍රධාන ධාරාවේ නාට්‍ය බවට පත්වන්නේ තව අවුරුදු දහයකින් එහා විය හැකියි. එය තාරුණ්‍යයේ නිර්මාණශීලිත්වයේ සහ පරිකල්පනයේ උද්වේගය අවශෝෂණය කර ගන්නවා පමණක් නොව ඒ කලාකරුවන් තව තවත් අවදානම් ගනිමින් අත්හදාබැලීම් කිරීමට යොමු කරවන, පොළඹවන උළෙලක් විය යුතුයි. එය අප සියල්ලටම වඩා පියවර ගණනාවක් ඉදිරියෙන් සිටිය යුතුයි. යොවුන් නාට්‍ය උළෙලේ සුවිශේෂී ගුණාංගය, එහි විභවය සහ වටිනාකම විය යුත්තේ මෙයයි.
හොඳ උළෙලක් යනු කුමක්ද?
ඕනෑම උළෙලක වැදගත් පාර්ශවයන් දෙකක් සිටිති. එනම්, ඊට සහභාගි වන්නන් සහ එහි විනිශ්චයකරුවන් වශයෙනි. උළෙලක සාර්ථකත්වය සහ සුපිළිපන්නබව තීරණය වන්නේ මේ පාර්ශවයන් දෙකෙහි එකතුවෙනි.
උළෙලකට ඉදිරිපත් වන නිර්මාණ මගින් එයට සහභාගි වන්නන්ගේ පූර්ව නියුක්තීන් (සිත යොමු වී ඇති තේමාවන්) සහ කලාත්මක රුචිකත්වයන් පිළිබිඹු වේ. එසේම උළෙලේ ජයග‍්‍රහණය කරන නිර්මාණ මගින් එහි විනිශ්චයකරුවන්ගේ පූර්ව නියුක්තීන් සහ කලාත්මක රුචිකත්වයන් පිළිබිඹු වෙයි. උළෙලක සුපිළිපන්නබව සහ එහි අදාළත්වයත් ප‍්‍රබලත්වයත් රඳා පවතින්නේ මේ සාධක දෙකෙහි සුගම සුසංයෝගය මතයි.
යොවුන් නාට්‍ය උළෙල සැබවින්ම තරුණද?
ශ‍්‍රී ලංකාවේ යොවුන් නාට්‍ය උළෙල ඇත්තෙන්ම ඉහත කී දෑ එකට කැටි කරගත් උළෙලක්ද යන්නත් එයින් සැබවින්ම තරුණ වේදිකාව පිළිබිඹු වන්නේද යන්නත් දැන් අපි සලකා බලමු.
උළෙලට ඉදිරිපත් වන නාට්‍ය දෙස බැලූ විට සතුටු වීමට බොහෝ දේ තිබේ. පසුගිය වසර කිහිපය පුරා, වේදිකාව යනු කුමක්ද සහ වේදිකාව මත කළ හැකි දේ මොනවාද යන්න පිළිබඳ අපේ සංජානනයේ වපසරිය පුළුල් කරවන විශිෂ්ට නිර්මාණ ගණනාවක් මේ උළෙලට ඉදිරිපත් වී තිබේ. :මගේ අදහස නම් මේ වසරේ ඉදිරිපත් වූ නිර්මාණ, පසුගිය වසරවලට සාපේක්ෂව බලන විට දුර්වල මට්ටමක තිබූ බවයි. නමුත් මා මේ වසර හුදෙක් දුර්වල වසරක් ලෙස දකිනවා විනා සමස්ත උළෙල පසුබෑමට ලක්වීමේ නැඹුරුවක් ඇතැයි නොසිතමි.*
කෙසේ වෙතත් උළෙලේදී ජයග‍්‍රහණය කර ඇති නාට්‍ය දෙස බැලූ විට, අපට පෙනෙන්නේ මඳක් වෙනස් පින්තූරයකි.
වාසනාවකට ‘නරක’ නාට්‍ය කිසිවක් යොවුන් නාට්‍ය උළෙලේදී ඇගයීමට ලක් වී නැත. නමුත් අවාසනාවකට ‘පරණ‘ නාට්‍ය කීපයක් සම්මානවලින් පුදනු ලැබ තිබේ. ‘පරණ‘ යැයි මා කියන්නේ ඇසුරු කරන තේමාවන්ගෙන්, ශෛලියෙන්, රංග විධික‍්‍රමයෙන් සහ ප‍්‍රකාශිත ජවයෙන් ඒවා පරණ බැවිනි.
උළෙලේ නොගැළපීමක්
පොදුවේ ගත්විට මේ උළෙලේ විනිශ්චය මණ්ඩලයේ වැඩි කැමැත්ත පළ වී ඇත්තේ, පෙරටුගාමී, නව්‍ය, සහ නිර්භය නිර්මාණ වෙතට නොවේ. මෙය විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ දිගු නාට්‍ය සම්බන්ධයෙනි. මේ උළෙලේ විනිශ්චය පක්ෂපාතී එකක් නොවන බව මම විශ්වාස කරමි (වසර දෙකක් විනිශ්චය මණ්ඩල සමාජිකයෙකු වශයෙන් සිටි මම එය අත්දැකීමෙන්ම දනිමි). නමුත්, ඒ විනිශ්චය, සාම්ප‍්‍රදායය සහ අනුකූලතාවය කෙරෙහි ඕනෑවට වඩා බර එකක් බව නම් මම විශ්වාස කරමි. තරුණ නාට්‍ය උළෙලකදී, මෙසේ සිදුවීම වරදක් යයි මම හඟිමි.
තරුණ නාට්‍ය උළෙලකදී වඩා උද්වේගාත්මක නාට්‍ය නිර්මාණ ඇගයීමට ලක් නොවන්නේ නම්, එවිට උළෙල සහ විනිශ්චය මණ්ඩලය අතර බෙදීමක් හට ගනියි. මේ තත්ත්වය අනාගතයේදී විවිධාකාරයේ අවහිරතා ඇතිවීමට බලපානු ඇත.
විනිසුරු මඩුල්ල හොඳ මුසුවක් වෙන්න ඕනෙ
රුචිකත්වයෙන් සහ අදහස් උදහස් අතින් වඩා පැරණි තාලේ නාට්‍ය වෙත නැඹුරු වූ විනිසුරන් ජූරි සභාවේ හිඳීම ගැටළුවක් නොවේ. නමුත්, ඔවුන් සමගම රුචිකත්වයෙන් සහ අදහස් උදහස් අතින් ඉදිරි පරම්පරාවේ නාට්‍ය වෙත වඩා යොමු වූ විනිශ්චය කරුවන් ද ඒ ජූරි සභාවේ සිටිය යුතුමය. එනම් විනිසුරු මඩුල්ල හොඳ මිශ‍්‍රණයක් විය යුතුයි.
ඒ අනුව, වඩා තියුණු, විවිධත්වයෙන් යුතු, සහ අදාළ වෙන විනිශ්චයන් ලබා ගැනීම සඳහා විනිසුරන් තෝරා ගැනීම පරෙස්සමෙන් කළ යුතු අතර, ඒ විනිසුරන්ගේ කාර්යභාරය නිරතුරුව ඇගයීමට ලක් කළ යුතු ද වෙයි.
තරුණ කලාකරුවන්ගේ විශාල නියෝජනයක් විනිශ්චය මණ්ඩලය තුළ තිබිය යුතු බව මගේ විශ්වාසයයි. අද සිටින විනිශ්චය මණ්ඩලයේ සියලූ දෙනා තරඟයට ඉදිරිපත් වන කලාකරුවන්ට වඩා සැලකිය යුතු තරමින් වැඩිමහල් අය බව පෙනේ. වයසින් වැඩි අය විනිසුරු මඩුල්ලේ සිටීම ගැටළුවක් නොවේ. ගැටළුව වන්නේ වයසින් වැඩි අය පමණක් එහි සිටීමයි. මම යෝජනා කරන්නේ, වයස 35 යන්තම් ඉක්මවූ කලාකරුවන්ට සහ, තරඟයට ඉදිරිපත් නොවන 35 ට අඩු කලාකරුවන්ට පවා විනිසුරු මඩුල්ලට එක්වන ලෙස ඇරයුම් ලැබිය යුතුයි යන්නයි.
උළෙල එක තැන පල්වීම වැළැක්වීමට නම්
විනිශ්චය ක‍්‍රියා පටිපාටියක ඇති, ’නොවෙනස් වෙන’ නැතිනම් ‘එකම තැන රැඳෙන’ නැඹුරුවක් ගන්නා ඕනෑම දෙයක්, කවර ආකාරයක හෝ විිනිශ්චය ක‍්‍රියාවලියකට අහිතකරය. එවැනි තත්ත්වයක්, අලූත් සිතුවිලි සහ නව්‍ය ප‍්‍රවේශයන් දිරිමත් කළ යුතු තරුණ උළෙලකට කිහිප ගුණයකින් අහිතකරය.
මා තදින් විශ්වාස කරන්නේ, විනිශ්චය මඩුල්ලේ සාමාජිකයන් වරින් වර වෙනස් විය යුතු බවයි. එකම විනිසුරෙකු අවුරුදු ගාණක් පුරා එක දිගට එකම විනිශ්චය මණ්ඩලයක සේවය කිරීම ඒ අදාළ විනිසුරුවරයාට හෝ විනිශ්චය මණ්ඩලයට හෝ යහපතක් වන්නේ කෙසේදැයි යන්න මට තේරුම් ගත නොහැකිය. මෙයින්, සිදුවන්නේ රසඥතාව එක තැන පල් වීමයි. එකම අදහසක් දිගින් දිගටම ස්ථාපිත වීමයි. එසේ වූ විට, ‘සම්මාන ලැබෙන ජාතියේ’ නාට්‍ය හැදීම තරඟකරුවන්ට ඉතා පහසු දෙයක් බවට පත් වෙයි. විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් වරින් වර මාරු කිරීම මෙය සිදුවීම වැළැක්වීමට ගත හැකි ඉතා සරල පියවරකි. කිසිම සාමාජිකයෙක් අවුරුදු දෙකක් හෝ තුනක් පිට පිට විනිශ්චය මණ්ඩලයේ තබා නොගත යුතුයැයි මම කියා සිටිමි. එසේම මුල් වටයේ තෝරාගැනීම් කරන විනිසුරන්ද වරින් වර මාරු කළ යුතුයැයි මම යෝජනා කරමි (ඇත්තෙන්ම මෙය අවසාන විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් වෙනස් කිරීමටත් වඩා වැදගත්ය).
පේ‍්‍රක්ෂක සම්මාන
මේ තරඟයේ ජූරි මණ්ඩලය උළෙලේ ස්වභාවය සහ ජීවගුණය හා කොතෙක් දුරට පෑහෙන්නේදැයි දැනගැනීමට හැකි හොඳ විදියක් නම්, පේ‍්‍රක්ෂක සම්මාන හඳුන්වා දීමයි.
මේ රටේ තරුණ කලාකරුවන් සහ පේ‍්‍රක්ෂකයන්ගේ ආත්මය හා සසැඳෙන්නේත්, ඔවුන් වඩාත් උද්දීපනයට පත් කරවන්නේත් කවර ආකාරයේ නාට්‍යයද යන්න පිළිබඳ අදහසක් පේ‍්‍රක්ෂක සම්මාන තුළින් ඉතා පහසුවෙන් ලබා ගත හැකියි. විනිශ්චයකරුවන්ගේ මතය, ප‍්‍රධාන වශයෙන්ම තරුණ තරුණියන්ගෙන් සැදුම්ලත් පේ‍්‍රක්ෂකාගාරකයක මතය හා කෙතරම් සමීප වන්නේද යන්න මේ උළෙලේ පේ‍්‍රක්ෂක සම්මානවලින් පෙන්නුම් කරනු ඇත.
පරෙස්සම් තීරණ ගැනීමේ අනතුර
මා කලිනුත් කියූ පරිදි, යොවුන් නාට්‍ය උළෙලේ සම්මාන දිනූ කිසිම නාට්‍යයක් නරක නාට්‍ය නොවේ. ඇත්තෙන්ම ඒවා හොඳ නාට්‍යයයි. පරෙස්සමින් නිමැවූ, සුසාධිත නාට්‍යයයි. හොඳ, මනා කොට නිමවා ඇති, ගාණට තෝරා බේරාගෙන හදා ඇති යැයි කවුරුත් කියන ආකාරයේ නාට්‍යයි. නමුත් ඒවා ශ‍්‍රී ලාංකීය නාට්‍ය කලාවේ අනාගතයට ඉඟි කරනවාද? මා හිතන ආකාරයට නම් නැත. ඒවා, අලූත් විධිවලින්, අලූත් ආරේ නාට්‍ය හදන්නට තරුණ තරුණියන්ව පොළොඹවනවාද? මම නම් ඒ ගැන සැක කරමි.
ඇත්තෙන්ම, මේ උළෙලේ සම්මාන දිනාගැනීමේ අභිප‍්‍රායෙන් සිටින තරුණ තරුණියන්ට විනිශ්චය මණ්ඩලයේ පණිවුඩය පැහැදිලි වී ඇති බව පෙනේ. එනම්, සුසාධිත, පරිපූර්ණ නාට්‍ය හදන්නට ඔවුන් මහන්සි විය යුතුයි. රාමුවෙන් පිට, අලූත් ආකාරයේ දේවල් කරන්නට යෑම අවදානමකි.
කෙසේ වෙතත් වාසනාවට, අප විස්මිත කරවන, නිර්භය ප‍්‍රකාශනයන් සහිත, අමුතුම ආකාරයේ නාට්‍ය නිර්මාණය කිරීමේ දිගටම නිරත වී සිටින තුසිත ලක්නාත් වැනි කලාකරුවන් අපට සිටිනවා. මට දැනෙන්නේ, ඒ නිර්මාණ වෙතින් වහනය වන්්නේ අතීතයට අයිති සුවඳවක් නොව, අනාගතයේ සුවඳක් බවයි.
නමුත්, සම්මාන ලැබීම නොලැබීම නොසලකා, මේ ආකාරයට තමන්ගේ නිර්මාණ දිගටම කරගෙන යන්නට තරම් ප‍්‍රබල විශ්වාසයක් සහ පෞරුෂත්වයක් කලාකරුවන් කී දෙනෙකු තුළ තියේවිද? විනිශ්චය මණ්ඩලයක ලැදියාවට ගැලපෙන්නට දැනටමත් කලාකරුවන් කී දෙනෙක් ස්වකීය නිර්මාණශීලීත්වයේ ජවය සහ නිර්භය බව හකුළුවාගෙන ඇත්ද?
වේදිකාවේ විභවය
කලාත්මක සුපිළිපන්නභාවය සහ විභවය උදෙසා අත්‍යවශ්‍ය වන්නේ, ස්වයං විවේචනය තුළින් එළඹෙන ස්වයං අවබෝධයයි. අපේ අඩු ලූහුඩුකම් අප අවබෝධ කරගන්නේත්, වඩා විශිෂ්ට සහ සර්වසම්පූර්ණ කලා නිර්මාණ බිහි කිරීමට වඩ වඩාත් වෙහෙසෙන්ට අප යොමුවන්නේත්, නිරන්තරයෙන් අපවම ප‍්‍රශ්න කර ගැනීම, ඕනෑවට වඩා ලේසි දේ කිරීමට ලැජ්ජා වීම, අවංක අමාරු ප‍්‍රශ්න ඇසීම සහ දුෂ්කර පිළිතුරු සැපයීම යන ගුණාංග අභ්‍යාස කිරීම තුළිනි. කලාකරුවාගේ ආත්මයේ සදාතනික යොවුන් බව සුරැකෙන්නේ එයින් හැර වෙන කුමකින්ද?
රුවන්ති ද චිකේරා
2013 මාර්තු
@Image Credit: www.ft.lk
ගව ඝාතන නවතනු! අරුන්දික රැක ගනිමු!!
June 16, 2013 by Sunanda Deshapriya
Filed under Colombo, Features, Human Rights, Human Security, Life quips, Media, Media and Communications, Politics and Governance
යුග නිර්මාණක ජනමාධ්‍යවේදියකු වූ ඇත්ත පුවත්පතෙහි කර්තෘව සිටි බී.ඒ. සිරිවර්ධන ළකුණ සහිත පුවත් ශිර්ෂ පාඨයක් කළකට පසු දැක ගන්නට ලැබුණේ වෙබ් අවකාශයේ ය. ‘‘ඒ ගව ඝාතන නවතනු, අරුන්දික රැක ගනිමු’’ යන්නයි.
එජාප රජය හදිසි නීතිය යටතේ පුවත්පත් වාරණයක් පණවා ජනමාධ්‍ය මර්දනය කර තිබු වකවානුක ඇත්ත පුවත්පතෙහි කප්පාදු කරන ලද පුවත් නිසා හිස්ව ගිය ඉඩෙහි ‘බල්ලො කෑවා’ යනුවෙන් සදහන් කිරීමට පියවර ගැනුනේ ද කතුවර සිරිවර්ධන යටතේ ය. එසේ පුවත් වාරණය කරන ලද්දේ නිසි බලධාරියා විසිනි. අනෙක් පුවත්පත් එවැනි වාරණයන් සඳහන් කළේ ‘නිසි බලධාරියා විසින් වාරණය කරන ලදී’ කියා ය. මෙම ‘බල්ලො කෑවා’ යන යෙදුම නිසා නිසි බලධාරියා බල්ලකු හා සමාන කර ඇතැයි ඇත්ත පුවත්පතට විරුද්ධව චෝදනාවක් ඉදිරිපත් විය. කතුවර සිරිවර්ධන තර්ක කළේ බල්ලන්ගේ කාරිය බලා ගැනීම බැවින් යනු බල්ලො කෑවා යන්න ‘බලන්නන් විසින් කා දමන ලදී’ ලෙස ද අර්ථ දැක්විය හැකි බවයි.
ගවයා යනු හරකා බැවින් ද හරක් වැඩ යනු ගොන් නොහොත් මෝඩ වැඩ යැයි සැළකෙන නිසා ද ගව ඝාතන නතර කරනු යන්නෙන් මෝඩ වැඩ ඝාතනය නොකළ යුතු යැයි අදහස් වන්නේ යැයි අපට කතුවර සිරිවර්ධන අනුව යමින් තර්ක කළ හැකිය. මන්ද යත් මෙම ශීර්ෂ පාඨයෙන් ව්‍යංගයෙන් කියැවෙන්නේ අරුන්දික ප‍්‍රනාන්දු කියන්නේ හරක් නොහොත් මෝඩ කතා බව නිසා ය. හරකා උනාට උම්බෑ කියන්න එපා යැයි යන කියමනෙහි ද හරකා යනුවෙන් අදහස් වන්නේ මෝඩ මිනිසෙකි.
ඡායාරෑපය, අරුන්දික ප්‍රනාන්දු සිරස රෑපවාහිනිය සමග ප්‍රගීත් ගැන කරන ලද සකච්ඡාවේ වීඩියෝවෙන් ලබාගත් Screen Shot එකකි.
අරුන්දික ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රකාශයක් පට්ටපල් බොරුවක් වුවද එය මෝඩ කතාවක් යැයි කීවොත් ශ‍්‍රී ලංකාවේ පවත්නා කැකිල්ලේ නීතිය අනුව අප දඟගෙට යැවිය යුතු යැයි දශ ලක්ෂයක පෙත්සමක් අත්සන් කරන්නට වුවද බැරි නැත. එබැවින් ආරම්භයේ දීම කියා සිටිය යුත්තේ මෙහිලා මෝඩ කතාවක් ලෙස සඳහන් කැරෙන්නේ පාර්ලිමේන්තුවේදී කළ කතාව නොව වෙනත් ජනමාධ්‍ය හමුවෙහි අරුන්දික ප‍්‍රනාන්දු විසින් කරන ලද ගොන් කතා බව ය. පාර්ලිමේන්තුවෙහි දී කළ ඒ රටක් වටිනා කතාව ආරක්ෂා කිරීම කතානායක රාජපක්ෂට බාර කරමු.
අරුන්දික ප‍්‍රනාන්දු කියන්නේ ‘සුනන්ද දේශප‍්‍රිය ජිනීවා හි ශ‍්‍රී ලංකා දේශප්‍රෙමී උද්ඝෝෂණයක් කඩා කප්පල් කිරීමට’ තලප්පාවක් බැඳගෙන ආ බවය. 2009 වසරේදී ශ‍්‍රී ලංකාවෙන් පිටවී මෙහි පැමිණීමෙන් පසු මා කවදාකවත් තලප්පාවක් බැඳ නැත. එම ප‍්‍රකාශය බොරුවක් පමණක් නොව ගොන් කතාවකි. ගොන් කතාවක් වන්නේ තමන්ට සනාථ කිරීමට නොහැකි කතාවක් වන නිසා ය. සිංහල උපහැරණයෙන් කියන්නේ නම් උම්බෑ කීමකි. මෙම කියන සිදුවීමෙහි දී ගන්නා ලද මගේ ජායාරුප ශ‍්‍රී ලංකාවේ පුවත් පතක පළ විය. (එම සිදුවීම පිලිබඳව මා විසින් පවරන ලද නඩු විභාගයක් ඇති බැවින් ඒ පිළිබඳව වැඩි දුර නොලියමි) එම ජායාරූප සැළකිල්ලෙන් බලන ඕනෑම අයෙකුට පෙනී යනු ඇත්තේ මා පැළද සිටන්නේ සීතලට පළදින හිස් වැස්මක් මිස තලප්පාවක් නොවන බවය. තලප්පාවක් සහ හිස්වැස්මක වෙනස නොදන්නා මිනාසකුට කිව හැකි විශේෂනය කුමක්දැයි තීරණය කිරීම පාඨකයිනට පවරමි.
එම සිදුවීම සම්බන්ධයෙන්ම අරුන්දික ප‍්‍රනාන්දු තවත් අඥාන නොහොත් ගොන් ප‍්‍රකාශයක් කරයි. එනම් එම අවස්ථාවේදී මා සමඟ හිස බූ ගෑ නූස් පුද්ගලයකු සිටි බවත් ඒ අතුරුදහන්ව සිටින ජනමාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ බවත් ය. යළිත් වතාවක් පෙර කී ජායාරුප විමසා බලන ඕනෑම අයෙකුට පෙනී යනු ඇත්තේ එහි මා සිටින්නේ තනිවම බව ය. එහි දී එල්ල වූ තර්ජන නිසා ජිනීවා පොලීසිය ආරක්ෂාව පිණිස මා ඉවතට කැඳවා යන ජායාරුප ද ඒ අතර වේ. එම ජායාරූපයන්හි මා සිටින්නේ ද තනිව ම ය. මෙම සිදුවීම රජයේ රූපවාහිනී ආයතන විසින් ද ප‍්‍රචාරය කරන ලද නමුත් ඒ කිසිම අවස්ථාවක අරුන්දික ප‍්‍රනාන්දු කියන නූස් හිස බූ ගෑ අද්භූත පුද්ගලයා ගැන චවනයක්වත් කියැවුනේ නැත. දැන් හදිසියේ ම අරුන්දික ප‍්‍රනාන්දු මෙම පුද්ගලයා මා සමඟ සිටි බව සොයා ගෙන තිබෙන්නේ කෙසේ ද? හීනයක්වත් දැකලා ද? මේ වනාහී හරක් කතා නොවේ නම් බූරු කතා විය යුතු ය.
එපමණක් නොවේ. අරුන්දික ප‍්‍රනාන්දු කියන්නේ ප‍්‍රගීත් එක්නැළිගොඩ සැඟවී රහසේ යුරෝපයේ ජීවත්වන බවය. එවැනි රහසේ ජීවත්වන පුද්ගලයකු රාජපාක්ෂික පිරිස් විසින් පවත්වන උද්ඝෝෂනයක් ඉදිරිපිටට එනු ඇතැයි කල්පනා කරන්නේ මොන මෝඩයා ද? එපමණක් නොව මෙවැනි උද්ඝෝෂණයන්ට එන බොහෝ දෙනෙකු ලෙහෙසියෙන් හඳුනා ගන්නා මා වැනි අයකු සමඟ ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිටට ප‍්‍රගීත් එක්නැළිගොඩ හිස බූ ගා ගෙන එනු ඇතැයි සිතිය හැක්කේ මෝඩයෙකුට හැර වෙන කවරකුට ද? මෙම සිදුවීම ඇති වූ 2012 මාර්තු මාසයේ මානව හිමිකම් කවුන්සිලයේ ශ‍්‍රී ලංකාව පිළිබඳ සාකච්ජා වාර්තාකරණය පිණිස සියයකට ආසන්න රාජපාක්ෂික ජනාමාධ්‍යකරුවන් ද කැඳවා තිබණි. එවැනි පිරිසක් සැරි සරන ජිනීවා වැනි කුඩා නගරයකට සැඟවී ජීවත්වන ජනමාධ්‍යවේදියකු පැමිණෙනු ඇත් ද? හරකා උනාට උම්බෑ කියන්න එපා යැයි සිංහලයෙන් කියන්නේ මෙවැනි කතා වලට ය.
මෝඩකමට සීමාවක් නැත. අරුන්දික ප‍්‍රනාන්දු පෙන්වන්නේ ඒ කියමනේ ඇති ඇත්ත ය. මෙළෙස මා සමඟ ප‍්‍රගීත් එක්නැළිගොඩ ජිනීවා හි දුටුවේ යැයි එම සිදුවීමෙන් මාස 14කට පසුව ඇදබාන අරුන්දික ප‍්‍රනාන්දුට එක කරුණක් අමතක වී තිබේ. එනම් එම මාර්තු මාසයේ දී අතුරුදහන් කරන ලද ප‍්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා ද ජිනීවා හි සිටි බව ය. ඇය මානව හිමිකම් කවුන්සිලයේ එම 19 වන සැසිවාරයේ පැවැති සමාන්තර රැස්වීමක කතා කළා ය. ඇයගේ කතාව සිංහලට පරිවර්ථනය කරන ලද්දේ මා විසිනි. මේ කරුණූ දැන සිටියා නම් බේගලය තවත් රවුම් කිරීමට අරුන්දික ප‍්‍රනාන්දුට හැකි වන්නට තිබුණි. නමුත් ඔහු එවැනි කිසිවක් කීවේ නැත.
මා හැදි වැඩුනු අම්බලන්ගොඩ පචවිලි මාමා යැයි ජනප‍්‍රවාද ගත බේගල් කතාකරුවකු සිටී. ඔහු බේගල් ඇද බෑවේ කෛරාටිකමට නොව හාස්‍යට ය. බේගල්කරුවකුගේ ලක්ෂණය නම් එක් බොරුවක් වැසීමට තවත් බොරුවක් කීම යි. දේශපාලන පචවිලි මාමා කෙනෙකු වන අරුන්දික ප‍්‍රනාන්දු ද එසේ ය. ඔහු කියන තවත් ගල් පැලෙන බොරුවක් නම් අතුරුදහන් වූ බව කියන තවත් ජනමාධ්‍යවේදීන් මෙළෙස සැඟවී යුරෝපයේ ජීවත්වන බව යි. ඒ ඔහුගේ පවය ලොකු කිරීමට ය. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් කී දෙනෙකු අතුරුදහන් වී ඇතැයි වාර්තා වී තිබේ දැයි මෙම පචවිලි මාමා දන්නේ නැත. ප‍්‍රගීත් හැරුණු විට පසුගිය කාලයෙහි අතුරුදහන් වූ බවට වාර්තා වී ඇත්තේ එක් ජනමාධ්‍යවේදියකු පමණි. ඒ 2007 වර්ශයේ පෙබරවාරි 15 දින යාපනයේ දී අරුදහන් වූ සුබ‍්‍රමනියම් රාමචන්ද්‍රන් ය. ප‍්‍රශ්ණ කිරීමට යුද හමුදා මුර පොළක රඳවා ගත් බවට වාර්තා වීමෙන් පසු ඔහු යළි දකින්නට ලැබුණේ නැත. එළෙස තිබිය දී අතුරුදහන් වූ බව කියන ජනමාධ්‍යවේදින් ගණනාවක් යුරෝපයේ සැඟවී ජිවත් වන බව කීම පචයක් ද? මෝඩ කතාවක් ද? බූරු කමක් ද?
මංජුල වෙඩිවර්ධන සමඟ ප‍්‍රගීත් තමා හමුවට ආවේ යැයි කියන අරුන්දික බේගලයට මංජුල සජීවීවම පිළිතුරු දී දුන්නේ අරුන්දික ප‍්‍රනාන්දු අභියස ම ය. ඊට පිළිතුරු වශයෙන් පචවිලි මාමා තවත් බේගලයක් අතේ රෝල් කළේ ය. එනම් මංජුල ප‍්‍රංශයේ ජීවත් වන්නේ රහසේ බැවින් ඔහුට මෙය පිළිගැනීමට දුෂ්කර යැයි කියා ය. එළෙස රහසින් ජීවත්වන අයකු කවි ලියා පළ කරනු ඇත් ද? ප‍්‍රසිද්ධියේ දේශපාලන ක‍්‍රියාකාරීන් සමඟ සාකච්ජා කොට ලිපි ලියනු ඇති ද? අප කිසිවකු ජීවත්වන්නේ රහසේ නොවේ.
ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස පිළිබඳ එක් දර්ශකයක් වන්නේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගැනීම සහ ජනමාධ්‍ය ආයතනයන්ට ප‍්‍රහාරයන් එල්ල කිරීම පිළිබඳ පරීක්ෂනයන් පවත්වා වරදකරුවන්ට දඩුවම් කිරීම ය. ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම ඒ අතර එක් සිදුවීමක් පමණි. අරුන්දික වර්ගයේ බේගල්කරුවන් ලවා සනාථ කළ නොහැකි අතේ රෝල් බව බැලූ බැල්මටම පෙනී යන මුසාවාද තෙපලවීමෙන් මාධ්‍ය මර්දනයේ යතාර්ථය වසන් කළ නොහැක.
අවසාන වශයෙන් ද කිව යුත්තේ හරක් වුනාට උම්බෑ ගාන්න එපා කියා ය.
(මෙම ලිපියෙන් ගවයිනට අපහාස කිරීමට අදහස් නොකළ බව සළකන්න)
සුනන්ද දේශප‍්‍රිය | Sunanda Deshapriya
මාධ්‍ය ආචාර ධර්ම සහ තථ්‍යතා පරීක්ෂාව
June 15, 2013 by Karapoththa
Filed under Colombo, Democracy, Features, Media, Media and Communications, Politics and Governance
‘‘ආණ්ඩුවේ වංචාව සාර්ථකව හෙළිදරව් කළ හැක්කේ, යදම් රහිත නිදහස් මාධ්‍යකට පමණි’’
(පෙන්ටගන් ලියවිලි පිළිබඳ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය)
රාජපක්ෂලා ඔවුන්ගේ ‘මාධ්‍ය ආචාර ධර්ම යෝජනා’ රටේ නීතියක් බවට පත්කළහොත්, ශ‍්‍රී ලංකාවටත් ‘ඇමතිසත්‍යයක්’ (සත්‍යය අමාත්‍යාංශයක්) ලැබෙනු නොඅනුමානයි. එවිට, ශ‍්‍රී ලංකා මාධ්‍යයේ භූමිකාව, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරබල්ලා’ යන සම්මත අරුතින් ‘රාජපක්ෂලාගේ ඔඩොක්කු කුක්කා’ බවට අළුතින් නිර්වචනය කළ යුතු වනු ඇත.
එහි ප‍්‍රතිවිපාකයක් වශයෙන් බිහි වන ඕර්වෙල්ලියානු* යථාර්ථය තුළ, රජයේ සේවකයෙකුව ගස් බැදීමට මර්වින් සිල්වාටත්, රග්බි තරග විනිසුරුවරයෙකුට පහර දීමට රෝහිත රාජපක්ෂටත්, දෙනෝදාහක් මැද්දේ අවසර ලැබෙනු ඇත. එහෙත් ඒ ගැන වාර්තා කිරීමට හෝ අදහස් පළ කිරීමට අවසරයක් මාධ්‍යයට ලැබෙන්නේ නැත. මන්ද යත්, (අපේක්ෂිත නීතියට අනුව) එසේ වාර්තා කිරීම මගින්, ‘‘රටේ සදාචාරයට සහ මහජන අපේක්ෂාවන්ට නොගැළපෙන හෝ මහජන වින්දනය සහ සදාචාරයේ ප‍්‍රමිතීන් පහත් තත්වයකට බාල්දු කෙරෙන’’ තත්වයක් ඇති විය හැකි නිසා ය.
එසේම, අපේ පරිසරයට නොගැළපෙන ක‍්‍රමවේද සහ යල්පැන ගිය තාක්ෂණය භාවිත කරමින් බලශක්ති බලාගාරයක් පිහිටුවීමට චීන සමාගමකට අවසර ලැබෙන්නේය. එහෙත් ඒ ගැන වාර්තා කිරීමට සහ අදහස් පළ කිරීමට අවසරයක් මාධ්‍යයට නොලැබෙන්නේය. මන්ද යත්, (අපේක්ෂිත නීතියට අනුව) එය, ‘‘ජාත්‍යන්තර සම්බන්ධතා කෙරෙහි බලපාන විවේචනයක්’’ විය හැකි බැවිනි.
එසේම, සිංහල-බෞද්ධ උන්මත්තකයන්ට ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් පල්ලිවලට පහර දීමට අවසර ඇතත්, ඒ ගැන වාර්තා කිරීමට සහ අදහස් පළ කිරීමට ඉඩක් මාධ්‍යට නැත. මන්ද යත්, එසේ වීමෙන්, ‘‘ආගමික කණ්ඩායම් සහ ප‍්‍රජාවන් පිළිබඳ අපහාසාත්මක අදහස් පළවිය හැකි නිසා හෝ ආගමික සහ වාර්ගික සංහිඳියාවට අනර්ථකර ආකාරයෙන් වාර්ගික සහ ආගමික අසමගිය රෝපණය විය හැකි’’ නිසා ය.
එසේම, තමන් මවා ගත් ද්‍රෝහීන්ට සහ සතුරන්ට ප‍්‍රසිද්ධියේ බැන වැදීමට ගෝඨාභය රාජපක්ෂට හැකි වන අතර, එසේ බැන වැදීම ඔහුගේ ‘ක්‍රෝධාවේශයකැ’ යි වාර්තා කිරීමට මාධ්‍යට හැකිවන්නේ නැත. මන්ද යත්, එය, ‘‘අසභ්‍ය වන, අපකීර්තිකර වන, සචේතනික බොරුවක් වන, ඇනුම්පද කීමක් වන…’’ බැවිනි.
ම්ලේච්ඡ, අසාධාරණ සහ අනීතික දෝෂාභියෝගයක් අගවිනිසුරුවරියට එරෙහිව ගෙන ඒමට රාජපක්ෂලාට බාධාවක් නැති අතර, ඒ ගැන වාර්තා කිරීම ‘‘ජනතාව නොමග යවනසුළු ප‍්‍රවෘත්තියක්’’ විය හැකි නිසා, මාධ්‍යට එය තහනම් ය.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් පැහැර ගැනීමට බාධාවක් නැත: හොර විගණන වාර්තාවක් සැපයීමට ‘රණවිරු සේවා අධිකාරියට’ අවසර ඇත. එහෙත්, ඒ කිසිවක් ගැන වාර්තා කිරීම, අදහස් පළ කිරීම, ‘‘හිංසනය දිරිමත් කිරීමක් හෝ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බාධාවක් විය හැකි හෝ ජාතික-විරෝධී ආකල්ප බෝ කිරීමක් හෝ’’ විය හැකි නිසා, තහනම් ය.
අවංක විනිසුරුවරුන් තොග පිටින් දඩුවම් පිණිස මාරු කර යැවීමට රාජපක්ෂගේ ශ්‍රේෂ්ඨාධිකරණයට අවසර ඇත. එසේම අල්ලස් ගත් පුද්ගලයන්ට උසස් වීම දීමටත් පිළිවන. එහෙත් ඒ කිසිවක් ගැන වාර්තා කිරීම හෝ අදහස් පළ කිරීම ‘‘අධිකරණයට අපහාසයක්’’ වන නිසා තහනම් ය.
බලය බෙදා හැරීම ගැන බොරු කියන්ට ජනාධිපතිවරයාටත්, ප‍්‍රගීත් එක්නැලිගොඩ ගැන බොරු කියන්ට ඔහුගේ අගවිනිසුරුවරයාටත්, සංවර්ධනයේ සිට රාජ්‍ය ආරක්ෂාව දක්වා වන කරුණු සම්බන්ධයෙන් බොරු කියන්ට ඔහුගේ සහෝදරයන්ටත් අයිතිය තිබේ. ඒවා කෙබර යැයි කියන්ට මාධ්‍යට අයිතියක් නැත. මන්ද යත්, එය, ‘‘විධායකයේ, අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ සුපිළිපන් භාවයට’’ කැළලක් විය හැකි බැවිනි.
හෙළ උරුමයට හෝ බොදුබල සේනාවට, සුළු ජාතීන්ට එරෙහි වෛරය වපුරන්ට පුලූවන. එහෙත් එවැනි ක‍්‍රියා ක්‍රෝධය වැපිරවීමක් වශයෙන් පෙන්නුම් කරන්නට මාධ්‍යට පුලූවන් කමක් නැත. මන්ද යත්, එවිට ‘‘වාර්ගික, භාෂාමය හෝ ආගමික ජන කොටසකට හෝ පුද්ගලයෙකුට එරෙහි විවේචනයක් හෝ මඩ ප‍්‍රහාරයක්’’ විය හැකි බැවිනි.
දුමින්ද සිල්වාට, ඔහුගේ වෛද්‍යවරුන්ට සහ ඔහුගේ නීතිඥයන්ට ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන බොරු කියන්ට පුලූවන. එහෙත් ඒ බොරු හෙළිදරුව් කිරීමට මාධ්‍යට නොහැක. මන්ද යත්, ඒ මගින්, ‘‘පුද්ගලයෙකුගේ පවුල් ජීවිතය, පුද්ගලයෙකුගේ මූල්‍ය තොරතුරු… පුද්ගලයෙකුගේ කායික හෝ මානසික සෞඛ්‍ය තොරතුරු… මහජන අවශ්‍යතා වෙනුවෙන් කෙලින්ම අදාළ නොවෙතොත්’’ පළ කළ නොහැකි නිසා ය.
මහින්ද රාජපක්ෂව ‘හිරු දෙවියන්’, ‘සඳ දෙවියන්’ සහ ‘ත‍්‍රීසිංහලයේ නරේන්ද්‍රයන්’ වශයෙන් මුරුංගා අත්තේ තැබිය හැකිය. එහෙත් සුළුජාතික ආගමක් වෙනුවෙන් පෙනී සිටීම, ‘‘මිථ්‍යා විශ්වාසයක් හෝ අන්ධ භක්තියක්’’ විය හැකි නිසා මාධ්‍යට තහනම් ය.
බලවතුන්ට සහ ඔවුන්ගේ නෑහිතවතුන්ට මිනී මරන්ට පිළිවන. වධහිංසා පමුණුවන්නට පිළිවන. ස්ත‍්‍රීන් දූෂණය කරන්ට පිළිවන. සුදු වෑන් එවා මිනිසුන්ව උස්සන්ට පිළිවන. එවැනි රුදුරු ක‍්‍රියා වාර්තා කරන්නට මාධ්‍යට නුපුලූවන. මන්ද යත් එය, ‘‘දාමරිකත්වය, මත්ද්‍රව්‍ය ආසක්තිය, පරපීඩාකාමය, ලිංගික සල්ලාලකම සහ අසභ්‍ය දේවල්’’ පතුරුවා හැරීමක් විය හැකි බැවිනි.
රාජපක්ෂලාව වර්ණනා කිරීමට සහ ‘ආසියාවේ ආශ්චර්ය’ තුළ සිදුවන අපරාධ සහ දූෂණ නොතකා ඉන්නට බැරි කමක් නැත. එහෙත් වකුගඩු රෝග වසංගතය පිළිබඳ කැබිනට් වාර්තාව කූට ආකාරයෙන් වෙනස් කළෝ කවරහු දැ යි ප‍්‍රශ්න කිරීමට, සහල්වල සීමාන්තික කැඞ්මියම් අන්තර්ගතය ගැන ප‍්‍රශ්න කිරීමට, නීති කඩන ස්වකීය ඇබිත්තයන්ට ජනාධිපතිවරයා ආචාර ධර්ම හඳුන්වා දෙන්නේ කවදා දැ යි ප‍්‍රශ්න කිරීමට, 2005 දී රුපියල් බිලියන 32 ක් ඉපෑයූ රාජ්‍ය ආයතන 2012 දී රුපියල් බිලියන 107 ක් පාඩු ලබන්නේ කෙසේ දැ යි ප‍්‍රශ්න කිරීමට මාධ්‍යට පුලූවන් කමක් නැත. මන්ද යත්, එවැනි ප‍්‍රශ්න, ‘‘ආචාරධර්ම විරෝධී සහ නීති විරෝධී’’ විය හැකි බැවිනි.
‘අපේ නායකතුමා කරන දේවල් අපි කවුරුත් හැම මොහොතකම අනුමත කරමු’’ යැයි, හිට්ලර්ගේ රහස් පොලීසියේ නිර්මාතෘ හර්මන් ගෝරිං වරක් ප‍්‍රකාශ කෙළේය. ලංකාවේ මාධ්‍යයේ ප‍්‍රධාන ක‍්‍රියාන්විත මූලධර්මය මෙවැනි අනුකෘතියකට ඌනනය වන කාලය ඈත නැත. පාලකයන්ට සහ ඔවුන්ගේ සහචරයන්ට ස්තෝත‍්‍ර ගයන, රජයේ ප‍්‍රතිවාදීන්ට දෙස් දෙවෙල් තියන සහ අනිත් සියලූ දේවල් ගැන නිහඩව සිටින මාධ්‍යක්, එහි ප‍්‍රතිඵලය වශයෙන් බිහිවෙනු ඇත. දිනපතා සියල්ල යහපතට හැරෙමින් තිබේ ය යන්න, රජයේ මෙන්ම පෞද්ගලික මාධ්‍යයේ ද, එකම පණිවිඩය වෙනු ඇත.
මියැදෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය
‘අළුතෙන් බිහි වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල්’ යනුවෙන් හැඳින්වෙන රටවල් විශේෂයක් තිබේ. එසේම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිට ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධයට පල්ලම් බසින රටවල් විශේෂයක් ද තිබේ. ශ‍්‍රී ලංකාව වැටෙන්නේ, ඒ ගනයට යි. සමහර විට, එවැනි සංක‍්‍රාන්තියක් ව්‍යුහගතව මුල් ඇදීමට කලින් නතර කර ගැනීමට පුලූවන් කම තිබේ. එහෙත් අවාසනාවකට මෙන්, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග ලංකාව ඒ කඩඉම පැන්නේය. ස්වාධීන කොමිෂන් සභා ජනාධිපති අතකොලූ බවට පත්වීමත් සමග, ජනාධිපති බලතල තවත් උලූප්පමින් ජනාධිපති ධුර වාර ගණන ඉවත් වීමත් සමග, පවුල් ඒකාධිපතිත්වය වෙත වැටී තිබුණු පටු දුෂ්කර මාර්ගය, සුපිරි අධි-වේගී මාර්ගයක් බවට පරිවර්තනය කෙරිණ.
විරෝධය නොපාන, අඥාන සහ මන්දෝත්සාහී ජනතාවක් බිහි කර ගැනීම පාලකයා ඉදිරියේ ඇති ඊළඟ කර්තව්‍යයයි: හීලෑ වූ මාධ්‍යක් ඒ සඳහා ඔහුට අවශ්‍ය කෙරේ.
මිචිගන් විශ්ව විද්‍යාලය මගින් කරන ලද නවතම අධ්‍යයනයකට අනුව, ‘ප‍්‍රවෘත්ති නිදහස ඉහළින් ඇති රටවල්, උසස් පරිසර ගුණයක් සහ උසස් මානව සංවර්ධනයක් භුක්ති විඳින අතර, රටක දූෂණයේ සෑම මට්ටමක්ම හෙළිදරව් කරන මුරබල්ලාගේ භූමිකාව රඟපෑම නිසා උසස් ජීවන තෘප්තියක් ද භුක්ති විඳින්නේය’.
නිදහස් සහ විවේචනාත්මක මාධ්‍යයකින් තොරව, ඇති විය හැකි ව්‍යසනයන් ගැන ජනතාව කල්තියා දැනුවත් කළ නොහැක. අසංවේදී දෙපයට යටින් කෙමෙන් මෝදු වන ගිනි රකුසා ගැන නොතකමින්, විසූවියස් කඳු බෑවුමේ කෙළිලොල් වන්නට එවිට කෙනෙකුට නිදහස තිබේ.
* ජෝර්ජ් ඕවල්ගේ ලෝක ප‍්‍රකට ප‍්‍රහසන නවකතාව වන ‘1984’ සඳහන් පරිදි, අත්තනෝමතික පාලන තන්ත‍්‍රයක මහා බොරුවට සමස්ත සමාජයක්ම ජීරණය කරගැනීමේ මාධ්‍ය ව්‍යාපෘතිය හැඳින්වුණේ, ‘සත්‍යය අමාත්‍යාංශයක්’ යනුවෙනි. එහි දී, ‘සත්‍යය’ යනුවෙන් ගැනුණේ, පාලකයාගේ ‘සත්‍යය’ යි. උදාහරණයක් වශයෙන්, දෙකයි දෙකයි එකතු කළ විට උත්තරය පහ යැයි පාලකයා සිතයි නම්, එය ‘සත්‍යය’ වශයෙන් රටවැසියා භාරගත යුතුය. (පරිවර්තක)
තිසරණී ගුණසේකර
_________________________________________________________________________________________
2013 ජුනි 09 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Media-Ethics & Reality Control
ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්
අරුන්දිකගේ ‘‘එක්නැලිගොඩ’’නාඩගමේ අසාර්ථක පිටපත ගැන මගේ කියැවීම
June 14, 2013 by Manjula Wediwardhana
Filed under Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Media, Media and Communications, Politics and Governance
අපට දැන හැඳුනුම්කම් කලින් සැළසුම් කළ නො හැකි ය. දැන හැඳුනුම්කම් එසේ සැළසුම් කළ හැකි වී නම් මා පමණක් නොව තවත් බොහෝ අය අරුන්දික ප‍්‍රනාන්දු වැන්නන් දැන හඳුනාගන්නේ නැත. එහෙත් මිත‍්‍රකම් කළින් සැළසුම් කළ හැකිය. අරුන්දික ප‍්‍රනාන්දු කිසිමදාක මගේ මිතුරෙකු නො වන්නේ එබැවිනි. දැනහැඳුනුම්කමක් මෙසේ මිත‍්‍රකමක් ලෙස දක්වීමට සහ ඒ හරහා රටේ මාධ්‍ය නිදහසට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාල ප‍්‍රමුඛ සිද්ධියක් මුළුමනින් ම අසත්‍ය ප‍්‍රබන්ධයක් බවට පත්කිරීමට අරුන්දික ප‍්‍රනාන්දු ගන්නා නින්දිත උත්සාහය මම පළමුකොටම පිළිකුල්සහගතව හෙළා දකිමි. එසේම ඔහුගේ මනංකල්පික සිද්ධියට අමනෝඥ ලෙස මා ඇඳා තිබීම මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරමි. ප‍්‍රජතන්ත‍්‍රවිරෝධී වත්මන් මිනීමරු ආණ්ඩුවේ සීමා රහිත ප‍්‍රබන්ධ අතරේ වන තවත් ප‍්‍රබන්ධයක රගපාන්නට බැරි නළුවකුගේ තත්වයට අරුන්දික ප‍්‍රනාන්දු පත්ව ඇත. මිත‍්‍රකම් නිර්මාණය වීමට හේතු තිබේ. මිත‍්‍රත්වයන් ගොඩනැෙ`ගන්නේ මූලධාර්මික කාරණා, ජීවන දර්ශනයේ සමාන්තරකම් , රුචි අරුචිකම් ආදී ලකුණු මත ය. නමුත් අරුන්දික යනු ඉතිහාසයේ කිසිම දවසක මා සම`ග මිත‍්‍රකමක් ගොඩනැගීමට අවශ්‍ය කිසිදු සුදුසුකමක් සපුරා ඇත්තෙකු නොවේ. ඒ බැව් ඔහුගේ පාදඩ දේශපාලන භාවිතය නිරීක්ෂණයෙන් පමණක් වුව පැහැදිලි කර ගැනීමට පිළිවන.
වත්මන් මිනීමරු ආණ්ඩුව පැහැදිලව වගකිවයුතු ප‍්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීමට නිෂ්චිත පිළිතුරක් නොදී, විවිධ කවටයන් යොදමින් ‘ප‍්‍රගීත් ඉන්නවා’ යැයි පවසන්නට ආණුඩව මෙ තරම්ම වලිකන්නේ ඇයි?
ප‍්‍රගීත් එක්නැලිගොඩගේ මාධ්‍යභාවිතයට ඉතිහාසයක් ඇත. ඔහු අවසන් වරට සිදුකළ ලංකා ඊනිව්ස් වෙබ් අඩවියේ මාධ්‍ය මැදිහත් වීම් මත පමණක් ඔහුගේ භාවිතය රඳා පවතින්නේ නැත. ශ‍්‍රී ලාංකීය ජනසමාජයේ සංස්කෘතික කතාකාවට අතිශයින් සාධනීය මැදිහත් වීමක් කරමින් 80 දශකයේ ප‍්‍රකාශිත මාවත සගරාව දක්වා ඔහුගේ මාධ්‍ය ඉතිහාසය ගොඩ නැගී ඇති බැවිනි. එ බැවින් ඔහු වනාහී ගිරා පෝතකයකු නොව සමාජ විග‍්‍රහයක් සහිත මාධ්‍යවේදියකු හා සමාජ ක‍්‍රීයාකාරිකයකු බව අප වටහා ගත යුතු ය. ආණ්ඩව සමග ඍජුවම සම්බන්ධවන කුලී ලියන්නන් මෙන්ම ඒ බව සගවා ගනිමින් එකී කාර්යයේම නිරතවෙන මාධ්‍යවේදින් යැයි හඳුන්වා ගන්නා සියල්ලන් අවශ්‍යයෙන්ම අතහැර දමන ඉතිහාසය එයයි.
කෙසේ වුවද ඔහු අතුරුදහන් කිරීමෙන් පසු ආණ්ඩුවට ගැළවී හෝ ම`ග හැර දමා සිටිය හැකි දහස් ගණන්ක් සිද්ධි අතරේ වන තවත් එක් සිද්ධියක් නොවුණේ ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ තම සැමියා වෙනුවෙන්ද, දරුවන් දෙදෙනා තම පියා වෙනුවෙන්ද අඛන්ඩව අනිකුත් මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන හා විපක්ෂයේ සියලූ දේශපාලන සංවිධාන සමග එක්වී සටන් ක‍්‍රියා මාර්ග ගැනීම හේ තුවෙනි. එය අනවරත අරගලයක් මෙනි. එ බැවින් තවමත් ප‍්‍රගීත් සජීවි පුද්ලගයෙකු ලෙස සමාජය තුළ රඳවා ගැනීමට මෙම ප‍්‍රයත්නය පැහැදිලිවම සමත් වී තිබුණි. අප පවා එම අරගලයට දායක වූ අතර ප‍්‍රගීත් අතුරුදහන් කර දෙසිය වැනි දිනයේ පැවති සම්මන්ත‍්‍රණයේදී සන්්‍යා විසින් කියවන ලද්දේ මා විසින් ලියන ලද කවියකි. එළි දැක්වීමට නියමිත ප‍්‍රගීත් පිළිබඳ අලූත් කෘතියේ ද මා විසින් ලියැවුණු වෙනත් රචනාවක් වේ. කෙසේ හෝ සියල්ලන්ගේම මැදිහත්වීමෙන් අඛන්ඩව සිද්ධ වෙමින් පැවතියේ මෙම සිද්ධිය දිගින් දිගට ම ජාත්‍යන්තරයේ සංවාදයට බඳුන් වීමයි. සන්ධ්‍යා හා දරු දෙදෙනාද, ඔවුන් වටේ සිටින සියලූම දෙනා හා සංවිධාන ද නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ නම් ප‍්‍රගීත් පිළිබඳ මතකය මෙසේ අදටත් ජීවමානව නොපවතිනවා සේ ම ප‍්‍රගීත්ගේ සිද්ධිය මෙතරම් දුරදිග ගෙනයන්නට ආණුඩවට ද වුවමනා නොවනු ඇත.
ප‍්‍රගීත් පිළිබඳ මුලින්ම අරුන්දික පන්නයේ ප‍්‍රකාශයක් කළේ එවක ආණ්ඩුවේ මාධ්‍ය කටහඬ වූ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ය. ඔහු පවසා සිටියේ ප‍්‍රගීත් සිටින බවත් ඔහුව අද හෙට ඉදිරිපත් කිරීමට කියමිත බවත් ය. ඔහුගේ ආයෝජනයට කෘතගුණ සැළකූ ආණ්ඩුව විසින් ඔහුගේ තත්වය ආයෝජන ප‍්‍රවර්ධන කැබිනට් අමාත්‍යධූරය දක්වා ප‍්‍රවර්ධනය කෙරුණි.
ඉන් අනතුරුව නීතිපති මොහාන් සිල්වා ජිනීවාහී එක්සත් ජාතීන්ගේ වදහහිංසවටන්ට එරෙහි කමිටුවේ 2011 නොවැම්බර් සැසිවාරයේ දී පැවසූයේ ප‍්‍රගීත් එක්නැලිගොඩ වෙනත් රටක දේශපාලන රැකවරණ ලබා සිටිනා බව ය. ජාත්‍යන්තරයට එසේ කී මොහාන් පීරිස් ශ‍්‍රී ලංකාවේ අධිකරණයට පවසා සිටියේ ප‍්‍රගීත් ඉන්නා තැනක් දන්නේ දෙවියන් පමණක් බවයි. නිර්ලජ්ජිත ආණ්ඩුවක් වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවේ එවන් බේගලයක් කීමට අවදානමක් ගැනීමේ නින්දිත, නීච ක‍්‍රියාවට කෘතගුණ සැළකීමක් ලෙස ආණ්ඩුවෙන් ඔහුට පිරිනැමුණේ සමස්ථ අධිකරණ දේහයේ ම අග‍්‍රවිනිශ්චයකාර තනතුර ය.
ප‍්‍රගීත් සම්බන්ධයෙන් ම මෙවන් බොරුවකට සම්මාදම් වීම නිසා තමන්ටත් එවන් දොළ පිදේනියක් ලැබෙන්නට පිළිවනැයි අරුන්දික මන්ත‍්‍රිවරයා හිතනවා වන්නට ඇත. අද හෙටම නියෝජ්‍ය අමාත්‍යධූරයක දිවුරුදීමට ඔහු සිහින දකිනවා වන්නට පිළිවන. අවම වශයෙන් අධීක්ෂණ මන්ත‍්‍රීධූරයක්වත් ලබා ගැනීම ඔහුගේ උත්සාහය වන්නට පිළිවන. සියලූම විෂයයන් ‘සීනි කිරීම’ දක්වාම බෙදා ඇති බැවින් ඒ සඳහා විෂයයක් සොයා ගැනීම අතිශයින් බැ?රුම් කාර්යයක් වන්නට පිළිවන. ‘දැන හැඳුනුම්කම් අලූත්වැඩියා කිරීම’ හෝ ‘අතුරුදහන් වූවන් සොයා දීම’ වැනි විෂයක් යටතේ නව අමත්‍යංශයක් පිහිටුවා එය ඔහුට බාර දීමට ඉඩ ඇති බවට ඔහුගේ ටිකිරි මොළයට දැනෙනවා වන්නටද පිළිවන.
මෙහි වඩාත් උත්ප‍්‍රාසාත්මක කරුණ වන්නේ මෙම ප‍්‍රකාශය නිසා ප‍්‍රගීත් පිළිබඳ සිද්ධියේ මේ මොහොතේදී ප‍්‍රගීත්ටත් වඩා ගොදුර බවට පත්ව ඇත්තේ අරුන්දික මන්ත‍්‍රීවරයා වීම ය. මේ බව ජනාධිපතිවරයා ඇතුළු සියල්ලන්ම දන්නා කරුණකි. එය නොදැන සිටින්නෙකු වේ නම් ඒ අරුන්දිකම පමණි. කලින් වතා වලදී මෙන් ලක්ෂ්මන් යාපා හා මොහාන් පීරිස් බඳු කිසියම් ම හෝ විශ්වාසනීයත්වයක් නිර්මාණය කර ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයෙකු මේ වන විට ආණ්ඩුවට ආණ්ඩුව තුළින්ම සොයා ගත නොහැකි වීමෙන් අරුන්දික ප‍්‍රනාන්දු බඳු රජවාසල කවට කේවට්ටයන් යොදා ගැනීමට සිදුවීමෙන් ආණ්ඩුවට සිය තාවකාලික අරමුණ පවා සාක්ෂාත් කර ගැනීමට නො හැකි වි ඇත.
අරුන්දිකගේ මෙම සැළසුම්සහගත නෙයියාඩගම තුළ පිළිතුරු දියයුතු කිසිවක් නැත. එය මුළුමනින්ම මනංකල්පිතයක් වන බැවිනි. ප‍්‍රංශයේ දී කිසිදු දිනෙක අරුන්දික ප‍්‍රනාන්දු නැමැත්තා මට හමුවී නැත. ඔහු එකම එක් වතාවක් ප‍්‍රංශයට පැමිණ මා ද හඳුනන වෙනත් පුද්ගලයකුගේ දුරකතනයකින් මා හට කතාකළේ ය. ඒ මෙයින් වසරකුත් මාස 3කට පෙර 2012 මාර්තු මාසයේ ජිනිවාහි පැවති එක්සත් ජාතීන්ගේ සැසිවාරයට පසු ඊට ආසන්න දිනයක ය. එදා මා හමුවන්නට ඔහු කැමැති බව දුරකතනයෙන් කියා සිටියත් ඔහු හමුවීමට මට කිසිදු හේතුවක් හෝ අවශ්‍යතාවක් නොතිබූ බැවින් අප අතර හමුවීමක් සිදු නොවිණි.
එහෙත් For the sake of argument යන පදනම පමණක් මත මා ප‍්‍රශ්න කිහිපයක් හෝ මතු කිරීම ඔහුගේ සංතෘෂ්ටියට හේතු වනු ඇත.
මා මේ නගන ප‍්‍රශ්න වලට මවිසින් උත්තර දෙනු ලැබීම අවශ්‍ය නොවන්නේ අරුන්දිකට මා හමුවූවාට, මට ඔහු හමුවී නැති බැවිනි. එහෙත් අරුන්දික මේවාට මට නොව රට හමුවේ පිළිතුරු දිය යුතු ය. මන්දයත් අතුරුදහන් කරන ලද ප‍්‍රගීත් හා පිටුවහලේ සිටින මා ද ඇතුළත් සිද්ධියක් ඔහුට අත්විඳින්නට සිදුවී ඇති බැවිනි.
1 ඔහු පවසන්නේ ඔහු මට දුරකථන ඇමතුමක් ලබා දී මා හමුවූයේ 2013 ජනවාරි 09 වැනිදා රාත‍්‍රීයේ බව ය. එදින ඔහු මට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ කීයටද, කවරකුගේ දුරකථනයෙන් ද යන්න ප‍්‍රකාශ කළ යුතු ය. (සන්ධ්‍යාට කියන්නා සේ කතා කිරීමට ස්කයිප් බඳු වෙනත් මාර්ග ඇතැයි නොකියන්නේ නම් බෙහෙවින් කාතඥ වෙමු.) එවිට ඔහු එවැනි දුරක තන ඇමතුමක් මට ලබාදුන්නාද නැතිනම් එය ඔහු ගේ ප‍්‍රබන්ධයක් ද යන්න ඔප්පු කර පෙන්විය හැකි ය.
2 අරුන්දික පවසන්නේ අප හමුවීමට මිලංක නම් පුද්ගලයා සමග Out of Paris හි කිසියම් ස්ථානයකට පැමිණි බවයි. ඔවුන්ගේ දැනුම වැදගත් විය හැකි බැවින් එය මේසේ හඳුන්වා දීමට අපට හැකි ය. පැරිස් නම් වන කේන්ද්‍ර නගරය පරිපාලනයේ පහසුව සඳහා Arrondisment නම් වන දිස්ත‍්‍රීක්ක වශයෙන් සැළකිය හැකි පරිපාලන ඒකක 20කට බෙදා ඇත. Out of Paris යනුවෙන් හඳුන්වන්නේ මේ ඒකක 20ට පිටතින් පවතින් ප‍්‍රංශ දූපත (Ile- de- France) යන කළාපයට ඇතුළත් සෙසු ප‍්‍රදේශ වලට ය. මා සිටියේ යැයි පැවසෙන අරුන්දික නොදන්නා, ඔහුගේ අනුගාමිකයා දන්නා ආසන්නම නගරය කුමක්ද?
3 ඔහු මා හමුවන්නට රැගෙන ආවායැයි කියන මිලංක නැමැති පුද්ගලයා මගේ සොයා බැලීම් වලට අනුව පැරිසියේ වෙසෙන දේශපාලනය ගැන මුං ඇටයක තරම්වත් දෙයක් නොදන්නා කැපුවත් නිල් පන්නයේ කිසිදු විචාරශීලීභාවයක් නැති නිල් බලකා මුහුණුවරක් සහිත අලූත් ශ‍්‍රීලංකාකාරයෙකි (SLFP). ඒ බැව් පැරිසියේ වෙසෙන ශ‍්‍රීපනිප ක‍්‍රියාකාරීන්ගෙන් විමසා දැන ගත හැකි ය. මේ පුද්ගලයා අරුන්දිකගේ මිතුරෙක්ද? මිත‍්‍රයෙක් නම් ඒ මිත‍්‍රකම කවර පදනමකින් පවතින්නක්ද? එහි ඉතිහාසය කුමක්ද? මේ මිත‍්‍ර මිලංක ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරිකයෙක්ද? නැද්ද? මේ පුද්ගලයා නිවාඩුවකට ශ‍්‍රී ලංකාවට ගියාද? නිවාඩුවකට ගියා නම් ඒ කවදා සිටද? නොඑසේ නම් අරුන්දික ඉතුත් ජූනි 5 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ඓතිහාසික අමනෝඥ ප‍්‍රකාශයෙන් පසු ක්ෂණිකව ලංකාවට ගෙන්වා ගත්තාද? නැද්ද?
4 අරුන්දික අවම වශයෙන් මා හමුවීමට එනවිට අදාල ස්ථාන නාමය නොදැන ආවා යැයි සිතූවද මා ප‍්‍රගීත් එක්නැලිගොඩ යැයි කෙනෙකු පෙන්වා දුන් පසුත් ස්ථානය මතක තබා ගැනීමට ක‍්‍රියා නොකළේ ඇයි?
5 ප‍්‍රගීත් එක්නැලිිගොඩ යනු ශ‍්‍රී ලංකාවේ රජයට මහත් බලපෑමක් ඇති සිද්ධියක කතා නායකයා ය. එවන් කෙනෙකු මා පෙන්වූයේ නම් ඒ මොහාතේ ම පැරිස් නගරයේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීම මහජන නියෝජිතයකු වන ඔහු ගේ අනුල්ලංඝනීය වගකීමකි. එසේ කළේ ද? ඒ පිළිබඳ සාක්ෂි මොනවාද? ඒ සම්බන්ධයෙන් මාස හයකට පසු එම තානාපති කාර්යාලය ගෙන ඇති පියවරයන් මොනවාද? මන්ත‍්‍රීවරයා එසේ තානාපති කාර්යාලයට පැමිණිලි නොකළේ නම් ඒ ඇයි?
6 එසේ ම ඔහු ශ‍්‍රීලනිපය නියෝජනය කරන මහජන නියෝජිතයකු වශයෙන් පැරිස් නගරයේ ඇති ශ‍්‍රීලනිප පැරිස් ශාඛාවේ නිළධාරීන් දැනුවත් කළ යුතු ය. එසේ කළේද? කවුරුන් හමුවේද? එම ශාඛාව මාස හයක් තිස්සේ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද? එවැනි දැනුවත් කිරීමක් සිදු නොකළේ නම් ඒ ඇයි?
7 ශ‍්‍රී ලංකාවේ ‘අදාළ අංශවලට’ මේ පිළිබඳව තමන් දැනුම් දුන්බව මන්ත‍්‍රීවරයා කියයි. ඒ ‘අදාළ අංශ’ මොනවාද? එසේ දැනුම් දුන්බවට ඇති සාක්කි මොනවාද? ඒ ඒ ‘අදාළ අංශ’ මාස හයක් තිස්සේ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති කි‍්‍රයාමාර්ග කවරේද? ඒවායේ ප‍්‍රගතිය කුමක්ද?
8 මේ පියවරයන් කිසිවක් නොගත්තේ නම් වගකිවයුතු මන්ත‍්‍රීවරයකු වශයෙන් ඔහු මාස හයක් තිස්සේ මෙය වසන් කරගෙන සිටියේ ඇයි? පසුගිය මාර්තුවේ එනම් අරුන්දික ප‍්‍රනාන්දු දැන් එළිකරන හමුවීමෙන් මාස තුනක් ගියතැන පැවැති ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී ද ප‍්‍රගීත් ගේ අතුරුදන් කිරීම ගැන ප‍්‍රශ්නය සාකච්ඡුාවට බඳුන් වූ අතර, එය එවර ද ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ අවාසියට පැවැති එක් ප‍්‍රමුඛ කාරණයක් විය. මෙතරම් වැදගත් සමුළුවක දී, එහි විමසීමට භාජනය වන ප‍්‍රමුඛ සිද්ධියක් ගැන මෙතරම් වැදගත් සාක්ෂ්‍යක් ළඟ තබාගෙනත් මන්ත‍්‍රීවරයා හෝ ආණ්ඩුව ඒ ගැන කටේ කෙලපොදක් ජිනීවාහි දී බිම නොහෙලූවේ ඇයි?
9 ප‍්‍රංශය හෝ පැරිසිය ගැන කිසිවක් නොදන්නා බව අගවන්නට අරුන්දික තැත් කරයි. එහෙත් ඔහුට ප‍්‍රංශය අලූත් තැනක් නොවේ. එබැවින් ඔහුගේ දෙමාපියන් පැරිසියේ ස්ථිර පදිංචියට පැමිණ ඇත්තේ කවරදාකදැයි ඔහු කිව යුතු ය. ඔහු මෙතෙක් කී වතාවක් ප‍්‍රංශයට පැමිණ තිබේද?
10 දෙමාපියන්ට අමතරව ඔහුට ප‍්‍රංශයේ වෙනත් ඥාතිවරු සිටිත්ද? සිටී නම් ඒ කවුරුන්ද?
11 මිලංක යන්නාගේ නමට අමතරව ඔහු තව නම් දෙකක් මේ සිද්ධියට ඈඳා ගනියි. පළමුවැන්න කර්නල් නිලංග ය. කර්නල් නිලංග යනුවෙන් ඔහු හඳුන්වන හමුදා නිලධාරියා නිලංග ප‍්‍රනාන්දු නම් ඔහු මා පංතියේ සිටි ශීෂ්‍යයෙකි. මතකයට අනුව නිලංග අරුන්දිකගේ පංතියේ සිටියකු නොවේ. පාසැලෙන් නික්ම යාමෙන් පසු මා නිලංග පළමුවරට හා අවසාන වරට දුටුවේ එකම දිනයකදී ය. වසර 15කට පමණ ඉහත පැවති ශාන්ත ජෝෂප් – ශාන්ත පීතර වාර්ෂික සීමිත ඕවර කි‍්‍රකට් තරගයකින් පසුව ය. එවක ඔහු ලූතිනන්වරයෙකු හෝ කපිතාන්වරයෙකු වන්නට ඇත. නමුත් මේ සිද්ධියෙන් පසු නැවතත් ඔහු හා මා අතර කිසිදු සමබන්ධතාවයක් පැවතී නැත. එබඳු අවශ්‍යතාවක් මා තුළ පැවතියේ නැත. ඔහුටද එසේ වන්නට පිළිවන. මෙකී හමුවීමට අමතරව අවම වශයෙන් එක්වතාවක් හෝ මා හා නිලංග මුණ ගැසී හෝ අවම වශයෙක් කතා කර හෝ ඇත්දැයි අරුන්දිකට ඔප්පු කළ හැකිද?
12 අරුන්දික සඳහන් කරන අනෙක් නම අසේල ය. ඔහු මේ පවසන්නේ අසේල ඩයස් ගැන නම් ඔහු අපට වඩා වසර පන්ති දෙකකින් පහළ සිටි අප පාසලේම චණ්ඩිපහේ ශිෂ්‍යයෙකි. මෙම ශිෂ්‍යයා ඇතුළු කණ්ඩායමෙන් අරුන්දික විවිධ අඩන්තේට්ටම් විඳ ඇත. එහෙත් අරුන්දික තමා මන්ත‍්‍රීවරයෙකු වශයෙන් පත්වූ විගස මෙම අසේල ඩයස් තමන්ගේ ලේකම්වරයෙකු ලෙස බඳවාගෙන තිබුණි. නමුත් මෙම අසේල ඩයස් හා මා අතර කිසියම්ම හෝ සම්බන්ධයක් පාසල තුළ හෝ පාසලෙන් ඉවත්වීමෙන් පසු ඉන් පිටත පැවති යැයි අරුන්දිකට ඔප්පු කළ හැකිද?
13 කොළඹ පිහිටි ප‍්‍රංශ තානාපති කාර්යාලය ප‍්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ කිසිඳු තොරතුරක් තම රජය සතුව නැතැයි නිල වශයෙන් ප‍්‍රකාශකර සිටියදී පවා පැරිසියේ පිහිටි සිංහල සංගම් සියල්ලක්ම ප‍්‍රගීත් ප‍්‍රංශයේ ජීවත් වන බව තහවුරු කරන්නේය යි අරුන්දික පවසයි. ඒ කුමන සංගම්ද යන්න හා සාමාජිකයන් සියල්ලන්ම නොවුණත් අවම වශයෙන් ප‍්‍රගීත් ගැන දන්නා මෙම සංගම්හි ප‍්‍රමුඛ නිළධාරීන්ව නම් කරලීමට අරුන්දික ක‍්‍රීයා කළ යුතු ය. එසේ කිරීමට ඔහුට හැකිද?
14 ප‍්‍රගීත් ප‍්‍රංශයේ ඉන්නා බවට කරන ලද මේ ‘අඩ වසරක් පැරැණි නවතම සොයාගැනීමත්’ සමඟ අරුන්දික ප‍්‍රනාන්දු හෝ ආණ්ඩුව ගෙන ඇති රාජ්‍ය තාන්ත‍්‍රික කි‍්‍රයාමාර්ග කවරේද? විශේෂයෙන් කොළඹ පිහිටි ප‍්‍රංශ තානාපති කාර්යාලයේ නිවේදනය සම්බන්ධයෙන් මේ වන තුරු ගෙන ඇති පියවර මොනවාද?
තත්වය මෙසේ තිබියදී හිටිහැටියේ ම පාර්ලිමේන්තුවේ දී ප‍්‍රගීත් ගැන කියන්නට අරුන්දිකට ඇති වන මාරාන්තික හදීසිය කුමක්දැයි විමසා බැලිය යුතු ය. ඇත්ත වශයෙන් ම ඒ හදිසිය ඇත්තේ අරුන්දිකට නොව ඔහු වැනි අඳබාල හෙන්චයියන් රූකඩ සේ නටවා නාඩගම් පෙන්වන ආණ්ඩුවට ය. දෙමළ මළසිරුරු දස දහස් ගණනින් කඳු ගැසීමෙන් නොනැවතී ඔවුන්ගේ භූමිය පවා මංකොල්ලකමින් සිටින ආණ්ඩවකට කළ හැක්කේ මෙවන් නෙයියාඩගම් නැටීම පමණකි. කිසිඳු වගවිභාගයකින් තොරව පවත්නා දෙමළ දේශපාලන සිරකරුවන්ද ඇතුළු අතුරුදහන් කිීරීමේ සිද්ධි දහස් ගණනකි. ජාත්‍යන්තර පර්යේෂණවලින් සත්‍ය බවට තහවුරු වූ යුද අපරාධවලට සම්බන්ධ බලවත් වීඩියෝ හා ඡුායාරූපමය සාක්ෂ්‍ය බොහොමයකි. මේ කිසිවක් ගැන පිළිගතහැකි පරීක්ෂණයක් නැත. වගකිවයුත්තෙක් නැත. අතුරුදන් වූවකු හෝ අතුරුදන් කරවූවකු ද නැත. ඇත්තේ ලිංමැඩි සිිංහල ජාතිවාදීන් පිනවන මේ ජාතියේ නාඩගම් නැටීම් පමණි. මේවා මේ ලංමැඩි ජාතිවාදීන්ට හරිගියාට රටතුළ වෙසෙන විවෘත මනසක් ඇති සැබෑ මනුෂ්‍යයන්ට හරියන්නේත් නැත. සම්මුති ගිවිසුම් ආදියෙන් හා රාජ්‍යතාන්ත‍්‍රික වශයෙන් බැඳීම් ඇති ජාත්‍යන් තරයට හරියන්නේත් නැත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදම් පිල්ෙලෙ එළැඹෙන අගෝසතු මාසයේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ය. ඇගේ වාර්ථාවද සහිතව සැප්තැම්බරයේ යළිත් ජිනීවා මානව හිමිකම් කොමිසම රැුස්වීමට නියමිත ය. සුවිශාල ජාත්‍යන්තර විරෝධයක් හමුවේ නොවැම්බරයේ පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත ය. ඒ හැම තැනකදී ම ප‍්‍රගීත්ගේ අතුරුදන් වීම යළි යළිත් ප‍්‍රශ්න කැරෙනු ඇත. මේ ප‍්‍රශ්න කිරීම්වලින් බේරීමට ප‍්‍රගීත් සිද්ධිය ගැන මෙවැනි ප‍්‍රබන්ධ කතාවක් ගොතා එය සිය ඇම්බැට්ටයකු ලවා කියවීමෙන් හැකිවෙතැයි කිසිදු රාජ්‍ය තාන්ත‍්‍රික ඥානයක් නැති රාජපක්ෂ රෙජීමය සිතනවා ඇත. අනෙක් අතට ජාත්‍යන්තර තලයේ කුමක් වුවත්, මේ ප‍්‍රශ්නය මේ ප‍්‍රධාන ජාත්‍යන්තර අවස්ථාවනිහි දී මතුපිටට පැමිණෙන විට ලංකාවේ මිනිසුන් හෝ රවටාගැනීමට මේ ප‍්‍රබන්ධය ඉවහල් වනු ඇතැයි ඔවුන් සිතනවා වන්නට පිළිවන. මේ කිසිවක් ගැන හාකවිසියක් නොදන්නා අරුන්දික වැන්නෝ නොදන්නා නාඩගමක බහුබූතයන්ට අඳිති.
අවසානයේ එකම එක කරුණක් දක්වමි. කලක් අරුන්දික හා මා දෛනිකව මුණගැසුණු පාසැල ඔහුට සිහිපත් වනු පිණිසය. ප‍්‍රකට ලියවිල්ලක් වන ශාන්ත පීතරයන්ගේ පළමුවැනි සාමාන්‍ය පත‍්‍රයේ තුන්වැනි පරිිෙඡ්දයේ දසවැනි වගන්තියේ ඔහු මෙසේ ලියයි.
‘‘යහපත් දවස් දකින්නට කැමැති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කතාකිරීමෙන්ද වළක්වා ගනීවා.’’
ශාන්ත පීතර නාමකරණය සහිත ස්ථානයකට පොත් බෑගයක් ඔසවාගෙන ඒමට අමතරව එම නාමකරණයෙන් අබමල් රොනක දෙයක්වත් තම ජීවිතයට උකහා ගැනීමට අරුන්දික ප‍්‍රනාන්දු සමත් වි නැත. මේ සිද්ධිය තුළින් අරුන්දිකට මේ තාක් හැකිවී තිබෙන්නේ තමන් පාසල්ගිය මන්ත‍්‍රීවරයෙකු බවට මා ලවා සහතිකයක් ලබා ගැනීම පමණෙකි.




Repost This Article























